292. ආදරයට, විවාහයට වයස් පරතරය බලපානවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ස්වාමීන් වහන්ස,

ගැහැණු ළමයෙකු තමාට වඩා වයසින් අවුරුදු එකහමාරක් දෙකක් පමණ බාල පිරිමි ළමයකු සමග විවාහ වීම බුදු දහමට අනුව පාපයක් ද?  අධර්ම රාගය යන කොටස යටතට වැටේද?

කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

A. බුදු දහමට අනුව ආදරය, විවාහය ආදිය පාපයක් (පාප කර්ම) ම ය; එහෙත් ඒවා එතරම් බරපතර පාප නොවේ. බරපතල පාපයක් වන කාමයේ වරදවා හැසිරීමේ පාපය (කර්ම පථය) සිදු වීමෙන් පුද්ගලයා බේරා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ආදරය, විවාහය බුදු දහමෙන් අනුමත කරන බව විටෙක සිතේ.

# ආදරය, විවාහය ආදියේදී ද පව් සිදුවේ යැයි කියූ විට බයවෙන්න එපා පුතේ, එය එක්තරා ගැඹුරු විග්‍රහයකි. එවැනි සුළු පව් විපාක නොදී තිබීමටද ඉඩකඩ ඇත. පහත මූලාශ්‍ර පරිහරණය කරන්න, වැඩිදුර දැන ගැනීමට:


"අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය."


# ආදරය විවාහය පිළිබඳව නොයෙක් උපදේශන සහිත සුප්‍රසිද්ධ සූත්‍ර කිහිපයක් පරිහරණය කරන්න:






# සම වයසේ සිට, පුරුෂයා ස්ත්‍රියට වඩා වයසින් වැඩි වීම මිස, වෙනත් මිම්මක් දහම තුළ දැක ගත නොහැක. 

එහි (පුරුෂයා ස්ත්‍රියට වඩා වයසින් වැඩි වීම) සමාජ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක මෙන් ම සංස්කෘතික වටිනාකමක් ද ඇත.

මේ සඳහා විශේෂයෙන් ම බලපාන සාධක අතර අන්‍යෝන්‍ය ගෞරවය, ස්ත්‍රියගේ ආර්ථවය (ඔසප් වීම) අවුරුදු 30 සිට නැවතීමට ඇති හැකියාව, පුරුෂයාට වඩා ස්ත්‍රියගේ කයේ (විශේෂයෙන් ම දරු ප්‍රසූතියෙන් පසු) වැහැරීමේ වේගවත් නැමියාව ආදී නොයෙක් කරුණු ගෙන හැර දැක්විය හැක.

ස්ත්‍රිය වයසින් වැඩි වීම (පුරුෂයා බාල වීම), සමාජ ගෞරවයට මෙන් ම විවාහය දෙදරා යාමට ඒ අනුව හේතු විය හැක.

ජෝතිෂ්‍ය වැනි විද්‍යාවල මෙම වසස් පරතරය අවුරුදු 10ක් පමණ වීම ද යෝග්‍ය බව ද දක්වා තිබේ.

# අධර්ම රාගය, දෙයාකාරයකින් නිර්වචනය කරනු ලැබේ.

1. ලේ ඥාතීන්, සමීප ඥාතීන් සමඟ විවාහ වීම/ලිංගික සබඳතා පැවැත්වීම.

"අධම‍්මරාගොති මාතා මාතුච‍්ඡා පිතුච‍්ඡා මාතුලානීතිආදිකෙ අයුත‍්තට‍්ඨානෙ රාගො."

2. ආදරය, විවාහය වැනි ඕනෑම රාගික/ලෝභ සහගත සිතිවිල්ලක්.

“රාගො විසම”න්තිආදිවචනතො (විභ· 924) වා යුත්තට්ඨානෙ වා අයුත්තට්ඨානෙ වා උප්පන්නො ඡන්දරාගො අධම්මට්ඨෙන ‘අධම්මරාගො’,"

# කෙසේ වෙතත්, ඔබ දැනටමත් (අවුරුදු එකහමාරක් දෙකක් පමණ) බාල පිරිමි දරුවෙකු හා විවාහ වීමට තීරණ කර ඇත්තේ නම්, ඉහත සූත්‍රවල ආදියෙහි ඇති කරුණු ප්‍රයෝජනයට ගෙන අන්‍යෝන්‍ය ආදරය-ගෞරවය-විශ්වාසය රැකෙන පරිදි විවාහ ජීවිතය ගත කිරීමට යෝජනා කළ හැක.

Q. ස්වාමීන් වහන්ස,
ඒ අනුව ස්ත්‍රියට වඩා පුරුෂයා වයසින් මදක් බාල වීම හේතුවෙන් අධර්ම රාගය හෝ ඒ වැනි වූ මහා අකුසල කර්මයක් සිදුවන්නේ නෑ නේද?

ආදරය සහ විවාහය  හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සුළු අකුසල කර්මයන් හැරුණු වෙනයම් වූ  මහා අකුසල කර්මයක් සිදුවන්නේ නෑ නේද?

කරුණාකර පහදා දෙන්නේ ස්වාමීන් වහන්ස,
මෙම ගැටළුව හේතුවෙන් දැඩි මානසික පීඩනයක් අත්විඳින බැවින් නැවත නැවත විමසීමක් සිදු කළ බවද ඒ පිළිබඳව සමාව අයදින බවත්  දන්වා සිටිමි.

A. මා කලින් සිදුකළ පැහැදිලි කිරීම් ද නැවත නැවත කියවා බලන්න දුවේ.

සුළු අකුසල කර්ම මිස මහා අකුසල කර්ම සිදුවන්නේ නැහැ.

මා පෞද්ගලිකවම දන්නා මෙවැනිම යුවළක් සිටින අතර ඔවුන් විවාහ වී අවුරුදු දහයකටත් වැඩියි. මේ වන විටත් ඔවුන් ඉතා සතුටින් දරුවෝ සමඟ ඉතාමත් ම සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරනවා.

(අනේ බොහොමත් පින් ස්වාමීන් වහන්ස!)

සැළකිය යුතුයි: ඉහත උපදේශයන්ගෙන් බාල පිරිමියෙකු හෝ වැඩිමහල් කාන්තාවක සමඟ මොනයම් හෝ ආදර/ලිංගික/විවාහ සබඳතාවක් පැවැත් වීමට අනියමින් හෝ වෙනත් කිසිදු ආකාරයකින්, කිසිදු පාර්ශවයකට අනුබල දීමක් සිදු නොකෙරේ. (එවැන්නක් සමාජගත නොකිරීමට ද ඔබ/අප/සැවොම වගබලාගත යුතු ම ය.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll