Q. ද්විහේතුක ප්‍රතිසන්ධිය යනු කුමක්ද? හා ද්විහේතුක ප්‍රතිසන්ධිය නිසා මෙම ආත්ම භවයේදී මාර්ග ඵල ලැබිය නොහැකිද...? මේ පිළිබඳව පැහැදිලි කිරීමක් තිබේද?
A. "කුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය.
අලෝභය, අද්වේෂය, අමෝහය යි කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු ධර්ම තුනෙකි. ඒවාට කුශල මූලයෝ යි ද කියනු ලැබේ. එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකය සේ ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි. ලෝභ නැති බව ම අලෝභය යි වරදවා නො ගත යුතු ය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයෙකි. එනම් මෛත්‍රිය යි. අමෝහය යනු ඥානය ය.
මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූ ද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම - කර්ම ඵලය හෝ ඒ දරුවෝ නො දනිති. ඒවා නො දත් මුත් ඔවුන්ගේ ඒ ක්‍රියාවෝ කුශලයෝ වෙති. නො දැන කරන්නා වූ ඒ කුශලයන්හි අලෝභද්වේෂ දෙක මුත් අමෝහය නො ලැබේ. එබැවින් ඒවා ද්විහේතුක කුශලයෝ ය. ද්විහේතුක කුශලය දුබල ය. විපාක දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය. යම් කිසිවකු කුශලයක් කරන කල්හි යටත් පිරිසෙයින් කර්ම - කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය. ත්‍රිහේතුක කුශලය බලවත් ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.
කම්පල ගැන සැලකීමක් නො කොට ලෝකාපවාදයෙන් ගැලවීම පිණිස ද, අනුන් දෙන තැන දී නො දී සිටීමට ලජ්ජාව නිසා ද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේය යන බිය නිසා ද, ගරු නම්බු ලබා ගැනීම පිණිස ද, තවත් එබඳු කරුණු නිසා ද දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුශලය ය. යම් කිසිවකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍රතිග්‍රාහකයාගේ ඉල්ලීම නිසා හෝ කුල සිරිත් වශයෙන් හෝ තමාට ම දෙන්නට සිත් වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම - කර්ම ඵලය දක්නා ඥානය පෙරදැරි කරගෙන ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෙන දෙන්නේ වේ නම්, ඔහුට එයින් අලෝභද්වේෂා මෝහ සඞ්ඛ්‍යාත හේතුත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුශලය සිදු වේ. ද්විහේතුක කුශලයෙන් ද්විහේතුක හේ අහේතුක ප්‍රතිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ද අභව්‍යයෝ ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ටෞමක වශයෙන් දෙවැදෑරුම් වේ. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන් ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබේ. ත්‍රිහේතුකෞමක කුශලයෙන් ද්විහේතුක ප්‍රතිසන්ධිය ගෙන දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තා වූ ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම නිවන් දැකීමට සුදුස්සෝ වෙති."
A. "භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්ත්වයකු හට එක් ජාතියකදී ඇති වන්නේ එක ම වර්ගයේ භවාංග සිත් ය. උත්පත්තියෙන් අඳුරු වූ දුබල වූ භවාංග චිත්තයක් ලැබූ, ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයකු පසු කාලයේ දී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සන්තානයක් ඇතියකු නො කළ හැකි ය. උත්පත්තියෙන් ම හිමි වූ මෝඩ කම මහලු වුවත් එසේ ම පවතින්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් :
“යාවජීවම්පි චෙ බාලො - පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා”
යනු වදාලේ ද එහෙයිනි. “කොතෙක් කල් හැඳි ගෑවත් ගෙවී යනු මිස සැන්ද ව්‍යඤ්ජන රසය දැන ගැනීමට නො සමත් වන්නාක් මෙන් බාලයා දිවි ඇති තාක් පණ්ඩිතයක් ඇසුරු කළේ ද ධර්මය නොම දැන ගන්නේය.” යනු එහි තේරුමයි.
කර්මය ද සිත පිළිබඳ පවත්නක් බැවින් සිත සේ ම විචිත්‍රය. භවාංග චිත්තයා ගේ නානත්වය සිදු කරන්නේ කර්මය ය. මුහුණ නිසා කැඩපතේ පහළ වන ඡායාව මුහුණට අනුව ස්වභාවය නො ඉක්මවා පහළ වන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවය නො ඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්මනානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ.
කර්මය කුශලාකුශල වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අකුශල කර්මය ලෝභ ද්වේෂ මෝහාදි කෘෂ්ණ ධර්මයන්ගෙන් ක්ලිෂ්ට ය. අඳුරු ය. අකුශල කර්මය කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළ වන්නා වූ භවාංග ද සියුම් අරමුණු, ගැඹුරු අරමුණු ගැනීමට අපොහොසත් අඳුරු භවාංගයක් වෙයි. තිරිසනුන්ට ඇත්තේ අකුශල කර්මයෙන් ජනිත භවාංග සන්තානයෙකි. එබැවින් ඔවුහු මිනිසුන් දැන ගන්නා වූ, මිනිසුන්ට දත හැකි වූ කරුණු දැන ගැනීමට නො සමත් වෙති. තිරිසනුන් පමණක් නොව සතර අපායට ම අයත් සත්ත්වයෝ අකුශල විපාක භවාංග ඇත්තෝ ය. කුශලය ද ඥානසම්ප්‍රයුක්ත කුශලය ඥාන විප්‍රයුත්ත කුශලයයි දෙවැදෑරුම් වේ. හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ ඥානවිප්‍රයුක්ත කුශල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුශල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. මිනිස් ලොව උත්පත්තියෙන් ම අන්ධ වූ ද, බිහිරි වූ ද, ගොළු වූ ද, නපුංසක වූ ද, තවත් එබඳු දුබල කම් ඇත්තා වූ ද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥානවිප්‍රයුක්ත කුශලයෙන් උපදවන අහේතුක භවාංගය ය. එය තිරිසනුන්ගේ භවාංගයට වඩා මඳක් උසස් ය. උත්කෘෂ්ට ඥානවිප්‍රයුක්ත කුශලයෙන් හා හීන ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥානවිප්‍රයුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයන්හි ඇත්තේ ඒ ඥානවිප්‍රයුක්ත භවාංගය ය. උත්කෘෂ්ට ඥානසම්ප්‍රයුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍රයුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූ ද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූ ද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහු ම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.
අපගේ සන්තානවල නිතර භවාංග චිත්තය ඇති වන නමුත් ඒ බව අපට නො දැනෙන්නේ එය ම මනෝද්වාරය වූ බැවිනි. එය ඇසට අනෙකක් පෙනෙනවා මිස ඒ ඇස ම නො පෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ භවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි."
A. "බලවත් කුශල බලයෙන් ලත් ප්‍රතිසන්ධි ඇත්තෝ ත්‍රිහේතුක පුද්ගලයෝය. “වර්තමාන මනුෂ්‍යයන් අතර ත්‍රිහේතුක පුද්ගලයෝ ඇත ද නැත ද” යනු මෙකල පවත්නා එක් ප්‍රශ්නයකි. එයට දිය යුතු පිළිතුර නම් ඇත ය කියාය. මනුෂ්‍යයන් අතර ඇති අහේතුක පුද්ගලයෝ නම් ජාත්‍යන්ධාදීහුය. ඔවුන් පහසුවෙන් ම හැඳිනිය හැකිය. ද්විහේතුක ත්‍රිහේතුකයන් හැඳීනීමට ලකුණක් නැත. තියුණු නුවණැති අය ත්‍රිහේතුක පුද්ගලයෝ යයි ද, නුවණ මඳ අය ද්විහේතුකයෝ යයි ද සාමාන්‍යයෙන් කිව යුතුය. උත්පත්තියෙන් පිහිටි බුද්ධිය කොතරම් තියුණු වුව ද උගැනීමක් නො ලැබූ තැනැත්තා ගේ බුද්ධිය ප්‍රකට නොවේ. ලෝකයෙහි උගැනීමක් නොලැබූ නිසා බුද්ධිය ඇතිව මෝඩයන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අය බොහෝය. උත්පත්තියෙන් පිහිටි සුන්දර බුද්ධියක් නැත ද උගැනීමෙන් නැණවතුන්ගේ සංඛ්‍යාවට වැටී සිටින අය ද බොහෝය. එබැවින් බුද්ධිය ඇති නැති අය තෝරා ගැනීමත් පහසු නොවේ.
බුද්ධ කාලයේ ශ්‍රාවත්‍යාදී නගරවල විසු ලක්ෂ ගණන් මනුෂ්‍යයන් ආර්‍ය්‍යයන් වීමෙන් එකල බොහෝ ත්‍රිහේතුකයන් විසූ බව පෙනේ. එකල මනුෂ්‍ය සමූහයෙහි බොහෝ ත්‍රිහේතුකයන් වූවාහු නම් වර්තමාන මනුෂ්‍ය සංහතියෙහි ත්‍රිහේතුකයන් ඇති නො වීමට හේතුවක් නැත. දැනට සිටින මනුෂ්‍යයන් අතර ද ත්‍රිහේතුකයන් බොහෝ ඇති බව කිව යුතුය. මේ ජාතියේ ම මඟ ඵල ලැබීමට සුදුසු යමෙක් ත්‍රිහේතුක පුද්ගලයෙක් ද නැත ද යන බව ක්‍රමානුකූලව කලක් විදර්ශනා වැඩීමෙන් ම මිස අන් පරිද්දකින් දත නො හේ. කවරකු විසින් විදර්ශනා වැඩුවත් නිශ්ඵල නො වන බැවින් තම තමන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක බව තෝරාගෙන භාවනා කරන්නට නො සිට සියල්ලෝ ම විදර්ශනා කරත්වා!"