182. භයතුපට්ඨාන ඥානය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. භයතුපට්ඨාන ඥානය යනු කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙන්න...

A. “සංස්කාරයන් බිය විය යුතු දේ සැටියට දක්නා වූ ඒ ඥානය භයතුපට්ඨාන ඥානය යි.”

“අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති. අනාගත සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ. භවත්‍රය සැම තැන ම නිතර ම සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ. නිරතුරුව ම සංස්කාරයන් බිඳෙන භවත්‍රය සර්පයන් වෙසෙන තුඹසක් වැන්න. අලි කොටි වලසුන් වෙසෙන වනයක් වැන්න. රකුසන් වෙසෙන ගුහාවක් වැන්න. කිඹුලන් වෙසෙන ගඟක් වැන්න. ගිනි අඟුරු වළක් වැන්න. ගිනි ගත් නගරයක් වැන්න. බෝම්බ වැටෙන යුද බිමක් වැන්න. සොහොන් බිමක් වැන්න. පාළු ගමක් වැන්න. පිශාච නගරයක් වැන්න.

සංස්කාරයන් පිළිබඳව කී පරිදි මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාහට සකල සංස්කාරයන් ම බිය විය යුතු දේ සැටියට මැනවින් පෙනෙන්නට පටන් ගන්නේය. සංස්කාරයන් බිය විය යුතු දේ සැටියට දක්නා වූ ඒ ඥානය භයතුපට්ඨාන ඥානය යි.

අලියකු දුටු ළදරුවකු බිය වන්නාක් මෙන් සංස්කාරයනට බිය වීම භයතුපට්ඨාන ඥානය නොවේ. බිය වීමත් භයතුපට්ඨාන ඥානයත් එක් ධර්මයක් නොව ධර්ම දෙකකි. මහ ගිනි අඟුරු වළක් දුර සිට දන්නා තැනැත්තේ අලියාට බිය වන ළමයා මෙන් එයට බිය නො වෙයි. වැටුණු කෙනකුට මහ දුකක් විඳින්නට වන බැවින් එය බිය විය යුතු තැනක් බව පමණක් ඔහු දැන ගනී. යෝගාවචරයා ද අලියාට බිය වන ළදරුවා මෙන් සංස්කාරයන්ට බියක් නොවී, දුර සිට අඟුරු වළ දක්නා පුරුෂයා මෙන් සංස්කාරයන් මහානර්ථකර බිය විය යුතු දේ සැටියට පමණක් දැන ගනී. එය ඔහුගේ භයතුපට්ඨාන ඥානය යි. සාමාන්‍ය ලෝකයාට මේ ඥානය නැති බැවින් අනේක දුක් ගෙන දෙන සංස්කාරයන් මම ය කියා ද මාගේ ය කියා ද ගෙන ඒවාට ඇලුම් කරමින්, දුකෙහි ම ගැලී සිටිති.”

[<<< තවත් විදර්ශනා ඤාණ ගැන දැන ගැනීමට පසුපසට හා ඉදිරියට කියවන්න >>>]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll