230. යන්නෙ එන්නෙ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ නම් යන්නේ එන්නේ වෙනත් ක්‍රියා කරන්නේ කොහොමද?

A. පහත කොටස් හොඳින් කියවා අවශ්‍ය (/ සරල) කොටස් අනුසාරයෙන් පිළිතුරු ලබා ගන්න.


"... සිත නම් අරමුණු දැනීම ම ය. එයට තවත් කිසි ම ක්‍රියාවක් සිදු කිරීමේ ශක්තියක් නැත. පහ වූ සිත ඇති කය, දරකඩක් සේ නොසැලී තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ ශක්තියක් හෝ ඕනෑ කමක් නැති බව කිය යුතුය. සිත කය දෙකේ ම ස්වභාවය එසේ වුවද යාම් ඊම් සිටීම් කෑම් පීම් ආදි දහස් ගණන් ක්‍රියා සිදු වනු දක්නා ලැබේ. ඒවා සිදුවන්නේ සිත සමග ම උපදනා වූ එක්තරා ශක්ති විශේෂයකිනි. චේතනාවය යි කියනුයේ කායික වූ ද, වාචසික වූ ද මානසික වූ ද ඒ ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයට ය.

මිනිසකු විසින් බල්ලකුට පහරක් ගසන කල්හි සිතින් සිදුවනුයේ බල්ලා නමැති ආරම්මණය ගැනීම පමණෙකි. පහර දීමේ උත්සාහය පහර දීමේ වේගය වූ චේතනාවත් සමග ඒ සිත උපන් කල්හි එයින් ඇතිවන්නා වූ වායු වේගයට අනුකූලව යම් කිසි ශරීරාවයවයක් බල්ලාගේ ශරීරය කරා යාමෙන් පහර වැදීම සිදු වේ. බල්ලා අරමුණු කිරීම හැර අනෙකක් නො කළ බැවින් සිත ඒ පහර ගැසීම නො කෙළේය. ස්පර්ශ වේදනාදි චෛතසිකයෝ ද එය නො කළෝ ය. පහර දීමේ අදහසක් ශරීරයට නැති බැවින් ශරීරය ද එය නො කළේය. ඒ පහර වැදීම වූයේ සිත හා උපන් චේතනාව නිසා ය. චේතනාවේ ඒ ක්‍රියාවට ශරීරය හා සිත ද අන්‍ය චෛතසිකයන් ද සහාය වූ නමුත් චේතනාවක් නූපන්නොත් එය නො කෙරෙන බැවින් ඒ සිද්ධිය පිළිබඳ ප්‍ර‍ධාන හේතුව මූල හේතුව චේතනාව ය. එබැවින් කර්ම කථාවෙහි මේ චේතනාව ම ප්‍ර‍ධාන කොට ගනු ලැබේ. ඒ ඒ ක්‍රියා සිදු කිරීමට චේතනාවට සහාය වන්නා වූ චිත්ත ඵස්සාදීහු ද කර්ම භාවයෙන් නො ගනු ලැබෙත්."

# මහාභූතයන් ගෙන් නිර්මිත වූ රූප කය කිසිවක් නො කරන, තුබූ තැන ම නො සැලී තිබෙන දෙයකි. කෑම, බීම, කථා කිරීම, අත් පා එසවීම, පහත් කිරීම ආදි කායික ක්‍රියා සියල්ල ම සිදු කරන්නේ සිත ය. කායික ක්‍රියා සිදු කිරීමේ උත්සාහය සහිත සිත් උපදනා කල්හි, ගිනි පුපුරක් හට ගන්නා කල්හ එය හා බැඳී ආලෝකයක් ද හට ගන්නාක් මෙන් සිතේ ම බලයෙන් එය උපදිනු සමඟ ම වායෝ ධාත්වාධික රූප කලාප සමූහයක් ද ශරීරයේ පැතිර උපදනේ ය. ඒ චිත්තජරූපයන් ගෙන් කෙරෙන තල්ලු කිරීමෙන් ගමනාදි කායික ක්‍රියා සිදු වේ. එසේ ඇති වන්නා වූ චිත්තජ වායෝ ධාතුව ඒ ක්‍රියාව සිදු වීමට සුදුසු පරිදි ශරීරය උස් වී පහත් වී හැකිළී දිග හැරී යන සැටියට ඒ ඒ අතට අභිමුඛව නූපන්නොත් සුදුසු පරිදි ක්‍රියා සිද්ධිය නො වේ. ක්‍රියා සිද්ධියට යෝග්‍ය පරිදි ඒ රූප සමූහය ඒ දිශාවට අභිමුඛ කරවන්නා වූ එක්තරා රූප ධර්මයක් ඒ රූපයන් හා බැඳී එකවර ම උපදනේ ය. තමා හා එක්ව උපන් චිත්තජ රූප කලාපය සුදුසු දිශාවට අභිමුඛ කරවන්නා වූ හෙවත් මෙහෙයවන්නා වූ ඒ රූපය කායවිඥප්ති නම් වේ. එය අන්‍ය චිත්තජ රූපයන් හා බැඳී සිත හා ඉපද රූප පිණ්ඩය මෙහෙයවා සිත සමඟ ම නිරුද්ධ වේ. එයට ඇත්තේ එක සිතක කාලය වූ ආයුෂයෙකි. එය හා උපදනා අන්‍ය රූපයෝ චිත්තක්ෂණ සතළොසක් ආයු ඇත්තෝ ය. ඒ විඥප්ති රූපය, නැවක සුක්කානම වැනි යයි කිය හැකි ය. යන්ත්‍ර‍ය ක්‍රියා කරන කල්හි නැව ගමන් කරන්නට පටන් ගනී. එහෙත් නිකම්ම එය වුවමනා තැනට නො යයි. වුවමනා තැනට යවනු පිණිස නියමුවා සුක්කානම ඒ ඒ අතට හැරවීමෙන් නැව ඒ ඒ දිශාවට අභිමුඛ කරවයි. එයින් නැව වුවමනා තැනට පැමිණේ. එමෙන් සිත කායවිඥප්තිය නමැති සුක්කානමෙන් චිත්තජ කලාපය ඒ ඒ අතට යොමු කරවයි. එයින් ගමනාදි ක්‍රියා සිදු වේ.

එක් ක්‍රියාවක් සිදු වන්නේ එක් සිතකින් හා එක් සිතකින් උපදනා රූපයන් ගෙන් ම නො වේ. එක් සිතක් හා උපදවන එක් රූප සමූහයක් යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට සමත් නොවේ. ගමන ක්‍රියාවක් සිදුවීමේ දී එක් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් පය එසවේ. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් පය ඉදිරියට යැවේ. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් පය පහත් වේ. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් පය පොළොවෙහි පිහිටයි. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් අනික් පය එසවේ. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් එය ඉදිරියට යැවේ. තවත් සිතකින් උපදනා වායෝ ධාතුවෙන් එය පහත් වේ. මෙසේ බොහෝ සිත්වලින් හා ඒවායින් උපදනා වායෝ ධාතුවෙන් ගමන සිදු වන සැටි තෙරුම් ගත යුතුය. මෙහි එක් සිතකැයි කියන ලද තැන්වල එසේ කියන ලදුයේ එක් සිතකට ම නොව සිත් සමූහවලට ය. පයක් පොළොවෙන් එසවෙන්නේ චිත්ත වීථි බොහෝ ගණනකින් හා ඒවායින් උපදනා රූප බොහෝ ගණනක් වේගයෙනි. ඉදිරියට ගෙන යාම් ආදිය සිදුවන්නේ ද එසේ ම ය. ග්‍ර‍න්ථය ඉතා දීර්ඝ වන බැවින් මෙසේ කාරණය කොටින් කියන ලදී.

කායවිඥප්ති යන වචනයේ තේරුම, සැලෙන්නා වූ කායාංගයන් (ශරීරාවයවයන්) කරණ කොට ගෙන පුද්ගලයාගේ අදහස අඟවන ධර්මය යනු යි. පුද්ගලයකු විසින් ගමනාදි යම් කිසිවක් කරන කල්හි සෙලවෙන්නා වූ ඔහුගේ කායාංගයන් දැකීමෙන් මොහු මෙ නම් දෙයක් කරන්නේ යයි කරන තැනැත්තා ගේ අදහස ඉදිරියේ සිටින්නවුන්ට දැනෙන්නේ ය. එබඳු දැනුමක් ඇතිවන ලෙස ක්‍ර‍මානුකූලව කායාංග චලනය වන්නේ විඥප්ති රූපය නිසා ය. එබැවින් විඥප්ති රූපයෙහි අදහස් ඇඟවීමේ උත්සාහයක් නැත ද එය අදහස් අඟවන්නක් වැනි ය. ඒ රූපයේ ඇති අදහස් දැන ගැනීමට උපකාර වන ස්වභාවය අදහස් ඇඟවීමක් සැටියට ම ගෙන එය කාය විඥප්තිය යි කියනු ලැබේ. සැලෙන්නා වූ කායාංගයක් දැකීමෙන් විඥප්ති රූපය ද නුවණැතියන්ට තේරුම් ගත හැකි ය. එබැවින් ඒ රූපය සැලෙන්නා වූ කායාංගයන් කරණ කොට ගෙන දත යුතු රූපය ය යන අර්ථයෙන් ද කායවිඥප්තිය යයි කියනු ලැබේ."

# "... අදහස් හඟවනු පිණිස මුවින් බැහැර කරන්නා වූ ශබ්ද සමූහයෝ වචනයෝ ය. වචනයක ශබ්ද කොටස් ගණනක් ඇත්තේ ය. මිනිසා යනු වචනයෙකි. එය කොටස් කළ කල්හි “ම්, ඉ, න්, ඉ, ස්, ආ” කියා කොටස් සයක් ලැබේ. ආ යන්න අ යනු දෙකක් වශයෙන් ගණන් ත හොත් කොටස් සතක් ලැබේ. වචනයේ අවයව වූ ඒ ශබ්ද කොට්ඨාසයන්ට අකුරු යයි කියනු ලැබේ. වචන ඇති වන්නේ අකුරු නම් වූ ඒ ශබ්දයන් ඇති වන්නේ උගුර උඩු තල්ල යනාදි ස්ථානවල ය. විස්තර වියරණ පොත් වලින් දත යුතුය. ඒ ශබ්ද ඇති වන්නේ මුවින් පිඹහරින වාතය නලාවේ හඬ උපදනා තැන ගැටීමෙන් නලා හඬ හට ගන්නාක් මෙන් කීමට තැත් කරන සිතින් ගලනාළය දිගේ නඟා එවන වායුව අකුරු උපදනා තැන්වල ගැටීමෙනි.

වචනයක් කියන්නා වූ සිතින් සිදු කළ යුතු වැඩ දෙකකි. ගලනාළය දිගේ වායුව නඟා එවීම ඉන් එකකි. ඒ වායුව ගැටෙන කල්හි ඒ ඒ අකුර හෙවත් හඬ ඇතිවන සැටියට අකුරු උපදනා ස්ථාන කරණයන් එයට යොමු කරවීම දෙවැන්නය. මිනිසා යන වචනයෙහි “ම්” යන හඬ ඇතිවීම සඳහා තොල් එක්කොට වායුවට යොමු කළ යුතුය. “ඉ” යන හඬ ඇතිවීමට උඩුතල්ල ක්‍රියා කරවිය යුතුය. “න්” යන හඬ ඇතිවීමට දිවග දත්මුල තැබිය යුතුය. “ස්” යන හඬ ඇතිවීමට ද එසේ කළ යුතුය. “ආ” යන හඬ ඇතිවීමට උගුර ක්‍රියා කරවිය යුතුය. ස්ථාන කරණයන් ක්‍රියා කරවීම වාක් විඥප්තියට නොව කාය විඥප්තියට අයත් කාර්‍ය්‍යයෙකි. ගල නාළයෙන් නැග එන වායුව යම් කිසි තැනක ගැටීමෙන් ඇතිවන හඬට නො මනා පරිදි ඇතිවන්නට නො දී, බලාපොරොත්තු වන ආකාරයෙන් අන් ආකාරයකට ඇති වන්නට නො දී, බලාපොරොත්තු වන අකුර ම ඇති වන සැටියට විධානය කරන ඒ ශබ්දය හා බැඳී ඇතිවන්නා වූ එක්තරා ශක්ති විශේෂයකට වාක් විඥප්තිය යි කියනු ලැබේ.

ප, ඵ, බ, භ, ම යන මේ අකුරු ගලනාළයෙන් එන වායුව තොල්හි ගැටීමෙන් ඇතිවන ශබ්දයන්ගෙන් කොටසකි. වායුව එක් තැනක ම ගැටීමෙන් ඇතිවන්නා වූ ඒ අකුරු වෙන් වෙන් වූ ලක්ෂණ ඇති හැටියට ඇති වන්නේ, ලක්ෂණවල අඩුවැඩියක් නැතිව අසන්නවුන්ට ඒවා වෙන වෙන ම හැඳින ගත හැකි සැටියට ඇති වන්නේ වාක්විඥප්තිය නිසා ය. ශබ්දය සමඟ වාක්විඥප්තිය ඇත ද එය කනට නො ඇසේ. ඇසට නො පෙනේ. කයෙහි නො සැපේ. එය සිතින් ම දත යුත්තකි. එහි ආයුෂය සිතේ ආයුෂය හා සමාන ය. එබැවින් කලාපයේ අන්‍යරූපයන් නිරුද්ධ වන්නට පෙරාතුව ම වාක්විඥප්ති රූපය නිරුද්ධ වේ. .... කියන්නා වූ වචනයේ අනුසාරයෙන් කියන තැනැත්තාගේ අදහස දැන ගැනීමට කරුණු වන රූපයක්ය යන අර්ථයෙන් ද, කියන වචනයේ අනුසාරයෙන් දත යුතු රූපයක්ය යන අර්ථයෙන් ද වාක්විඥප්ති රූපයට ඒ නම තබා තිබේ."

# "මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිත ද ශරීරය සෙලවීමට සමත් නො වේ. යාම් - ඊම් අත්පාදිය එසවීම් - පහත් කිරීම් ආදි ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදු වන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිට ගෙන සිටින තැනැත්තා ගේ ශරීරය නො වැටී කෙළින් සිටින්නේත් වාඩි වී ඉන්නා තැනැත්තාගේ ශරීරය නො වැටී එසේ තිබෙන්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි.

රූප උපදවන සිත් පන් සැත්තෑව අතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍යයෙන් රූප ඉපදවීම පමණක් නොව, සිටීම හිඳීම ශයනය යන ඉරියව් නො බිඳ පැවැත්වීම ද සිදු කරන්නේ ය. අර්පණා ජවනයන් ගෙන් උපදවන රූප ශරීරය සෙලවීමට සමත් නො වේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිටුවා හිඳ වීම, හිඳිනා ශරීරය නැගිටුවා සිට වීම, අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නො ලැබේ. ඒවායින් සිදු කරන්නේ අන් සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීම ය. ඇද වැටෙන්නට නො දීමය. භවාඞ්ග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්‍ය්‍යය සිදු කිරීමට ද සමත් නො වේ. සිට ගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි.

ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි.

ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, හසිතුප්පාදයය, මහා කුශල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව, සිනාවත් ඇති කරනු ලැබේ.

මේ සිත් තෙළෙසින් ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරය, මහා කුශල සෝමනස්ස සහගත සිත් සතරය යන අටෙන් පෘථග්ජනයෝ සිනාසෙති. දිට්ඨි විප්පයුත්ත සෝමනස්ස සහගත සිත් දෙකින් හා මහාකුසල සෝමනස්ස සහගත සිත් සතරෙන් ශෛක්ෂයෝ සිනාසෙති. හසිතුප්පාද චිත්තයෙන් හා මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරෙන් රහත්හු සිනාසෙති."

# "ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි."

[උපුටා ගැනීම්: මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මයේ මූලික කරුණු හා අභිධර්ම මාර්ගය ඇසුරිණි.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll