251. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි! පළමුවෙන්ම ඔබගේ ධර්ම දානමය පුණ්‍ය සේවාවට අත්‍යන්ත කෘතවේදී බව පළ කරමු. තව දුරටත් මට දැන ගත යුතුයි "භාවනාවේදී පරිකර්ම, උපචාර, අනුලෝම, ගොත්‍රභූ යනු කුමක්ද යන්න?" (මූලාශ්‍රයක් සොයා ගත නොහැකි විය.)

A/S. "භාවනා තුන

පරිකර්ම භාවනාව - උපචාර භාවනාව - අර්පණා භාවනාව ය කියා භාවනා තුනෙකි.

කසිණාදි ආරම්මණයක සිත පිහිටුවා ගෙන එය ම නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් ඇසට පෙනෙන්නාක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනා නමි.

භාවනාරම්මණය සිතට ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් යටපත් කර ගත් තැන් පටන් අර්පණාචිත්තය ඇති වීමට ළං වන තුරු භාවනාව උපචාර භාවනා නමි.

මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නම් වේ.

අරමුණට පිවිසෙන්නාක් මෙන් පවත්නා බැවින් විතර්කය, අර්පණා නම් වේ. එය ප්‍ර‍ධාන කොට පවත්නා බැවින් සියලු ම මහද්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ."

"සමාපත්ති

“ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය” කියා සමාපත්ති තුන් වර්ගයක් ඇත්තේ ය.

යම් කිසි රූපාවචර - අරූපාවචර ධ්‍යාන චිත්තයකින් යුක්ත ව වාසය කිරීමට “ධ්‍යාන සමාපත්තිය” යි කියනු ලැබේ. පළමුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවෙහි ඒ සඳහා භාවනා කරන්නා වූ තැනැත්තාට පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ යන නම්වලින් කාමාවචර ජවන චිත්තයන් තුන් වරක් හෝ සතර වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු එක් වරක් ධ්‍යාන චිත්තය ඇති වී භවාඞ්ග වේ. පළමුවෙන් ධ්‍යාන උපදවන තැනැත්තාට “ආදිකර්මිකයා” ය යි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යානය ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යාන චිත්තය උපදවා ගැනීම සඳහා භාවනා කළ හොත් පෙර සේ ම තුන් වරක් හෝ සතර වරක් හෝ කාමාවචර ජවනයක් ඉපද නිරුද්ධ වූ පසු ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වන්නේ ය. යෝගාවචරයාගේ සමාධි දියුණුවේ සැටියට භවාඞ්ග නො වී දිගට ම වාර දහස් ගණන් ලක්ෂ ගණන් ධ්‍යාන සිත ම ඇති වේ. ඔහුට පැය ගණනක් වුව ද එසේ වාසය කළ හැකි ය. එය ධ්‍යාන සමාපත්තිය ය."

"... මේ වීථිවල ඇති වන කාමාවචර ජවනයන්ගෙන් පළමු වන සිතට පරිකර්ම යන නාමය දී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතාදි කරුණුවලින් ඒ සිත අර්පණා චිත්තය ඇති වීමට විශේෂයේ උපකාර වීම් වශයෙන් අර්පණාව ඇති කරන්නාක් මෙන් පවත්නා බැවිනි. දෙවන සිතට උපචාර යන නම දී ඇත්තේ, සමීප කාලයේ දී අර්පණා චිත්තය ඇති වීමට උපකාර වීම් වශයෙන් අර්පනාවට ළංව සිටින බැවිනි. උපචාර යන වචනයේ තේරුම සමීපයේ හැසිරෙන සිතය යනුයි. තුන්වන සිතට අනුලෝම යන නම දී ඇත්තේ අර්පණා චිත්තය ඇති වීමට බාධක කාමච්ඡන්දාදීන් දුරු කිරීම් වශයෙන් අර්පණාවට අනුකූල ව පවත්නා බැවිනි. සතර වන සිතට ගෝත්‍ර‍භූ යන නම දී ඇත්තේ, කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට අර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නො වන හෙයිනි."

"පරිකර්ම, උපචාර, අනුලෝම නාමයෙන් ඇති වන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශලයන් අතුරෙන් යම් කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයා ගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් උපදනේ ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll