196. නිල් චිත්‍රපටි නොබලා ඉන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අසභ්‍ය චිත්‍රපටි බැලිමෙන් වලකින්නෙ කෙසේ ද?

A. # සැලකිය යුතුයි: මෙම පිළිතුර (ද, ඕනෑම පිළිතුරක්/දෙයක් ද,) අවශ්‍ය ඉලක්කය සපුරා ගන්නා තෙක් නැවත නැවත කියවා න්‍යායාත්මක දැනුම මැනවින් උකහා ගන්න; පසුව එම න්‍යායාත්මක දැනුම මැනවින් නැවත නැවත ක්‍රියාවේ යොදවන්න නොහොත් ප්‍රායෝගිකව වෙන්න!

මෙම ප්‍රශ්නය විසඳීමේ දී ද “චතුරාර්ය සත්‍ය ව්‍යුහය” එනම්, ප්‍රශ්නයක වපසරිය හඳුනා ගැනීම - හේතු හඳුනා ගැනීම - පිළියම් හඳුනා ගැනීම - පිළියම් මාර්ග හඳුනා ගැනීම යොදාගෙන ඇති අතර, පහත න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික දැනුමක් කරගත යුතු ම ය. බොහෝ න්‍යායාත්මක දැනුම වඩා අවශ්‍ය ම න්‍යායාත්මක දැනුම අවශ්‍ය මොහොතේ දී ප්‍රායෝගිකව නැවත නැවත භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ. නරක පුරුද්දක් / ඇබ්බැහියක් ඇති වීමට ගත වූ කාලයට වඩා කාලයක් හොඳ පුරුද්දක් / ඇබ්බැහියක් ඇති වීමට ගත විය හැකි බව ද සලකන්න.

[පාඨක ඔබගේ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව, ස්ත්‍රීලිංග පද හෝ පුරුෂලිංග පද අවශ්‍ය තැන්වලදී ආදේශ කරගන්න.]

# මුලු බුදුදහම මෙන් ම බොහෝ විෂයයන් දැනුමෙන් සන්නද්ධ කිරීමෙන් හෙවත් ඥානනය කිරීමෙන්  “ප්‍රඥා ප්‍රතිකාරය” නොහොත් “ප්‍රජානන ප්‍රතිකාරය” (cognitive therapy) (ප්‍රජානන චර්යා ප්‍රතිකාරය - cognitive behaviour therapy - CBT) මඟින් තමාට ම අදාළ ගැටළුව විසඳා ගැනීමේ ඉඩ-අවකාශ, ශක්තිය-හැකියාව, මාර්ගෝපදේශ-මඟ පෙන්වීම් සලස්වන බැවින්, ඒ සඳහා අපි ඔබව මැනවින් ඥානනය කිරීම ද සිදුකොට ඇත.

# අසභ්‍ය දේ නැරඹීමට ඇති කැමැත්ත: සාංසාරික පුරුදු, කෙලෙස්, කුඩා කාලයේ සිදුවීම්, තරුණ කාලයේ සිදුවීම්, පෞර්ෂය, ආශ්‍රය, අධ්‍යාපනය, මව්-පියන්, පරම්පරා, ජාන, කර්ම, පරිසරය, අසංතෘප්ත ලිංගික ආශා (සන්තර්පණය නොවූ ලිංගික ආශා), නිරුවත හා ලිංගික ක්‍රියාකාරකම් දැකීමට ඇති කැමැත්ත (දර්ශන කාමය = voyeurism), නිරුවත හා ලිංගික ක්‍රියාකාරකම් පෙන්වීමට ඇති කැමැත්ත (ප්‍රදර්ශන කාමය = exhibitionism), [අර්චන කාමය = fetishism, කෞමාර කාමය = pedophilia / paedophilia, ස්වපීඩා කාමය = masochism, පරපීඩා කාමය = sadism, පුං කාමෝන්මාදය = satyriasis, නාරි කාමෝන්මාදය = nymphomania, ආදිය] හා අඩුවැඩි වශයෙන් බැඳී පවතී.
 
එවැනි මානසික අසමතුලිතතාවයන්වලින් මිදීමට දැඩි කැපවීමක්, උත්සාහයක්, වීර්යයක්, සිහියක්, නුවණක්, දැනුමක්, පිනක් අවශ්‍ය විය හැක. කායික රෝගයන්ට වඩා මානසික ව්‍යාධීන් අතිශයින් බරපතල විය හැකි බැවින් හා ඒවා දෙලොව ම විනාශකාරකයන් වියහැකි බැවින් ඉන් මිදීමට දැඩි-ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතු ම ය.

අසැබි දේ නැරඹීමේ ඇබ්බැහියෙන් මිදෙමේ මනෝවිද්‍යාත්මක ක්‍රම සියල්ල ම “විතක්ක සණ්ඨාන” හා “සබ්බාසව” සූත්‍රද්වය තුළ ඇති බැවින් පළමුව එකී ක්‍රම ඉගෙන ගෙන ප්‍රායෝගික වී බලන්න.

[විතක්ක සණ්ඨාන සූත්‍රය ඇසුරෙන් - සූත්‍රයට අනුව ම නොවේ.]

01.වැරැදි හැඟීම් ප්‍රතිවිරුද්ධ සිතිවිලි මඟින් දුරු කිරීම.

කායගතා සතිය / අශුභ භාවනාව ඉතා සාර්ථක ක්‍රමයකි.

අංක 03 හි සමාන ආස්වාදයකට සිත මාරුකිරීමට වෙනුවට, ඇලීම්-ගැටීම්-මුලාවීම් තොර යථාර්ථාවබෝධය ඇති (ඇත්ත ඇතිසැටියෙන් දකින) ගැඹුරු ප්‍රඥාගෝචර යෝනිසෝමනසිකාරය මින් අපේක්ෂිතය.

අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.

[යෝනිසෝමනසිකාරය මෙහි 👇 විරුද්ධ ආකාරයන්ට ය.}

"එහි අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලෝම විසින් හෝ චිත්තයාගේ ආවර්‍ජනයෙක් පුනපුනා ආවර්‍ජනයෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ."

තත්ථ කතමො අයොනිසො මනසිකාරො? අනිච්චෙ “නිච්ච”න්ති අයොනිසො මනසිකාරො, දුක්ඛෙ “සුඛ”න්ති අයොනිසො මනසිකාරො, අනත්තනි “අත්තා”ති අයොනිසො මනසිකාරො, අසුභෙ ¶ “සුභ”න්ති අයොනිසො මනසිකාරො, සච්චවිප්පටිකුලෙන වා චිත්තස්ස ආවට්ටනා අනාවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො – අයං වුච්චති “අයොනිසො මනසිකාරො”."

02. වැරැදි සහගත සිතුවිලිවල ආදීනව සිතීම.

සියලුම මානව හා අන්තර් සබඳතා බිඳ වැටීම, දෙලොව ම අඳුරු වීම, එම දර්ශනයක් හෝ අඟ-පසඟ සිහි වීමෙන් දුගතිගාමී වීම (ආදිත්ත පරියාය සූත්‍රය), මානසික / කායික රෝග, තමා වරදක් කරන/කළ බවට ඇතිවන කරදරකාරී-සාවද්‍ය හැඟීම (guilty feeling), වරදකාරී සිත (guilty mind) ආදිය ගැන විස්තරාත්මකව නිතර-නැවත සිහිකරන්න. 

03. උපන් වැරැදි සහගත සිතුවිලි වෙනතක යොමු කිරීම (මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බැවින් වැඩි විස්තරයක් කරනු ලැබේ).

නිල් චිත්‍රපටයක් බැලීම සිතක් ඇති වෙනවාත් සමඟ ම ඒවා කලින් බැලීමෙන් ලත් ආශ්වාදය, සතුට, සොම්නස, සැහැල්ලුව ආදිය සහිත චිත්ත-රූප / හැඟීම් සිතේ මැවේ / උපදී/හටගනී - එබැවින් මනස ඒ ආශ්වාදය නැවත නැවත ලබා ගැනීමට පෙළඹේ. 

මින් මිදීමට නිල් චිත්‍රපටයක් බැලීමේ සිතක් ඇති වෙනවාත් සමඟ ම ඒ ඒ හා සමාන ආශ්වාදය, සතුට, සොම්නස, සැහැල්ලුව ළඟා කරවන ශාස්ත්‍රීය නිර්මාණ (ශාස්ත්‍රීය ගී - සිංදුව - කවි - නිසදැස් - නවකතා - කෙටිකථා - ටෙලිනාට්‍ය - පොත් පත්) රස විඳීම, නොයෙක් නිර්මාණ කිරීම, නෑම, පිහිනීම, රස-ගුණ ඇති පළතුරු කෑම, කුරුළු ගීවලට සවන් දීම, හිරු එළිය විඳීම, නිවස/කාමරය/පරිසරය පවිත්‍ර කිරීම, සොබා සෞන්දර්ය රස විඳීම, එළිමහනේ ඇවිදීම, අහසේ තරු බැලීම, තණකොළ මත / වැලි මත / පොළව මත සෙරෙප්පු නොදා ඇවිදීම, ස්වසන අභ්‍යාස කිරීම, යහපත්-හොඳ ගතිගුණ ඇති මිතුරු මිතුරියන් / පෙම්වතුන් පෙම්වතියන් අසුරු කිරීම, ක්‍රීඩා කිරීම, ප්‍රියයන් හා එක්වීම, දරවන් හා එක්වීම, බිරිදට/ස්වාමියාට/කෙනෙක්ට උදව් කිරීම, ආගමික සිද්ධස්ථානයන්ට යෑම, ශ්‍රමදාන කිරීම, නිවස/මිදුල ඇමදීම, ගෙවතු වගාව කිරීම, මල් වැවීම, පිළිසකර කිරීම, අලුත්වැඩියා කිරීම, නව නිර්මාණ කිරීම/ගෙතීම/පබැඳීම, ජංගම පරිගණකය හා ජංගම දුරකතනය ආදිය (turn off කර,) හිතාමතාම අමතකකර නිවසින් බැහැර යාම, ධර්ම දේශනා ශ්‍රවණය - දහම් පොත්පත් කියවීම, භාවනා කිරීම ආදී (මෙකී-නොකී) ඵලදායී ධනාත්මක දෙයකට සිත මාරුකොට ඊට සිත පුරුදු කළ හැකි ය.

04. උපන් වැරැදි සහගත සිතුවිලිවල මූලය සිහිකිරීම.

මිතුරු වෙසින් එන පරම හතුරෙක් වූ ද මාර දූතයෙක් වූ ද ආවීශ වී නටවන යක්ෂයෙක් වූ ද “ලෝභය” නමැති අකුසල් මූලය ඇතිතාක් මෙවැනි දේ සිදුවේ. එබැවින් අකුසල් සිත එසේ අකුසල් (ලෝභ සිතක්) සේ හඳුනාගෙන ධර්මය පැමිණීමට හා මාර්ග-ඵල ලැබීමට දහම් දැනුම හා දහම් මඟ ගවේෂණය කළ යුතු ය.

05. උපන් වැරැදි සහගත සිතිවිල්ල කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා පාලනය කිරීම.

‘අද/මේ මොහොතේ මා කිසිසේත් ම කුමන හේතුවක් නිසාවත් (කවරදාකවත්) අසභ්‍ය දේ නැරඹීම කරන්නේ ම නැත’මෙසේ ප්‍රබල ලෙස සිතා, දත්මිටි කාගෙන කායික හා මානසික විර්යය-බලය යොදා නිල් චිත්‍රපට බැලීම නොකළ යුතු ය.

[සබ්බාසව සූත්‍රය ඇසුරෙන් - සූත්‍රයට අනුව ම නොවේ.]

1. දස්සනා පහාතබ්බා - (රාගය පහවීමට නම් අනාගාමී විය යුතුය; එතෙක් රාගය හා සටනක් ඇති බැවින්,) අසූචියෙන් (මළපහ වැන්නෙන්) සැදුණු ශරීරය, ඇතිවන ලෝභ-රාග සිතිවිලි මඟින් රූකඩ නටවන්නා සේ සෙලවීමෙන් සිදුවන ක්‍රියාවලිය මැනවින් දකින්න.

අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.

2. සංවරා පහාතබ්බා - අසභ්‍ය දෙයක් දකින සෑම විටක ම දෙනෙත් පියාගන්න. මුලු ශරීරය හා අවයව-අඟ-පසඟ විදර්ශනා කරන්න.

අවශ්‍ය දැනුම ලබා ගැනීමට මේවා 👇 ද කියවන්න.

3. අධිවාසනා පහාතබ්බා - අසභ්‍ය දෙයක් දැකීමට සිතෙන සෑම විටක ම ඒ සඳහා ඔබව ක්‍රියාත්මක කරවන සිතුවිලි සමුදායක් හා ශක්ති සමුදායක් මුදා හැරේ, එකී සිත් හා ශක්ති සමඟ මදින් මද දිගුවේලාවක් සිටීමට හැකිවෙන තෙක් අසභ්‍ය දෙයක් දැකීමට සඳහා ඔබව ක්‍රියාත්මක නොවෙන සේ දෙනෙත් පියා වැතිර/හාන්සිවී එකී සිත් හා (බොහෝ විට මොළය, ලිංගික අවයව ආශ්‍රිතව හෝ ශරීරයේ වෙනත් තැනක හටගන්නා) ශක්ති (හැඟීම්/දැනීම්) සමඟ (ඒ ශක්තීන්/හැඟීම්/දැනීම් හඳුනාගෙන, ඒවාට සවන් දී-සංවේදී වී, ඒවා සමඟ) ජීවත් වීමට ටිකින්-ටික හුරු වෙන්න.

4. පරිවජ්ජනා පහාතබ්බා - පරිගණකය හෝ ජංගම දුරකතනයේ ආදියෙහි (වෙනත් ඕනෑම තැනක) ඇති සියලුම අසභ්‍ය දේ ඉවත් කරන්න; හැකිනම් අවශ්‍ය දෑ සුරක්ෂිතව ඉවතට ගෙන පරිගණකය හා ජංගම දුරකතනය නැවත සකසන්න (format / reset කරන්න). ඕනෑම කුඩා දරුවෙකුට පවා සභ්‍යත්ත්වයෙන් අහිතකර නොවන පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් බවට පත් කරන්න. පරිගණකය සාලේ තබන්න. අනවශ්‍ය සෑම විට ම අන්තර්ජාලය විසන්ධිකර තබන්න / උපාංග ක්‍රියා විරහිත කරන්න (turn off). අසභ්‍ය පත්තර/ලිපි/පොත්/DVD/Pen/Chip/Accounts/Images/Videos/Websites ආදියට ද පිළිස්සීම, format, කඩා ඉවත් කිරීම, විනාශ කිරීම, block, unfriend, unplug, unfollow, delete, remove, ආදී අවශ්‍ය සෑම සුදුසු පියවරක් ම ගන්න. 

5. විනෝදනා පහාතබ්බා - අනවශ්‍ය සෑම විට ම පරිගණකය හා ජංගම දුරකතනය ආදිය ඈත්කොට තබන්න. ධර්මය පැමිණීමට, දහම් දැනුම වැඩිකර ගැනීමට හා  මාර්ග-ඵල ලැබීමට කළ හැකි උපරිම උත්සාහය කැපවීම (ලෞකික දිවිය ද සමබරව හා ධාර්මිකව ගෙවෙන අතර,) දිවි හිමියෙන් කරන්න.

### 00. ප්‍රජානන ප්‍රතිකාර දෙස හැරී බැලීමේ දී, ජීවවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන්, මිනිස් සිරුරේ අවයව හා ඒවායේ ආවේණික හැඩයන් ආදිය පිහිටා ඇත්තේ යම්කිසි කාර්යයන් සඳහා ය. උදාහරණ ලෙස: දෙතොල උරා බීමටත්; පයෝධර කිරි දීමටත්, කිරි උරා බීමේ පහසුව සඳහාත්; නාභිය (බුරිය) මව්කුසේ දී ආහාර ලබා ගැනීමට පෙකණිවැල සම්බන්ධ වී තිබූ ස්ථානය ලෙසත්; නිතඹ (සට්ටම/තට්ටම/වන්න) වැඩිවෙලාවක් පහසුවෙන් ඉඳගෙන සිටීමටත්; පුළුලුකුල (පුළුල් උකුල/ශ්‍රෝණිය/ශ්‍රෝණි මේඛලාව) හා නාරි ගමන (ගමනේ ලාලිත්‍ය/ලැසි ගමන) ඇතිවී ඇත්තේ ප්‍රසූතිය පහසු කරවීමට උකුලේ පිහිටීම නිසාත්; ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය, ලිංගේන්ද්‍රිය හා ප්‍රජනනය තම වර්ගයාගේ බෝකිරීම, අඛණ්ඩ පැවැත්ම ආදිය සඳහාත් ය. තව ද, කාලගුණය, දේශගුණය, සංස්කෘතිය ආදී තත්ත්වයන් මත ද ස්ත්‍රීන්ගේ/පුරුෂයන්ගේ නොයෙක් වෙනස්කම් ඇති වේ. (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ ආකාරයෙන් ඒ අවයව/අවයවයන්ගේ හැඩසටහන්/ලිංගික ක්‍රියා ගැන හිතන්න.)

01. සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන්, ක්‍රියාවක නියම අර්ථය හා හරය කාලයත් සමඟ ගිලිහි ගොස්, ක්‍රියාව විකෘත්ති වී සාමාජගත වී ශේෂ විය හැක. තම වර්ගයාගේ බෝකිරීම අඛණ්ඩ පැවැත්ම සඳහා ඇති ප්‍රජනනය ක්‍රියාවලිය අද වන විට හුදු ආස්වාදය උදෙසා; වාණිජමය පරමාර්ථ/අරමුණු, චිත්‍රපටි, රඟපෑම් ආදිය සඳහා යොදා ගනී. නොඑසේනම් මානසික රෝගීන්ගේ ක්‍රීඩාවක්/සෙල්ලමක් බවට (ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්නේ ක්‍රිකට් ලෝලීන් ය; එමෙන් ම මානසික රෝගීන්ගේ රතී ක්‍රීඩාව/රති කෙළිය නරඹන්නේ මනෝ රෝගීන් ය.) හෝ රාගය බලවත් වූ මිනිස් ගුණදම් පිරිහුණු සාමාජ සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. [අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ ආකාරයෙන් ඒ අවයව/ලිංගික ක්‍රියා ගැන  හිතන්න.]

02. සදාචාරාත්මක දෘෂ්ටි කෝණයෙන්, මළපහ කිරීමේ දී මෙන් සැඟව රහසින් කළ යුතු ලිංගික හැසිරීම් කිසිවෙකුට නොපෙන්විය යුතු කිසිවෙකු නොදැකිය යුතු අවශ්‍ය නම් සුදුසු කල විශ්වාසවන්ත විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකුට පමණක් ම සීමා වී අත්විඳිය යුතු මානුෂික රහස්‍ය මානව සබඳතාවයකි. (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ ආකාරයෙන් ඒ අවයව/ලිංගික ක්‍රියා ගැන හිතන්න.)

03. බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන්, මළපහ (ශුක්‍ර-ශ්‍රෝණිත / ශුක්‍රාණු-ඩිම්බාණු - යුක්තාණු / බලු වමනයක් වැනි කනලද ආහාර) වැනි දෙයින් නිර්මිත ශරීරය හා ශරීර ක්‍රියා කෙරෙහි කැමැත්ත ඇතිවන සේ හඳුනා ගැනීම මනාසික රෝගයකි, මනසේ විපරීත තත්වයකි (අසුභේ සුභ සංඥා හා සංඥා විපල්ලාසය). (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර ශරීර සෑදී ඇති නියම තත්ත්වය ගැන හිතන්න.)

විදර්ශනා අශුභ මනසිකාරයෙන් බලන්නේ නම්, සිප වැළඳගැනීම් ආදිය හා ලොකු කුඩා ලිංගික ක්‍රියා ආදී සමස්ත ලිංගික ක්‍රියාවලිය ම, අකුසල් සිත් නමැති බලවේග මඟින් ශරීර නමැති අසුචි ගොඩවල් දෙකක් (හෝ ඊට වැඩි ගණනක්) අසූචි ගොඩවල් දෙකක් (ගොඩවල්) ම සිප වැළඳගැනීම් ආදිය කරවීම හා අසූචි ගොඩවල් දෙකක් (ගොඩවල්) ම තුළ එබීමකි, එබ්බ වීමකි, බහා ලීමකි ... ආදී වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් සැබෑ ලෙස ම දකිමින් මනසිකාරය කරන්න (නිතර නිතර හිතන්න).

04. අභිධර්මයේ දෘෂ්ටි කෝණයෙන්, ස්ත්‍රී භාවරූප නිසා ස්ත්‍රී ගතිය, කටහඬ; ලහුතා - මුදුතාදී රූප නිසා ස්ත්‍රී සිව්මැලි භාවය ආදිය ඇති වේ; මනසේ ස්වභාවය අනුව ද නොයෙක් වෙනස්කම් ඇති වේ.  අනෙක් අතට, සත්ත්වයා යනු ස්කන්ධ - ධාතු - ආයතන ලෙස පෙනී සිටින ශක්ති-බලවේග විශේෂයක් මිස සැබවින් ම සත්ත්වයෙක් නොවේ. වතුර ඇතුවාක් මෙන් පෙනී සිටියද මිරිඟුවේ ජලය ඇත්තේ ම නැත. එසේ සත්ත්වයෙක් - පුද්ගලයෙක් - මම - අනෙකා හෝ සැබවින්ම නැති බැවින් ඔවුන්ගේ කුමන අවයවද? කුමන නිරුවතක් ද? කුමන ලිංගික ක්‍රියාකාරකම් ද? මේ සියල්ල බොහෝ දේ (නාම-රූප) එක්කොට දක්වන මනසේ මායාවන් ය. (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ අයුරින් ගැඹුරින් විමසා හිතන්න.)

{අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.}

05. උපමාවක දෘෂ්ටි කෝණයෙන්, අසූචියෙන් (මළපහවලින්) ම සෑදු ලිංග භේදය මැනවින් පෙනෙන, මිනිසුන් නොවන නමුත් මිනිසුන් නොවන බව කිසිසේත් ම වෙනස හැඳිනිය නොහැකි ඉටිරූප බදු නිරුවත් රොබෝවරු හා රෝබෝවරියන් ඇත. ඒ යන්ත්‍ර තුළ පණක් - ආත්මයක් - කෙනෙක් කියා දෙයක් නැති බව අපට හොඳට ම විශ්වාස ය. එහෙත් ඒ රොබෝ යන්ත්‍රවලට නවීන පරිපථ ආදිය ආධාරයෙන් ක්‍රියාකළ හැක, කතා කළ හැක, සිතිය හැක. දැන් ඔබ ඒ රොබෝ යන්ත්‍ර අතගෑවොත් හෝ ලෙව කෑවොත් හෝ ඉඹ-සිපගතහොත් හෝ ඔබ අසූචියෙන් (මළපහවලින්) ම සෑදු දෙයක් පරිහරණය කිරීමකි. ඒ රොබෝ යන්ත්‍ර රන්වන් (රත්තරං/කළු/සුදු/ගුරු/තලෙළු/රෝස/...) පාටින් පාට කළා යැයි සිතන්න, ඒ රන්වන් පාට ඇසින් දැකිය හැකි ය - ඇසින් (හා මනසින්) මිස, වෙන කිසිදු (ඉහත) ආකාරයකින් ඒ රොබෝ යන්ත්‍ර හෝ ඒවායේ අනු කොටස් පරිහරණය කළ නොහැක. ඒවායේ ක්‍රියාවලින්, අසුචි අසූචි හා එක්වීමෙන් නොයෙක් ආකාරයේ (කෙළ-සොටු-සේම-ශුක්‍ර-මළ-මුත්‍ර වැනි) අසූචි ම වැගිරේ. [මේ උපමාව ස්ත්‍රී-පුරුෂයන්ට ආදේශකර නිතර විමසා හිතන්න. වෙනසකට ඇත්තේ අසූචි-රොබෝ-යන්ත්‍ර මිනිසුන් විසින් නිර්මාණය කිරීම හා මිනිසුන් නමැති මිනිස්-අසූචි-රොබෝ-යන්ත්‍ර සොබාදහමේ (පරමාර්ථවල / පටිච්චසමුප්පාදයේ) නිර්මාණයක් වීමත් ම පමණි.] (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ අයුරින් ගැඹුරින් උපමා අනුසාරයෙන් විමසා හිතන්න.)

{අනාත්මය වඩන්න - අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.}

06. විදර්ශනා දෘෂ්ටි කෝණයෙන්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අනුව බැලිය හැක. බොහෝ ලොකුකර බලන කණ්ණාඩියකින් ශරීරය බලන්නේ නම් විනිවිද පෙනෙන කුඩා සිදුරු දකිනු ඇත. පරමාර්ථ වශයෙන් ම බලන්නේ නම් කිසිදු ශරීර සටහනක් හෝ අවයව සටහනක් හෝ (අඟ-පසඟ සටහන් / අනුසටහන්; නිමිති / අනුනිමිති) සියල්ල අතුරුදහන් වේ. ශරීර සටහන් හා ක්‍රියාවන් හෝ අවයව සටහන් හා ක්‍රියාවන් හෝ අරමුණු නොවන කල අසභ්‍ය / රාගික දේ නැරඹීමෙන් පවා රාගය නො ඇවිස්සෙනු ඇති; නූපදිනු ඇත. කෙලෙස් විඩා සංසිඳෙනු ඇත. (ඒ තත්ත්වයට පැමිණීමට උත්සහ කෙරේවා!) (අසභ්‍ය දේ නැරඹීමට සිතෙන සෑම විට ම හා නිතර-නිතර මේ අයුරින් විදර්ශනා දෘෂ්ටි කෝණයෙන් ගැඹුරින් විමසා හිතන්න.)

["ශරීරයෙහි වූ පෘථිවි ආපෝ තේජෝ වායෝ කලාප ද පොල් ගෝනියේ පොල් ගෙඩි මෙන් ද, සහල් ගෝනියේ සහල් ඇට මෙන් ද, සහල් ඇටයේ පිටි මෙන් ද, වෙන වෙන ම ආකාශ ධාතුවෙන් වටවී තිබෙන සැටි නුවණින් සලකා අවබෝධ කර ගත යුතුය. පොල් ගෝනිය ඔබ මොබ ගෙන යන කල්හි ඒ පොල් ඒ ඒ තැන තිබෙන ආකාශ ධාතුවට පිවිසෙන්නාක් මෙන් ගමන් කරන කල්හි ශරීරයේ වූ ධාතු කලාප වෙන වෙනම ආකාශ ධාතුව අතරින් ගමන් කර ඒ ඒ තැනට පැමිණෙන සැටි ද, ශරීරයේ ද පොල් ගෝනියේ සහල් ගෝනියේ මෙන්ම කුහර ඇති සැටි ද කල්පනා කරනු. කුඩා දේ මහත් කොට පෙන්වන කණ්නාඩියකින් බැලුවහොත් මී වදයක මෙන් ශරීරයේ සෑම තැනම සිදුරු දැකිය හැකිය. රූප ධාතු පස කී සැටියට හොඳින් තේරුම් ගෙන මතු දක්වන සැටියට භාවනා වෙහි යෙදුණ හොත් ඉක්මනින් ම දෘෂ්ටි විශුද්ධිය ඇති වනු ඇත. මෙය බොහෝ වාර ගණනක් කියා දින ගණනක් ම මේ ගැන කල්පනා කරත්වා!"

### ඕනෑම ක්‍රියාවලියක් අප හඳුනන ආකාරය (සංඥා විපල්ලාසය), ඒ පිළිබඳව අප දක්නා ආකාරය (දිට්ඨි විපල්ලාසය), සිතනා ආකාරය හා සංකල්ප (චිත්ත විපල්ලාසය) වෙනස් කිරීම මගින් සැබෑ වෙනසක් ඇතිකළ හැක. ඒ සඳහා ඉහත නොයෙක් නොවරදින විධික්‍රම, ක්‍රමෝපායන්, ක්‍රමෝදාහරණ ගෙනහැර දක්වා ඇත.

{සතර විපල්ලාස: අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.}

["එහි සතර විපර්‍ය්‍යාසයෝ කවරහ යත්: අනිත්‍යවස්තුයෙහි නිත්‍ය යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, දුඃඛයෙහි සුඛ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අනාත්මයෙහි ආත්ම යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අශුභයෙහි ශුභ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මොහු සතර විපර්‍ය්‍යාසයෝ යි.

තත්ථ කතමෙ චත්තාරො විපරියාසා? අනිච්චෙ “නිච්ච”න්ති සඤ්ඤාවිපරියාසො චිත්තවිපරියාසො දිට්ඨිවිපරියාසො, දුක්ඛෙ “සුඛ”න්ති සඤ්ඤාවිපරියාසො චිත්තවිපරියාසො දිට්ඨිවිපරියාසො, අනත්තනි “අත්තා”ති සඤ්ඤාවිපරියාසො චිත්තවිපරියාසො දිට්ඨිවිපරියාසො, අසුභෙ “සුභ”න්ති සඤ්ඤාවිපරියාසො චිත්තවිපරියාසො දිට්ඨිවිපරියාසො – ඉමෙ චත්තාරො විපරියාසා."

{පරමාර්ථ/ශක්ති/ක්‍රියා: අවශ්‍ය දැනුම ලබා ගැනීමට 👇 කියවන්න.}

නැවත මතක් කිරීම: කොපමණ න්‍යායාත්මක දැනුම ඇතත්, අවශ්‍ය මොහොතේ දී ප්‍රායෝගිකව නැවත නැවත භාවිතා නොකරන්නේ නම්, අවශ්‍ය ප්‍රතිඵල නොලැබෙනු ඇත. නරක පුරුද්දක් / ඇබ්බැහියක් ඇති වීමට ගත වූ කාලයට වඩා කාලයක් හොඳ පුරුද්දක් / ඇබ්බැහියක් ඇති වීමට ගත විය හැකි බව ද සලකන්න!
මෙම පිළිතුරේ ගැබ්ව ඇති න්‍යායාත්මක දැනුම අනුසාරෙන් ඥානනය වීමට හා ගවේෂණශීලී වීමට හා අතුරු ප්‍රශ්න නොනැඟීමට කාරුණික වෙන්න!

මෙම පිළිතුරේ ගැබ්ව ඇති ප්‍රායෝගික දැනුම ඔබේ ප්‍රශ්න(ය) කෙටි කලකින් / යම් කලකින් / දිගු කලකින් සම්පූර්ණයෙන් ම විසඳනු නිසැකය; නොඅනුමානය. එබැවින් ඉක්මන් ප්‍රතිඵල සඳහා නිතර-නිතර, නැවත-නැවත ප්‍රායෝගික වෙන්න!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll