197. චිත්ත වීථි යනු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චිත්ත වීථි කියන්නෙ මොනවා ද? ඒවා ඇතිවෙන්නේ කොහොමද?

S. "චිත්ත වීථි

ඇසට හමුවන දෙය හරියට දැන ගැනීම ය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීම ය, නාසයට - දිවට - කයට පැමිණෙන ගන්ධයන් - රසයන් - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් හරියට දැන ගැනීම ය, තමා විසින් වචනයක් කීම ය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීම ය, ශරීරාවයවයන් එසවීම ය, පහත් කිරීම ය, එහා මෙහා කිරීම ය, යෑම ය, ඊම ය, දීම ය, ගැනීම ය යනාදි කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නො වේ. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍ර‍මානුකූල ව සිත් පෙළක් ඇති විය යුතු ය. ඒ ඒ කරුණු සිදු කිරීම් වශයෙන් ඇති වන්නා වූ චිත්ත පරම්පරාවලට, සිත් වැල්වලට “චිත්තවීථිය” යි කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇති වන සිත් වැල් චිත්තවීථිය යි කිය යුතු ය. ..."

S. "චිත්ත වීථි ඇති වන සැටි

චිත්ත වීථි නාමයෙන් හඳුන්වන රූප දර්ශනාදිය සම්බන්ධයෙන් ඇති වන පඤ්චද්වාරාවජ්ජන චක්ඛු විඤ්ඤාණාදි සිත් වැල් ඒ ඒ පුද්ගලයන්ට තම තමන්ගේ උත්සාහයෙන් ද ඇති කළ නො හැකි ය. දේවාදි යම් කිසිවකු ගේ බලයකින් ඒවා ඇති කළ හැක්කේ ද නො වේ. චක්ෂුර්ද්වාර වීථියක් ඇති වෙතොත් ඇති වන්නේ රූපාරම්මණයක් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් ම ය. බෙර ඇසෙහි අත වැදුණ හොත් හඬක් ඇති වන්නාක් මෙන් ගිනි පෙට්ටියෙහි ගිනිකූර ඇතිල්ලුවහොත් ගින්නක් හට ගන්නාක් මෙන්, චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීමක් සිදු වුව හොත් චක්ෂුර්ද්වාරික වීථි ඇති වේ.

චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි රූපයක් ගැටුණු කල්හි ඇති වන පඤ්චද්වාරාවජ්ජනාදි සිත් පෙළ අවුල් නො වන ලෙස පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණාදි වශයෙන් පිළිවෙළ නො ඉක්මවා ඇති වන ලෙස විධානය කරන්නෙක් ද නැත. එසේ නැති ව මේ සිත් පිළිවෙළට ඇති වන්නේ පූර්ව පූර්ව සිත්වල බලයෙන් ම ය. පඤ්චද්වාරාවජ්ජනයක් ඇතිවීම නිසා එය ළඟට ඇති වීමට යෝග්‍ය වූ චක්ඛුවිඤ්ඤාණය ඇති වේ. චක්ඛුවිඤ්ඤාණය ඇති වීම නිසා එය ළඟට ඇති වීමට නිසි සිත වූ සම්පටිච්ඡනය ඇති වේ. සම්පටිච්ඡනාදිය ඇති වීම නිසා සන්තීරණාදිය ද එසේ ක්‍ර‍මානුකූල ව ඇති වේ. ..."

S. "අනුබන්ධක මනෝද්වාර වීථි.

රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටී චක්ෂුර්ද්වාර වීථියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට “මම අසවල් දෙය දිටිමිය” යන දැනීම ඇති නො වේ. අසවල් දෙය දුටුවෙමි ය යන හැඟීම පුද්ගලයාට ඇති වීමට චක්ෂුර්ද්වාර වීථියෙන් පසු මනෝද්වාර වීථි ගණනක් ද ඇති විය යුතු ය. චක්ෂුර්ද්වාර වීථියට දැනෙන්නේ චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු පැහැය පමණෙකි. සෝත, ඝාන, ජිව්හා, කායද්වාර වීථි ඇති වූ පමණින් ද අසවල් දෙය ඇසුණා ය, අසවල් ගන්ධය - අසවල් රසය - දැනුණා ය, අසවල් දෙය සැපුණාය කියා පුද්ගලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇති වීමට මනෝද්වාර වීථි ගණනක් ඇති විය යුතු ය. පඤ්චද්වාර වීථින්ට අනතුරු ව ඒ වීථිවලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇති වන මනෝද්වාර වීථීන්ට අනුබන්ධක මනෝද්වාර වීථිය යි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීථි වශයෙන් ඇති වන්නේ ද ඉහත කී චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථිහුම ය. පඤ්චද්වාර වීථීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීථි ඇති වන ක්‍ර‍මය පොත් කීපයක කීප ආකාරයකින් කියා තිබේ.

රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීථියක් ඇති වේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. “මම අසවල් දෙය දුටිමි ය” යන දැනීම පුද්ගලයාට ඇති වන්නේ තුන්වන මනෝද්වාර වීථිය ඇති වීමෙන් පසු ව ය."

S. "මේ වීථියෙහි තම තමා අයත් කෘත්‍යය සිදු කරමින් ඉපද නිරුද්ධ වන පඤ්චද්වාරාවජ්ජනාදි සිත් ඒ ඒ කෘත්‍යය සිදු කිරීම හැර අන් කිසිවක් දන්නේ නො වේ. මේ වීථිය ප්‍ර‍කට කිරීම පිණිස අඹ උපමාවක් දක්වා තිබේ. ඒ මෙසේ ය:-

පුරුෂයෙක් පැසුණු ගෙඩි ඇති අඹ ගසක් යට නිදයි. ඔහුගේ කන සමීපයට ඉදුණු අඹ ගෙඩියක් වැටෙයි. එහි හඬින් ඔහු අවදි වෙයි. ඇස හැර බලයි. ඔහු අඹ ගෙඩිය අතට ගනී. ඉදුණු එකක් දැයි බැලීමට අඹ ගෙඩිය ඔබයි. ඉදුණු එකක් බව නිශ්චය කර ගැනීමට නැවත සිඹ බලයි. ඉක්බිති එය අනුභව කරයි. කටේ ගෑවී ඇති ඉතුරු හරිය කෙළත් සමග ගිලී. ඒ සියල්ල කොට නැවත පෙර සේ ම නිදයි.

මේ උපමාවෙහි පුරුෂයා නින්දට වැටී සිටීම මෙන් භවාඞ්ග චිත්තයන් ඇති වෙමින් තුබූ කාලය දත යුතුය. අඹ ගෙඩිය වැටීම මෙන් චක්ෂුඃප්‍ර‍සාදයෙහි රූපාරම්මණය ගැටීම දත යුතු ය. පුරුෂයා අවදි වීම මෙන් ආවර්ජන චිත්තය දත යුතු ය. ඇස හැර බැලීම මෙන් චක්ෂුර්විඥානය දත යුතු ය. අඹ ගෙඩිය අතට ගැනීම මෙන් සම්පටිච්ඡනය දත යුතු ය. ඉදුණු එකක් ද කියා දැන ගැනීමට අත තද කිරීම මෙන් සන්තීරණය දත යුතු ය. ඉදුණු බව නිශ්චය කර ගැනීමට සිඹීම මෙන් ව්‍යවස්ථාපන චිත්තය දත යුතු ය. අඹ ගෙඩිය අනුභව කිරීම මෙන් ජවන චිත්තය දත යුතු ය. කටේ ගෑවී ඉතුරු හරිය කෙළත් සමග ගිලීම මෙන් තදාරම්මණය දත යුතු ය. නැවත නිදා ගැනීම මෙන් නැවත භවාඞ්ග ඇති වීම දත යුතු ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll