153. නියත මිත්‍යාදිට්ඨිය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නියත මිත්‍යාදෘශ්‍ටිය සරලව elaborately පහදා දෙන්න පුලුවන්ද? තෙරුවන් සරණයි!

A. “දස අකුසල කර්මයන්ගෙන් බලවත් ම අකුසල කර්මය වනුයේ මිත්‍යාදෘෂ්ටිය වන අතර සෙසු සියළු අකුසල් මේ නිසා සිදු වේ. මිථ්‍යා දෘෂ්ටි බොහෝ සංඛ්‍යාවක් පැවතුණ ද ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.” [මේ තුන නියතමිච්ඡාදිට්ඨිය යි].

"නාස්තික දෘෂ්ටිය

දන් දීමෙන් ප්‍රයෝජනයක් නැත, පූජා කිරීමෙන් ඵලක් නැත, පුද පඬුරු යැවීමෙන් ඵලක් නැත, පින්පව් වල ඵල විපාක නැත, පරලොව ඉන්නවුන් මෙලොව ඉපදෙන්නේ නැත, මෙලොව ඉන්නවුන් පරලොව යන්නේ නැත, මවට කරන හොඳ නරක වල විපාක නැත, පියාට කරන හොඳ නරක වල විපාක නැත, මරණින් පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැත, ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් සම්මා සම්බුදු කෙනෙක් පහල වන්නේ නැත, මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තිබෙන බැවිනුත් සත්වයා මැරුණ විට ශරීරය සතර මහා භූතයන්ට ම එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් වලට ම එකතු වෙනවා, ඉන්ද්‍රියන් අහසට යනවා. අසවලා දායකයෙක්, අසවලා මසුරෙක්, දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නො පෙනීයනවා. ඇට පරවි පියාපත් පැහැ වෙනවා. දාන පූජා ආදිය අළුවීම කෙලවර කොට පවතිනවා. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. යමෙක් දානයෙන් ප්‍රතිඵලයක් තියනවා කියලා පවසනවා නම් ඒ කීම හිස් දෙයක්, බොරුවක්, නන් දෙඩවිල්ලක්, පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශ වෙලා යනවා. නැවත ඉපදීමක් නැත. මෙය අජිත නම් වූ තැනැත්තා ගේ මිථ්‍යා දෘෂ්ටිය යි."

"අහේතුක දෘෂ්ටිය

සත්වයන් ගේ කෙලෙස් ඇති වීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනවා. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනවා. සත්වයින්ට ඒ ඒ කුඩා, විශාල වූ ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියම වූ එක්තරා ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයට අනුව මෝඩයොයි, පණ්ඩිතයොයි යන හැම දෙනා ම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන, සීල, භාවනා වැනි පින්වල බලයෙන් හෝ තපස් රැකීමෙන් ඇති කරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවලා දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිලා විශේෂ සැපයක් ලබන්න නො හැකියි. මොනවා කලත් නියම කාලය එනතෙක් දුක් කෙළවර කොට පරම සැපයකට එන්න කාටවත් නො හැකි ය. පින් කරන නො කරන පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරිසරා අන්තිමට දුක කෙළවර කිරීම සිදු කරනවා. මෙය මක්ඛලී ගෝසාල කියන තීර්ථකයා ගේ මිත්‍යා දෘෂ්ටිය යි."

"අක්‍රිය දෘෂ්ටිය

තමන් විසින් ම පව් කරන්නවුන්ටත්, අනුන් ලවා පව් කරවන්නවුන්ටත්, අනුන් ගේ අත පය ආදිය කපා කොටා දාන පුද්ගලයින්ටත්, එසේ කිරීමට නියම කරන්නවුන්ටත්, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන පුද්ගලයින්ටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන පුද්ගලයින්ටත්, ආහාර නො දීම, සිරකර තැබීම් ආදියෙන් අන්‍යන්ව පීඩාවට පත් කරමින් තමා ද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන, සොරකම් කරන, පරදාර සේවනයේ යෙදෙන, බොරු කියන යනාදී ලෙස ඕනෑකමින් ම පව් කරන පුද්ගලයින්ටත් සිදුවන අකුසලයක් නැත. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැත. දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍යයෙහි පිහිටීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැත. මෙය පූර්ණ කාශ්‍යපගේ මිත්‍යා දෘෂ්ටිය යි."

T. "නියතමිච්ඡාදිට්ඨිකාති අහෙතුකදිට්ඨි අකිරියදිට්ඨි නත්ථිකදිට්ඨීති තීසු මිච්ඡාදිට්ඨීසු යාය කායචි නියතාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතා."

Q. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා සඳහන් වෙන කාරණා දහයයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා මෙතන සඳහන් වෙන එකයි දෙකම එකක් ද?
දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය කියලා කියන කරුණු දහයත් මේ කියන නියත මිත්‍යා දෘෂ්ටියේ ප්‍රධාන කරුණු තුළ ඇතුළත්ද?

A / T. “එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
තත්‍ථ කතමා දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි: නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මා පටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති, අයං දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි.”

"තත්ථ කතමා දසවත්ථුකා මිච්ඡාදිට්ඨි? නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි ¶ පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා  සම්මා පටිපන්නා ¶ යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති – අයං දසවත්ථුකා මිච්ඡාදිට්ඨි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll