79. ආත්මවාදය හා නිම්මානවාදය (නිර්මාණවාදය)?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පින්. මට ගැටළුවක් ඇතිවුනේ හින්දු වේදාන්ත දර්ශනයේ සඳහන්වන බ්‍රහ්මන් හෙවත් විශ්ව ආත්මය යන්න තවත් මනෝමය සංකල්පයක් ලෙස පිරිසිඳ නොදැකීම නිසා ඒ ඒකත්වය ආත්මය ලෙස ගන්නවා වැනි අදහසක් මෙහි තිබෙනවා ද කියා. භෞතික ලෝකයේ පෙනෙන්ට ඇති නානාත්වය පැනනගින්නේ ඒකත්වයක් තුලින් බවත් (oneness) සැබෑ මම යනු ඒ ද්‍රව්‍ය පුද්ගල ස්වභාවයකින් තොරවූ ඒකත්වය බව සමහර බටහිර අධ්‍යාත්මික ඉගැන්වීම් වලද දැක්වෙනවා.

ඒකත්වය ගැන ඇතිකරගන්නා යම් මානසික සංකල්පයක් වේ නම් එයද නියෝජනය වන්නේ චිත්තජ රූපය හා සෙසු නාම ධර්ම බව පිරිසිඳ නොදැකීම නිසා එය ආත්මය ලෙස ගන්නවා වගේ අදහසක් මෙහි තියෙන්න පුලුවන්ද?

තථාගතයන් වහන්සේ ඒකත්වය ගැන කල දේශනාවක් තිබෙනවා ද?

A. ඔබටත් තෙරුවන් සරණයි! 
“ආත්මය” සම්බන්ධ වෙන්නේ “ආත්ම වාදය” (ආත්ම දෘෂ්ටිය / ආත්මවාදය / ආත්මදෘෂ්ටිය / සක්කායදිට්ඨිය) ට ය; “බ්‍රහ්මන්” සම්බන්ධ වෙන්නේ “නිර්මාණ වාදය” (මැවුම් වාදය) ට ය. කවුරු - කොහොම - කොයි කාලෙක වුවත් ඒකත්ත්වයෙන් හෝ නානත්ත්වයෙන් හෝ (ආත්ම - සත්ත්ව - පුද්ගල - මහා බ්‍රහ්ම - දෙවාදී) කුමන ආකාරයකින් හෝ වරදවා ගනුයේ පහත ම පරිදි නාම-රූප හෝ ස්ඛන්ධාදිය ම බව දැන ගැනීම බෞද්ධයන්ට බෙහෙවින් ම ප්‍රමාණවත් / ප්‍රයෝජනවත් ය.

[“නිර්මාණ වාදය” (මැවුම් වාදය) = ඉස්සරනිම්මානවාදය = ඉස්සරනිම්මාණය = ඉස්සරනිම්මාණවාදය = "ඊශ්වර නිර්‍මාණය, බ්‍රහ්ම, මහේෂ්වර ආදී දෙවියෙක් විසින් ලෝකය මවන ලදැයි සිතීම‍"; "ඊශ්වර දෙවියන් විසින් ලොව මවන ලද්දේය මතය-වාදය, ඊශ්වර නිර්‍මාණ වාදය".]

[ඒකත්තතාව ගැන වැඩිදුර විමසුමට කැමති නම්, නෙත්තිප්‍රකරණය හා පේටකෝපදේශය කියවිය යුතු ය; දෘෂ්ටි ගැන වැඩිදුර විමසුමට කැමති නම් බ්‍ර‍හ්මජාල සූත්‍රය කියවිය යුතු ය.]

“1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

1.  රූපං අත්තතෝ සමනුපස්සති.

2.  රූපවන්තං අත්තානං සමනුපස්සති.

3.  අත්තනි වා රූපං සමනුපස්සති.

4.  රූපස්මිං වා අත්තානං සමනුපස්සති.”

A. “වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.

ඇතැම් දෘෂ්ටීන් ඇති වන්නේ සත්ත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනා කිරීමෙන් හෝ උගෙනීමෙනි. සත්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය එසේ ඇති වන්නක් නොව එය සැමට ම උත්පත්තියේ පටන් ස්වභාව ධර්මයඅ ැනුව ඇති වන දෘෂ්ටියකි. කොතරම් මෝඩයකු වුවත් සත්කාය දෘෂ්ටිය ඇත්තේ ය. ඉතා මඳ දැනුමක් ඇති තිරිසන් සතුන්ට ද එය ඇත්තේ ය. සත්ත්වයන් විසින් මම ය කියා සලකන දෙය සත්‍ය වශයෙන් ම ඇත්තේ නම් එය උත්පත්තියේ පටන් මරණය දක්ා හෝ සංසාරය දිගට ම හෝ පවත්නා දෙයක් විය යුතු ය. එය එක් පුද්ගලයකුට එක බැගින් පමණක් තිබිය යුතු ය. එක් පුද්ගලයකුට ආත්ම දෙක තුනක් සතර පහක් නො තිබිය යුතු ය. මෙය මම යයි කියන්නවුන්ට මමය කියා ස්ථිර එක් දෙයක් නැත. වරින් වර එය වෙනස් කර වෙන වෙන දෙයට මම යයි කියති. එහෙත් ඒ බව ඔවුහු නො දනිති. මම සැම කල්හි මම ම විය යුතු ය. එය කිසි කලෙක මාගේ නො විය යුතුය. මම හා මාගේ දෙක දෙකක් ම විය යුතු ය. රූපකය ගමනාදි ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම දනිමි, මම දෙමි, මම ගනිමි, මම කමි, මම බොමි යි රූපකය ආත්ම වශයෙන් ගෙන කථාකරන තැනැත්තා තවත් වරකදී මගේ ඇඟ පණ නැත, මගේ ඇඟ කෙට්ටුය, මගේ ඇඟ රිදෙනවා ය, මගේ ඇඟට ශීතලය, මගේ ඇඟේ ඩහදිය ය යනාදීන් කලින් මමය යි ගත් ඇඟ මාගේ කොට කථා කරයි. ඇඟ මාගේ යයි කීමෙන් දැක්වෙන්නේ එය මම නො වන බව ය. මෙසේ වරින් වර ආත්මය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනි.

වැරදි දැකීමක් වන මේ සත්කාය දෘෂ්ටිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පව්කම් වලට මුලකි. පඤ්චස්කන්ධය ම ඒ ඒ අතට හරවමින් මම ය යි සලකන්නහුට ඒ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති වෙනවාය කියත හොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නො වේ. මාගේ බිරියය මාගේ පුතා ය මාගේ දූ ය මාගේ ගේය යනාදීන් අන් දේවලට තණ්හාව ඇතිවන්නේ මම යන දෘෂ්ටිය ඇති නිසා ය. මේ දෘෂ්ටිය සංසාර ප්‍ර‍වෘත්තියට බලවත් හේතුවකි. එය ඇති තාක් සත්ත්වයාට විමුක්තිය නො ලැබිය හැකි ය. සත්කාය දෘෂ්ටියෙහි ඇති නපුර නිසා,

සත්තියා විය ඔමට්ඨෝ - ඩය්හමානේ ව මත්ථකෙ

සක්කායදිට්ඨිප්පහාණාය - සතෝ භික්ඛු පරිබ්බජේ

(සංයුක්ත නිකාය)

යනු වදාරන ලදී.

සැතකින් පහර ලැබූවකු මෙන් ද, හිස ගිනි ගත්තකු මෙන් ද අන් සියල්ල හැර සත්කාරය දෘෂ්ටිය ප්‍ර‍හාණය කරනු පිණිස උත්සාහ කළ යුතුය යනු එහි අදහස ය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll