Q. මාතුරක්ඛිතාදි ස්ත්‍රීන් අට දෙනා හට පර පුරුෂ සේවනයෙහි කර්මපථය (Karma Pathaya) නොවේ කියා ස්වාමීන් වහන්සේලා දේශනා කරයි. ඉහත ඔබගේ වෙබ් පිටු වලද සඳහන් කොට ඇත. [769 / 777 / 825]
එම ස්ත්‍රීන් සමග හැසිරෙන පරපුරුෂයා විවාහක පුද්ගලයෙකු වූ විට එවිට ද කාමමිථ්‍යාචාර පාපයට එම මාතුරක්ඛිතාදි ස්ත්‍රීන් අට දෙනා හසු නොවේ ද?
එම අවිවාහක මාතා පිතු රක්කිතා ස්ත්‍රින් අට දෙනා, භාර්යාවක් සිටින එම පර පුරුෂයාගේ ස්පර්ෂය එම භාර්යාවගෙන් සොරා ගැනීමට දායක වීම නිසා කාමමිථ්‍යාචාර පාපයට (කර්ම පථයට) හසු නොවේ ද?
මෙය පහදා දෙන්න.
මන්ද, මෙහි දී ස්පර්ශය (ස්පර්ශයේ අයිතිය) පිළිබඳව සළකා බලනුයේ, සැමියෙකු නැති මාපියාදීන් විසින් රකින කාන්තාවගේ/ස්ත්‍රියගේ කෝණයෙන් (පැත්තෙන්) මිස, විවාහක පුද්ගලයාගේ හෝ ඔහුගේ භාර්යාවගේ කෝණයෙන් නොවන බැවිණි.
# අනෙක් අතට, සොරා ගැනීමට දායක වීම අදත්තාදාන කර්මය (කර්ම පථය) හා සම්බන්ධයෙන් වන්නක් මිස, කාමමිථ්‍යාචාර කර්මය (කර්ම පථය) හා සම්බන්ධයෙන් විය හැක්කක් ද නොවේ.
# තවද, සියුම් ලෙසින් ගැඹුරින් කල්පනා කළ හොත්, ස්පර්ශය (ආදිය) ද සොරාගත හැකි නම් (ලෙස උපකල්පනය කර):
1. උක්ත ස්ත්‍රීන් අට දෙනාගේ ස්පර්ශයට අයිතියකරුවෙකු නොමැති බැවින්, අයිතියක් නැති දෙයක් (පුරුෂයෙකුට/කිසිවෙකුට) සොරාගත නොහැක.
[ස්පර්ශයට අයිතියකරුවෙකු නොමැති වුවත්, කාම මිථ්‍යාචාරයේ අංගයන් සම්පූර්ණ වීමෙන් කාමමිථ්‍යාචාර කර්මය (කර්මපථය) පුරුෂයන්ට පමණක් සිදු වේ.]
2. කාමයේ හැසිරීමට මිස, විවාහක පුද්ගලයාගේ භාර්යාවගේ ස්පර්ශ-අයිතිය සොරාගැනීමට එකී ස්ත්‍රීන් අට දෙනාට චේතනාවක් නොමැති බැවින් අදත්තාදාන කර්මය (කර්මපථය) සිදු නොවේ.
3. චේතනාවක් ඇතත්/ඇති වුවත්, එය (ඉහත කී පරිදි ම, නැවතත්:) අදත්තාදාන කර්මය (කර්ම පථය) හා සම්බන්ධයෙන් වන්නක් මිස, කාමමිථ්‍යාචාර කර්මය (කර්මපථය) හා සම්බන්ධයෙන් විය හැක්කක් ද නොවේ.
T/S. "කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.
(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ."
"අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.
(1) අන් සතු වස්තුවක් වීමය, (2) අන් සතු වස්තුවක් බව දැනීම ය (3) පැහැර ගනු කැමති සිතය. (4) පැහැර ගැනීමට උපක්‍රම කිරීම ය. (5) වස්තුව ගැනීම යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.
යම්කිසි වස්තුවක් සොර සිතින් ගත්තේ ද, එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයින් අදත්තාදාන කර්මය සිදු නො වේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුව ද සොර සිතින් තොර ව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේ ද අදත්තාදාන කර්මය නො වේ. අන්සතු වස්තුවක් තමාට අයත් ය යන හැඟීමෙන් ගතුයේ ද අදත්තාදාන පාපය නො වේ."