Q. කර්මය විශ්වාස කරන අයගෙන් මේ අහන්නේ, මේ ලෝකේ පළමු ජීවියා බිහිවන්නට බලපාපු කර්මය කුමක් ද?
මෙ වෙනත් සමූහයක අසා තිබූ ප්‍රශ්ණයක්. එහි කිසිම කෙනෙක් එහි හරි පිළිතුරක් ලබා දී තිබුන් නැහැ. මේ පිළිබද දන්නා අයෙක් සිටිනම් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කළ හැකිද?
T. සැබැවින්ම නැති සත්ත්වයෙක් (සත්වයෙක් නොවන දේ/පරමාර්ථ, සත්වයෙක් ලෙස) ඈඳා ගැනීම ම යි බොහෝ දාර්ශනික ප්‍රශ්නවලට පිළිතුරු නොමැති වීමට හේතුව.
["සත්ත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නො වේ. නිවනෙන් පිටත ද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධ ම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. එහි රූපය ද සත්ත්වයා නො වේ. වේදනාව ද සත්ත්වයා නො වේ. සංඥාව ද සත්ත්වයා නො වේ. සංස්කාරයෝ ද සත්ත්වයා නො වේ. විඤ්ඤාණය ද සත්ත්වයා නො වේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක් ද නැත. එ බැවින් ව්‍යවහාර මාත්‍රය හැර සත්ත්වයාය කියා කිසිවක් නැති බව දත යුතු ය."
A. අප මේ පිළිබඳව නොයෙක් විට නොයෙක් අයුරින් සඳහන් කොට ඇත. සැබෑවට ම විශ්වයේ ඉන්නේ සත්ත්ව පුද්ගලයන් නොවේ, විශ්වයේ ඇත්තේ පරමාර්ථ ය. පරමාර්ථ යනු බලවේග ය - ශක්තීන් ය. සාමාන්‍යයෙන්, “කර්මය” ලෙස ගනුයේ එකී ඇතැම් ශක්තීන්*වල - “ජවන් සිත්” යැයි ගැනෙන ශක්තීන්*වල, එනම් සිත් නම් ශක්තීන්* 29යක යෙදෙන “චේතනාව(න්)” නැමති වඩා බලවත් ශක්තීන්* ය.
[*මෙහි ශක්තීන් ලෙස පුනරුක්තිය (නැවත-නැවත යොදා) ඇත්තේ, ඒවා සත්ත්වයකුගේ හෝ පුද්ගලයකුගේ සිත්/චෛතසික නොවනබව බරකොට (අවධාරණය කොට) දැක්වීමට ය.]
සාමාන්‍යයෙන් තේරෙන විදිහට කියනවා නම් - අදාළ ශක්තීන් එක්වීමෙන් පසුව සත්ත්වයෙක් (සත්ත්වයන්) නිර්මාණය වූ පසුව, (බොහෝ විට) සත්ත්ව-පුද්ගලභාවයෙන් (දිගින්-දිගට ම) “කර්ම” සිදුවේ.
‘සත්ත්වයෙක් කර්ම කරත්’ හෝ ‘සත්ත්වයෙක් මැවෙත්/මවත්’ ලෙස නොව, සත්ත්වයාගේ කර්තෘභාවයෙන් විස්තර කළ ද ‘අවිද්‍යාව හේතුවෙන් “කර්ම” වේ’ ලෙස යි බුදුදහමේ ගැඹුරින් දැක්වෙන්නේ. ශක්තීන්ගේ හෝ සත්ත්වයාගේ අගක්-මුලක් [හෝ (අනන්ත වූ) සත්ත්වයාගේ සංඛාවක් ද අඩු-වැඩි වීමක්] ද නැත.
[මේ පිළිබඳව කිවයුතු බොහෝ දේ ඇතත්, එදත්-අදත්-හෙටත් ගැඹුරු කාරණා තේරෙන-නොතේරෙන මෙන් ම, කර්මය පිළිගන්න-නොගන්නා පුද්ගලයන් දුලබ නොවන බව කීම ම ද ප්‍රමාණවත් ය.]
“... මෙය මනා කොට දුටු කල්හි කර්ම කරන්නා වූ කෙනකු නැති බව හා ජාතියෙන් ජාතියට භවයෙන් භවයට යන්නකු නැති බව ද වේදනාව හැර සුව දුක් විඳින්නකු නැති බව ද අවබෝධ වී ...”
# {මේ පිළිබඳව රේරුකානේ හිමියන්ගේ පිළිතුර ද ඕනෑම කෙනෙකුට ඉතා පැහැදිලිය - එබැවින් රේරුකානේ හිමියන්ගේ පිළිතුර ද පහත දක්වා ඇත.}
“43. කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?
මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.
බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.”
T. "පටිච්චසමුප්පාදයේ නය සතර. (නය = න්‍යාය)
ඒකත්ත නයය, නානත්ත නයය, අව්‍යාපාර නයය, එවංධම්මතා නයයයි අර්ථ නයය සතරෙක් වේ. භව චක්‍රය පිළිබඳ මනා දැනුම ඇති වනුයේ ඒ නය සතර ද මැනවින් තේරුම් ගත් කල්හි ය.
ඒකත්ත නය.
සහලෙන් බත ඇති වේ. සහල කෑමට නුසුදුසු තද දෙයකි. බත කෑමට සුදුසු මෘදු දෙයකි. සහල හා බත ලක්‍ෂණ වශයෙන් එකිනෙකට ඉතා වෙනස් ය. එකිනෙකට වෙනස් වූ සහල හා බත දෙකක් ද? එකක් ද? යනු විසඳා ගත යුත්තකි. බතෙහි සහල් ලක්‍ෂණයත් සහල්වල බතේ ලක්‍ෂණයත් නැති බැවින් ඒ දෙක එකකැ යි නො කිය හැකි ය. ඉදින් ඒ දෙක දෙකක් ම ය යි ගත හොත් සහල් හිමියාට බත අහිමි වීමෙන් අවුලක් වේ. එබඳු අවුලක් නො වන්නට නම් සහල හා බත ඒකත්වයෙන් ද පිළිගත යුතු ය. ඒ ඒකත්වය නම් පරම්පරා සම්බන්ධය යි. එමෙන් අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරය අවිද්‍යාවට ඉතා වෙනස් වූ අන්‍ය ධර්මයකි. සංස්කාරයෙන් හටගන්නා විඥානය අවිද්‍යා සංස්කාර දෙකටම ලක්ෂණ වශයෙන් වෙනස් වූ ධර්මයෙකි. එහෙත් එක ම පරම්පරාවකට අයත් වීම් වශයෙන් ඒවායේ ඒකත්වයක් ද ඇත්තේ ය.
පටිච්චසමුප්පාදයේ ඒකත්තනය ය යි කියනුයේ ඒ ඒකත්වයට ය. මේ එකත්තනය මැනවින් දත් කල්හි “මැරෙන්නේ අනෙකෙක, උපදින්නේ අනෙකෙක, පින් පව් කරන්නේ අනෙකෙක, සුවදුක් විඳින්නේ අනෙකෙකැ” යි ගන්නා වූ උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. ඒකත්තනය වරදවා තේරුම් ගත් කල්හි ලක්‍ෂණ වශයෙන් එකිනෙකට වෙනස් වූ අවිද්‍යාදි ධර්ම සමූහය එක් කොට එක් දෙයක් සැටියට හෙවත් එක් සත්ත්වයකු සැටියට ගෙන “සෝ කරෝති සෝ පටිසංවේදේති” යනාදීන් දැක්වෙන පින් පව් කරන තැනැත්තා ම සුව දුක් විඳින්නේ ය, මේ සත්ත්වයා ම පරලොව යන්නේ ය යි ශාශ්වත දෘෂ්ටිය ගනී.
නානත්ත නය.
අවිද්‍යාදි ධර්ම සමූහය ඒකත්වයෙන් දත යුතුවාක් මෙන් ම නානත්වයෙන් ද දත යුතු ය. එක් දෙයක් එක් සත්ත්වයකු එක් පුද්ගලයකු වශයෙන් පෙනෙන සේ සන්තති ප්‍රඥප්තියෙන් වැසී තිබෙන මේ ධර්ම සමූහය හේතු ඵල වශයෙන් හා ඒ ඒ ධර්මයට අයත් ලක්‍ෂණයන්ගේ වශයෙන් ද කාල වශයෙන් ද වෙන් වෙන් වූ ධර්මයන් ගේ සමූහයකි. අවිද්‍යාදීන් ගේ ඒ නානත්වය හෙවත් ධර්ම බොහෝ ගණනක් බව පටිච්චසමුප්පාදයාගේ නානත්ත නයයි.
මෙය මනාකොට දක්නා තැනැත්තා හට පරණ පරණ වූ සංස්කාරයන් ගේ බිඳී යාම හා අලුත් අලුත් සංස්කාරයන් පහළ වන බවත් අවබෝධ වීමෙන් භවයෙන් භවයට යෙමින් සුව දුක් විඳින සත්ත්වයකු ඇතය යි ගන්නා ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. වරදවා ගත් තැනැත්තා එක සන්තානයකට අයත් ධර්මයන් වෙන් වෙන් වූ සන්තානයන්ට අයත් ධර්ම සේ පමණ ඉක්මවා නානත්වයෙන් ගෙන අනෙකෙක් මැරෙන්නේ ය, අනෙකෙක් උපදින්නේ ය. අනෙකෙක් කර්ම කරන්නේ ය, අනෙකෙක් සුව දුක් විඳින්නේ යයි උච්ඡේද දෘෂ්ටිය ගනී.
අව්‍යාපාර නය.
සංස්කාරාදි ඵල ධර්මයන් ඇති වීමට අවිද්‍යාදි හේතු ධර්මයන් ප්‍රත්‍යය වෙතත්, සංස්කාරාදිය ඉපදීමේ උත්සාහයක් හෝ ඕනෑකමක් අවිද්‍යාදියට නැත. අවිද්‍යාදි හේතූන් ගේ ඵල ඇති කිරීමේ උත්සාහයක් නැති බව අව්‍යාපාර නය යි. මෙය මනා කොට දුටු කල්හි කර්ම කරන්නා වූ කෙනකු නැති බව හා ජාතියෙන් ජාතියට භවයෙන් භවයට යන්නකු නැති බව ද වේදනාව හැර සුව දුක් විඳින්නකු නැති බව ද අවබෝධ වී ආත්මය පින් පව් කරන්නේ ය, ආත්මය භවයෙන් භවයට යන්නේ ය, ආත්මය සුව දුක් විඳින්නේ ය යන ආත්ම දෘෂ්ටිය දුරුවේ.
අව්‍යාපාර නය වරදවා ගත් තැනැත්තේ කිසිවෙකු ගේ විධානයක් නැති ව, ගින්න උඩ බලා යන්නාක් මෙන් ද, සුළඟ සරසට යන්නාක් මෙන් ද, ගං - හෝ මුහුදු බලා ගලන්නාක් මෙන් ද සියල්ල ඉබේ ම සිදු වන්නේ ය. කෙනකු ගේ ක්‍රියාවකින් සිදුවන කිසිවක් නැත ය යි පවින් වැළකීමෙන් හා පින් කිරීමෙන් ද වන ඵලයක් නැතය යන අක්‍රිය දෘෂ්ටිය ගන්නේ ය.
එවං ධම්මතා නය.
සංස්කාරාදි ඵල ඉපදවීමේ උත්සාහයක් අවිද්‍යාදි හේතු ධර්මයන් කෙරෙහි නැත ද, අඹගසින් කොස් ගෙඩි පොල් ගෙඩි නූපදවා අඹ ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, පොල්ගස අඹගෙඩි කොස්ගෙඩි නූපදවා පොල් ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, සහල වැලි හෝ සූකිරි හෝ නූපදවා බත ම උපදවන්නාක් මෙන් ද, අවිද්‍යාදි ධර්මයෝ නියමයක් නැති යම්කිසි ඵලයක් ඇති නො කොට ඒ ඒ හේතු ධර්මයට අනුකූල වූ පරිදි සංස්කාරාදි ඵලයන් ම උපදවති. අවිද්‍යාදීන් ගේ ඒ හේතුවට අනුකූල ඵලය ම උපදවන බව පටිච්චසමුප්පාදයේ එවංධම්මතා නය යි.
මේ නයය මනා කොට දක්නා තැනැත්තේ සියල්ලෙන් ම සියල්ල ම නො හට ගන්නේ වී නමුත් තලවලින් තෙල් ද සහලෙන් බත් ද දෙනගෙන් කිරි ද උක්දඬුයෙන් පැණි ද හටගන්නාක් මෙන් ප්‍රත්‍යයට අනුරූප ඵලය හටගන්නා බව අවබෝධ කර ගැනීමෙන් කිසිවකින් කිසිවක් නො හටගන්නේය යන අහේතුක දෘෂ්ටිය දුරලන්නේ ය. “ක්‍රියාවෙන් සිදුවන ඵලයක් නැති බැවින් පවින් වැළකීමෙන් හෝ පින් කිරීමෙන් ද වැඩක් නැතය යි” ගන්නා වූ අක්‍රිය දෘෂ්ටිය ද දුර ලන්නේ ය.
එවං ධම්මතා නය නො දක්නා තැනැත්තේ එක් දෙයකින ්එයට වෙනස් වූ අන් දෙයක් ඇති වෙත හොත් වැල්ලෙන් තෙල් ද උක්දඬුයෙන් කිරි ද කොසඹ රුකින් පැණිද ඇති නො වන්නේ මන් දැ යි ප්‍රශ්න කරමින් කිසිවකින් කිසිවක් ඇති නො වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද ගනී. අන්කිසි හේතුවක් නැත ද තලවලින් තෙල් ද දෙනගෙන් කිරි ද ශුක්‍රශ්‍රෝණිතයෙන් ශරීරය ද ඇතිවන්නාක් මෙන් නියමය වූ පරිදි සියල්ල ඉබේ ම සිදුවේ ය යන නියතිවාදය ද ගන්නේ ය.
අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාද විස්තරය
මෙතෙකින් අවසන් කරන ලදි."