176. උත්කෘෂ්ට ත්‍රිහේතුක කුශලය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරනයි. අපි කරන සෑම කුසලයක් ම ත්‍රීහේතුක උත්කෘෂ්ට කුසලයක් බවට පත් කරගන්නෙ කෙසෙ ද?

A. “ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ගත්තේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.”


["9. කාමාවචර කුශලයේ විපාක

කාමාවචර කුශලයෙන් කාම සුගතියෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන සිත් සොළොස ම සුදුසු පරිදි කාම-රූප ලෝක දෙක්හි ඇති කරනු ලැබේ.

ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍ර‍යුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය. ද්විහේතුක කුශලය දුබල ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ට - ඕමක වශයෙන් දෙ පරිදි වේ. ද්විහේතුක කුශලය ද එසේ ම දෙ පරිදි වේ.

ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.

ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලය ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධිය ගෙන දී ප්‍ර‍වෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන විපාක සොළොස ඇති කරන්නේ ය. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුසල් සිත් සතරෙන් එක් එක් චිත්තයකින් ම මෙසේ කාම සුගතියෙහි ප්‍ර‍තිසන්ධිය දී ප්‍ර‍වෘත්ති කාලයේ විපාක සොළොසක් ඇති කරනු ලැබේ. මේ විපාක සිත් සොළොස ඇති කිරීම එකවරට ම කරන්නක් නොව, ඉෂ්ට රූප ශබ්දාදිය හමුවන සැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි.

කුශලයක සෝමනස්ස සහගත උපේක්ෂා සහගත භාවය හා අසංස්කාරික සසංස්කාරික භාවය විපාක දීමේදී බල පවත්වන කරුණු නො වේ. එබැවින් සෝමනස්ස සහගත කුශලයෙන් උපේක්ෂා සහගත විපාක ද, උපේක්ෂා සහගත කුශලයෙන් සෝමනස්ස සහගත විපාක ද, අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාක ද, සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාක ද ඇති වන බව සැලකිය යුතු ය.

ත්‍රිහේතුක ඕමක කුශලය හා ද්විහේතුක උත්කෘෂ්ට කුශලය ද්විහේතුක ප්‍ර‍තිසන්ධිය දී, ප්‍ර‍වෘත්ති කාලයෙහි ඤාණ විප්පයුත්ත මහා විපාක සතරය, අහේතුක කුශල විපාක අටය යන විපාක දොළොස ඇති කරන්නේ ය.

ද්විහේතුක ඕමක කුශලය අහේතුක ප්‍ර‍තිසන්ධිය දී ප්‍ර‍වෘත්ති කාලයෙහි අහේතුක කුශල විපාක අට පමණක් ඇති කරන්නේ ය.

“අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාකත් සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාකත් ඇති නො වේය” යන ආචාර්‍ය්‍යවාදයක් ද ඇත්තේ ය. එය බොහෝ ආචාර්‍ය්‍ය වරයන් විසින් පිළිගන්නා ලද්දක් නො වේ. සිත්වල අසංස්කාරික සසංස්කාරික භාවය අතීත කර්ම හේතුවෙන් වන්නක් නො ව, ඒ ඒ සිත් උපදවන අවස්ථාවේ ඇති කරුණු අනුව සිදුවන්නකි."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll