199. සිව් පිළිසිඹියා මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිව් පිළිසිඹියා, චතුර් ප්‍රතිසම්භිදා හෙවත් චතු පටිසම්භිදා (පටිසම්භිදාඥාන) මොනවා ද?

A. "පටිසම්භිදා ඤාණ

ඤාණය වනාහි සාමාන්‍යයෙන් දන්නා ඥානය, ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය යි දෙවදෑරුම් වේ. ගසක්, ගසක් වශයෙන් දැනීම සාමන්‍ය ඥානය යි. මුල්-සුඹුලූ-පොතු-ඵලය-අරටුව-බඩය-අතු- රිකිලි-කොළ මල්-ගෙඩි, ඒවායේ පැහැය-සටහන-ගන්ධය-රසය යන විශේෂ විභාග සියල්ල දැනීම ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දැනීම ය. ඒ ඒ දේවල් ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය පටිසම්භිදා ඤාණ නම් වේ. ඒ ඒ ධර්මය පිළිබඳව වූ දැනුම ඥණ වශයෙන් එකක් වුව ද දැන ගන්නා වූ ධර්මය අනුව ඒ ඥානය ඥන සතරක් කොට දක්වා තිබේ. අත්ථපටිසම්භිදා ඤාණය, ධම්ම පටිසම්භිදා ඤාණය, නිරුත්තිපටිසම්භිදා ඤාණය, පටිහාන පටිසම්භිදා ඤාණය යනු ඒ ඤාණ සතරය.

ප්‍රභේද සහිතව විස්තර සහිතව හේතුන්ගේ ඵල දන්නා නුවණ අත්ථපටිසම්භිදා ඤාණ නම් වේ. ජනක හේතුය, සම්පාපක හේතුය, ඥපක හේතුය යි හේතු තුන් වර්ගයකි. ගස, ගෙඩි උපදවන්නාක් මෙන් නො තුබු යම් කිසිවක් ඇති කරන්නා වූ හේතුව ජනක හේතු නම් වේ. අවිද්‍යා තෘෂ්ණා කර්මාදිහූ ජනක හේතුහූ ය. ජනක හේතුන් විසින් උපදවන ලද නාමරූප ධර්මයෝ අත්ථ නම් වෙති. නැව මෙතර සිටියවුන් එතෙරට පමුණුවන්නාක් මෙන් ඇත්තා වූ යම් කිසිවකට පමුණුවන හේතුව සම්පාපකහේතු නම්, ආර්‍ය්‍යමාර්ගය සත්වයන් නිවනට පමුණුවන බැවින් සම්පාපක හේතුවකි. නිවන එහි ඵලය ය. සම්පාපකහේතුවගේ ඵලභාවයෙන් නිවන ද අත්ථ නම් වේ. දුම ගින්නක් ඇති බව අවබෝධ කරන්නාක් මෙන් යම් කිසිවක් අවබෝධ කරවන හේතුව ඥපකහේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥපකහේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥපකහේතුවකි. පිටකත්‍රය ධර්මය අනුව අවබෝධ වන්නා වූ අර්ථයෝ, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන්නා වු අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵල භාවයෙන් අත්ථ නම් වෙති. අවිද්‍යා තෘෂ්ණා කර්මාදී ප්‍රත්‍යයන් විසින් උපදවන නාමරූපයෝ ය, ආර්‍ය්‍යමාර්ගයෙන් පැමිණෙන නිවනය, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන් කරුණු ය යන මේ අර්ථයන් ප්‍රභේධ වශයෙන් දන්නා ඥානය අත්ථපටිසම්භාදාඥණ නමි. මේ ඤාණය ඇතියහුට හේතුන්ගේ ඵල වන නාමරූප ධර්මයන් විස්තර වශයෙන් දත හැකි ය. අන්‍යයන්ට තේරුම් කර දිය හැකි ය. බුදුරදුන් දේශිත ධර්ම වල අර්ථය ද නො වරදවා තේරුම් කර දිය හැකි ය.

ධම්මපටිසම්භිදා ඤාණ යනු අනේක නාමරූප ධර්මයන් උපදවන්නා වූ අවිද්‍යා තෘෂ්ණා කර්මාදී හේතුන් ද, නිවනට පමුණු වන ආර්ය මාර්ගසංඛ්‍යාත සම්පාපක හේතුව ද, කුශලාකුශලාදී අනේක ධර්මයන් අවබෝධ කරවන පිටකත්‍රය සංඛ්‍යාත ඥපක හේතුව ද, ප්‍රභේධ වශයෙන් විස්තර වශයෙන් දන්නා ඥානය ය. එය ඇතියහුට හේතු ධර්ම විස්තර වශයෙන් මැනවින් දත හැකි ය. අන්‍යයන්ට අවබෝධ වන පරිදි කිය හැකි ය.

ඉහත දැක්වූ අත්ථපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන ඵලධර්මයන් පිළිබඳ වූ ද, ධම්මපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන හේතු ධර්මයන් පිළිබඳ වු ද, ඒ ධර්මයන් හා නියත සම්බන්දය ඇත්තා වු ස්වාභාව නිරුක්ති නම් වූ මාගධ භාෂාව මැනවින් දන්නා වූ නුවණ නිරුත්තිපටිසම්භිදා ඤාණ නමි. නිරුත්ති පටිසම්භිදා ඤාණය ඇත්තේ, අර්ථධර්මයන් පිළිබඳව වු මාගධ භාෂා ව්‍යවහාරය දන්නේ ය. “ඵස්සො, වෙදනා” යනාදී ශබ්ද ඇසුණු කල්හි ඔහු ඒවා ස්වාභාව නිරුක්තිය යි දන්නේ ය. “ඵස්සා, වෙදනො” යනාදි වචන ඇසුණ හොත් ඒවා ස්වාභාව නිරුක්ති නොවේ ය යි දන්නේ ය. මේ ශබ්දය නැතහොත් වචන මේ අර්ථය සඳහා ය යි කිසිවකුගේ පැනවිමක් නියම කිරිමක් නැතිව ස්වාභාවයෙන් ඒ ඒ අර්ථයන් හා සම්බන්ධව සිද්ද වචන ස්වාභාව නිරුක්ති නම් වේ. මාගධ භාෂාව ස්වාභාව නිරුක්තිය යි කියනු ලැබේ. එය සකළ සත්වයාගේ ම මූලභාෂාවය යි ද, වෙනස් නො වෙන භාෂාවය යි ද, දේව බ්‍රහ්මණයන් බෙහෙවින් ව්‍යවහාර කරන භාෂාවය යි ද කියනු ලැබේ. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් ස්වභාව නිරුක්තිය වූ මාගධභාෂාවෙනි ත්‍රිපිටකධර්මය තබන ලද්දේය’ යි ද දේශනය කරන ලද්දේ ය’ යි ද කියා තිබේ. නිරුත්තිපටිසම්භිදා ඤාණය ලබා ඇති ආර්යය ශ්‍රාවකයන්ට මාගධභාෂාවෙන් දේශිත ධර්ම වෙහෙසක් නැතිව අවබෝධ වන්නේ ය.

අත්තපටිසම්භිදා ධම්මපටිසම්භිදා - නිරුත්තිපටිසම්භිදා යන ඥනත්‍රය මැනවින් දන්නා වූ ඥානය පටිභානපටිසම්භිදා ඤාණ නමි. පටිභානපටිසම්භිදා ඤාණය ඇති කල්හි පැමිණෙන කරුණු අනුව කී ඥනත්‍රය යොදා ක්‍රියා කළ හැකි ය. ඉහත කී ඥනයන්ගෙන් දැනගන්නා ධර්ම උපමා හේතු උදාහරණ සහිතව මැනවින් විස්තර කළ හැකි ය. විභාග කළ හැකි ය. විභංගපාළියෙහි පටිසම්භිදාඤණයෙන් මෙසේ දක්වා ඇත්තේ ය.

“අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මේ ඤාණං ධම්මපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤුණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.

ඉධ භික්ඛු ධම්මං ජානාති, සුත්තං ගෙය්‍යං වෙය්‍යකෙරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාකතං අබ්භුතධම්මං වෙදල්ලං, අයං ධම්මපටිසම්භිදා, යො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථොති අයං වුච්චති අත්ථපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාහිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණේසු ඤණං පටිහාන පටිසම්භිදා”

ප්‍රතිසංවිත්ඥාන පෘථග්ජනයන්ට නො ලැබෙන ආර්‍ය්‍යයන්ට පමණක් ආර්‍ය්‍යමාර්ගානුභාවයෙන් ලැබුන ඥාන විශේෂයකි. පටිසම්භිදාලාභි පෘථග්ජනයෝ නැතහ. පටිසම්භිදාවට නො පැමිණි ආර්‍ය්‍යයෝ ද නැතහ. එහෙත් ආර්‍ය්‍යඵලයට පැමිණිමෙන් ලැබෙන පටිසම්භිදාඤණ සියලූ ආර්‍ය්‍යයන්ට ප්‍රබෝධ වන්නේ නො වේ. එය දියුණු වූවෝ පටිසම්භිදාපත්ත යන විශේෂනාමයෙන් හදුන්වන් ලැබෙත්. පටිසම්භිදාපන්න යන නාමයෙන් හදුන්වන ආර්‍ය්‍යයෝ බුද්ධකාලයෙහි ද සුලභ නො වූහ. ඇතැම් අර්‍ය්‍යයන් හට ශෛක්ෂ කාලයේ දී ම ද පටිසම්භිදාඤාණය ප්‍රබෝධ වේ. දියුණු වේ. ආනන්ද ස්ථවීරයන් වහන්සේ, චිත්‍ර ගෘහපති, ධම්මික උපාසක, උපාලි ගෘහපති, ඛුජ්ජුත්තරා යන අයට ශෛක්ෂකාලයේ දී ම පටිසම්භිදාව දියුණු විය. ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සෙ, මුගලන් තෙරුන් වහන්සේ , මහකසුප් තෙරුන් වහන්සේ, මහාකච්චායන තෙරුන් වහන්සේ, මහාකොට්ඨීත තෙරුන් වහන්සේ අතුළු මහාශ්‍රාවකයන් වහන්සේලාට රහත් වීමෙන් පටිසම්භිදාඤාණය ප්‍රබෝධ විය. ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය, ආසයානුසයඤාණය යන බුද්ධඤණ දෙක සම්මාසම්බුද්ධගුණය වර්ණනාවෙහි විස්තර කරන ලදී."


A. "769. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,
769. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්‍ත්‍ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදාය, ධර්‍මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, ඒ අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්‍වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.
770. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. දුක‍්ඛෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, දුක‍්ඛසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, දුක‍්ඛනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,
770. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදා යි.
771. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා, හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.
771. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. හේතුයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, හේතුඵලයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
772. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යෙහි ධම‍්මෙහි1 තෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා තෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,
772. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් ධර්‍ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්‍මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
773. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, ජරාමරණෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා ජරාමරණසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, ජරාමරණනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, ජරාමරණ නිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර2 ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,
773. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
774. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, ජාතියා ඤාණං -පෙ- භවෙ ඤාණං -පෙ- උපාදානෙ ඤාණං -පෙ- තණ‍්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස‍්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ‍්ඤාණෙ ඤාණං -පෙ- සඞ‍්ඛාරෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, සඞ‍්ඛාරසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, සඞ‍්ඛාරනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, සඞ‍්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.
774. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජාතියෙහි ප්‍රභේදගතඥානය ... භවයෙහි ප්‍රභේදගතඥානය ... උපාදානයෙහි ප්‍රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්‍රභේදගතඥානය ... වේදනායෙහි ප්‍රභේදගතඥානය ... ස්පර්‍ශයෙහි ප්‍රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්‍රභේදගතඥානය ... නාමරූපයෙහි ප්‍රභේදගතඥානය ... විඥානයෙහි ප්‍රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
775. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. තත්‍ථ කතමා ධම‍්මපටිසම‍්භිදා: ඉධ භික‍්ඛු ධම‍්මං ජානාති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං, අයං වුච‍්චති ධම‍්මපටිසම‍්භිදා. සො තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානාති අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථොති අයං වුච‍්චති අත්‍ථපටිසම‍්භිදා. තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා ඤාණෙසු ඤාණං පටිභාන පටිසම‍්භිදා.
775. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. එහි ‘ධර්‍මප්‍රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්‍මය දනී ද, මේ ‘ධර්‍මප්‍රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්‍ත්‍ථය ම දනී ද, මේ ‘අර්‍ත්‍ථප්‍රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll