89. සැප දුක සියල්ලට හේතුව කරුමෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q / S. "සත්ත්වයාට ලැබෙන සැප දුක් සියල්ලම පූර්‍ව කර්‍මයෙන් ම ලැබෙන ඒවා ද?"

A. "භවත් ගෞතමයන් වහන්ස, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද හේතු නිසායයි මෙසේ කියන මෙවැනි දෘෂ්ටි ඇති සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. භවත් ගෞතමතෙම මෙහිදී කුමක් කියන්නේද?,

“සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූද ත්‍රිවිධ වේදනාවෝ උපදිත්. සීවකය, මේ ලෝකයෙහි පිත නිසා හටගන්නාවූ ඇතැම් වේදනා උපදිත්යයි තමාහටමද පෙනෙන්නේය. සීවකය, ලෝකයෙහි ඇතැම් වේදනා පිත නිසා උපදිත් යන මෙය ලෝකයෙහිද සත්‍යයයි සම්මතය. සීවකය, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ උපේක්‍ෂාවක් හෝ විඳීද, ඒ සියල්ල පූර්‍වයෙහි කරන ලද හේතූන් නිසායයි මෙසේ කියන්නාවූ මෙසේ සිතන්නාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද ඔවුහු යමක් තමා විසින්ම දන්නා ලද්දේද එයද ඉක්මවා යත්. යමක් ලෝකයෙහි සත්‍යයයි සම්මතද එයද ඉක්මවා යත්. එසේ හෙයින් එය ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරුයයි කියමි."

A. “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් කිසි වෙදනාවක් විඳි නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය” යි මෙබඳු වාද ඇති මෙබඳු දුටු ඇති ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක් දැ? යි.

සීවක, මෙහි පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ උපදිත්, සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු ය. සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වෙදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි."

A. "මේ ප්‍ර‍ශ්නය ‘මෝලිය සීවක’ නම් පිරිවැජියෙක් බුදුන් වහන්සේගෙන් විචාළේ ය. ඔහුට බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක. සීවකය, මේ ලෝකයෙහි පින හේතු කොට ඇතැම් වේදනා උපදින්නේ ය. ඒ බව තමාට ද දත හැකි ය. ලෝකයා විසින් ද සත්‍යය යි පිළිගන්නා ලද්දේ ය. සීවකය, යම් ශ්‍ර‍මණ බ්‍රාහ්මණ කෙනෙක් “සත්ත්වයන් ලබන වේදනා සියල්ල පූර්‍ව කර්මයෙන් ම ලබාය” යි කියත් ද ඔවුහු තමන්ට ම දැනෙන කාරණයෙහි, ලෝකයා විසින් සත්‍යය යි පිළිගන්නා ලද කාරණයෙහි අතිධාවනය කරන්නෝ ය. එ බැවින් ඔවුන් ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිථ්‍යාවකැයි කියමි.

සීවකය, සෙමෙන් හටගන්නා වේදනා ද

ඇත්තේය -පෙ-

සීවකය, වාතයෙන් හටගන්නා

වේදනා ද ඇත්තේය -පෙ-

සන්නිපාතයෙන් හටගන්නා

වේදනා ද ඇත්තේ ය -පෙ-

සෘතුවිපර්‍ය්‍යාසයෙන් හටගන්නා

වේදනා ද ඇත්තේය -පෙ-

නුසුදුසු සේ ශරීරය පරිහරණය කිරීමෙන්

වන්නා වූ වේදනා ද ඇත්තේය -පෙ-

පරෝපක්‍ර‍මයෙන් වන වේදනා ද ඇත්තේය -පෙ-

සීවකය, කර්මවිපාක වශයෙන් හටගන්නා වේදනා ද ඇත්තේ ය. සීවකය, ඒ බව තමාට ද දත හැකිය. ලෝකයා විසින් ද සත්‍ය වශයෙන් පිළිගන්නා ලද්දේ ය. සීවකය, යම් ශ්‍ර‍මණ බ්‍රාහ්මණ කෙනෙක් සත්ත්වයා ලබන සැප දුක් සියල්ල පූර්වකර්මයෙන් ම ලබාය යි කියත් ද, ඔවුහු තමන්ට පෙනෙන කරුණෙහි ලෝකයා විසින් ද සත්‍යය යි පිළිගන්නා ලද කරුණෙහි අතිධාවනය කරන්නෝ ය. එ බැවින් ඔවුන් ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිථ්‍යාවකැ යි කියමි.

මෙහි වේදනා යන නමින් කියන්නේ සැප දුක් දෙක හා උපේක්‍ෂා වේදනාය වාතය ය, පිත ය, සෙම ය, සන්නිපාතය ය, සෘතුවිපර්‍ය්‍යාසය ය, නුසුදුසු සේ ශරීරය පරිහරණය කිරීම ය, උපක්‍ර‍මය, කර්‍මය ය, කියා මේ සූත්‍රයෙහි සැප දුක් ලැබීමේ හේතු අටක් වදාරා තිබේ.

“පිත්තං සෙම්හං ච වාතො ච සන්නිපාතා උතූනි ච

විසමං ඔපක්කමිකො ච කම්මවිපාකෙන අට්ඨමී.”

මේ වේදනා සංයුත්තයේ අට්ඨසත පරියාය වග්ගයේ සූත්‍රයෙකි. මේ එහි අවසානයේ එන සංග්‍ර‍හ ගාථාව ය.

පිත්තාදිය නිසා බොහෝ සෙයින් ඇති වන්නේ දුක්ඛවේදනාව ය. පිත්තාදිය සන්සිඳවීම පිණිස යම් යම් දේ කිරීමේ දී සුඛ වේදනා ද ඇති වේ. කිසිවක් නො කොට මධ්‍යස්ථව විසීමේ දී උපේක්ෂා වේදනාව ඇති වේ. මේ සූත්‍රයේ අටුවාවෙහි කුශලාකුශල අව්‍යාකෘත වශයෙන් වේදනාත්‍ර‍ය පිත්තාදිය නිසා ඇතිවන සැටි විස්තර කර තිබේ.

කර්මයෙන් හටගන්නා වේදනා ද පිත් කෝපාදියෙන් තොරව කර්මබලයෙන් ම හටගත්තේ නො වේ. එබැවින් යම් රෝගයක් යම් වේදනාවක් හටගත් කල්හි එය හටගත්තේ කර්මයෙන් ද අනික් හේතුවකින් ද කියා තේරුම් ගත නො හැකි ය. වාතයේ කිපීමේ හේතු දශයක් මිලින්දපඤ්හයෙහි දක්වා තිබේ. කර්මය ද ඉන් එකකි. කර්මයෙන් වේදනාවක් ඇති කරන කල්හි එයින් ම වාතාදිය කෝප කරවා වේදනා ඇති කරවයි. අනික් හේතුවකින් වාතාදිය කිපීමෙන් වන වේදනා කර්මයෙන් උපදවන වේදනා නො වේ. කර්මය හැර වාතාදිය කිපීමේ හේතු බොහෝ ඇති බැවින් සත්ත්වයනට ඇතිවන වේදනාවලින් බොහෝවක් කර්මයෙන් අන්‍ය හේතූන්ගෙන් ඇතිවන වේදනා වශයෙන් පිළිගත යුතු ය. “තත්ථ පුරිමෙහි සත්තහි කාරණෙහි උප්පන්නා සාරීරිකා වෙදනා සක්කා පටිබාහිතුං. කම්මවිපාකජානං පන සබ්බ භෙසජ්ජානි පි සබ්බ පරිත්තානි පි නාලං පටිඝාතාය” යි පිත්කෝපාදි කරුණු සතෙන් හටගන්නා ශාරීරික වේදනා නැවැත්විය හැකි බවත්, කර්මවිපාක වශයෙන් හටගන්නා ශාරීරික වේදනා වැළැක්වීමට බෙහෙත් හා පිරිත්, යන්ත්‍ර‍, මන්ත්‍ර‍ අපොහොසත් බවත් සංයුත්ත අටුවාවේ දක්වා තිබේ. කර්මයෙන් වන වේදනාව, බෙහෙත් ආදියෙන් සම්පූර්‍ණයෙන් නො වැළැක්විය හැකි වුව ද අඩු කර ගත හැකි බව කිය යුතු ය."

["‘‘සන්ති, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති. ඉධ (ඉධ පන (ස්‍යා. කං. පී. ක.)) භවං ගොතමො කිමාහා’’ති?
‘‘පිත්තසමුට්ඨානානිපි ඛො, සීවක, ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං, සීවක, වෙදිතබ්බං (එවං වෙදිතබ්බං (ස්‍යා. කං. ක.)) යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති; ලොකස්සපි ඛො එතං, සීවක, සච්චසම්මතං යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. තත්‍ර, සීවක, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා තෙසං සමණබ්‍රාහ්මණානං මිච්ඡාති වදාමි."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll