228. කර්ම විපාක ("කරුමෙ") ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මේ භවයේදි යම් පුද්ගලයෙක් ගෙන් බැනුම් ඇසිම හො පහරදිමකට ලක් වෙන්නෙ සසර ගණුදෙනුවක් හැටියට පෙර භවයක එ කියන යම් පුද්ගලයාට එ අයුරින් බැනපු විදියට හො පහර දිපු විදිය හේතු කොට ගෙන ද?

A. අනන්ත සසරේ, අනන්ත සත්වයන් හා සත්ත්ව වර්ග අතර, අනන්ත සක්වලවල් තුළ සත්වයෙකු හට තවත් සත්ත්වයෙක් (මරණින් මතු/පසු) මිනිසෙකු ලෙසින් ම නැවත හමුවීම අති-දුර්ලභය (- එසේ නොවන්නේ ම ද නොවේ). එහෙත් සත්වයා කරන කර්ම තමාගේ ම (සන්තක වස්තුව/දෑවැද්ද) කර ගනී. ඒ කර්මානුරූපව (කර්ම විපාකානුරූපව) මිනිසෙකු ලෙසින් ම හමු/එක් වීම ද විය හැක. කෙසේ වෙතත්,  කර්ම විපාක ලැබීම එක එල්ලේ ම කිව නොහැක. එහෙත් කෙසේ හෝ කර්මවිපාක නොවරදවා ම කුමන අයුරකින් හෝ හේතු-ඵල (කර්ම-කර්මඵල / කර්ම-කර්මවිපාක) අනුව ලැබේ (හෝ නොලැබේ). 

“කම්මස්සකා සබ්බෙ සත්තා, කම්ම දායාදා, කම්ම යොනි, කම්මබන්ධු, කම්මපටිසරණා, යං කම්මං කරිස්සන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සන්ති” යි.

තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. “සකල සත්ත්වයෝ කර්මය හිමි කොට ඇත්තෝ ය. කර්මය උරුම කොට ඇත්තෝ ය, කර්මය සැප දුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝ ය. කර්මය නෑ කොට ඇත්තෝ ය. කර්මය පිහිට කොට ඇත්තෝ ය. මනා වූ හෝ නො මනා වූ හෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්ත්වයෝ එය උරුමය කොට ඇත්තාහු වන්නාහු ය.” යනු එහි තේරුම ය.


"කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය."

[මෙම සබැඳියෙන් පිවිස දිගට ම කියවන්න.]

# එසේ එක එල්ලේ ම කිව නොහැක්කේ (කර්මය විෂය නොව, කර්ම-විපාක විෂය) කර්ම විපාක දෙන අයුරු පිළිබඳව විෂය පරාසය අප හට ගෝචර නොවන බැවිනි.
 
"සතර අචින්ත්‍ය ධර්ම

මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්මවිපාක විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද, තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ."


"සවැනි සූත්‍රයෙහි අවිනෙතය්‍යානි යනු සිතීමට නොසුදුසු දේයි, න චින්තෙතබ්බානි යනු නොසිතිය යුතු බැවින්ම නොසිතිය යුතුවු දේයි, යානි චින්තෙන්තො යනු යම් කිසි කරුණු සිතන්නායි, උම්මාදස්ස යනු උමතුබවටයි, විඝාතස්ස යනු දුකටයි, බුද්ධවිසයො යනු බුදුවරුන්ට විෂය (ගෝචර) වූයි, සර්‍වඥතාඥාන ආදී බුද්ධගුණයන්ගේ පැවැත්ම හා ආනුභාවයයි, ඣානවිසයො යනු අභිඥාධ්‍යාන විෂයයි, කම්මවිපාකො යනු දිට්ඨධම්මවේදනීය ආදී කර්‍මයන්ගේ විපාකයයි (කම‍්මවිපාකොති දිට‍්ඨධම‍්මවෙදනීයාදීනං කම‍්මානං විපාකො), ලොකචින්තා යනු කවරකු විසින් සඳහිරු කරන (මවන) ලද්දේ ද, කවරකු විසින් මහපොළොව, කවරකු විසින් මහසයුර, කවරකු විසින් සත්ත්වයෝ, උපදවන ලද්දාහුද? කවරකු විසින් පර්‍වත, කවරකු විසින් අඹ තල් පොල් අදිය මවන ලද්දයි මෙබඳු වූ ලෝකය පිළිබඳවූ සිතීමය."


"කම‍්මවිපාකො භික‍්ඛවෙ අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස."
"මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය."

"කර්‍මයන්ගේ කර්‍මාන්තරයත්, විපාකාන්තරයත් බුදුවරුන්ගේ අසාධාරණඥානයක් වූ කර්‍මවිපාක දන්නා නුවණට ම විෂය වේ. ශ්‍රාවකාදීන්ට ඒ විෂය නො වේ."

"යතො කම්මඵලං චක්ඛාදීනි, කම්මවිපාකො ච සබ්බසො බුද්ධානංයෙව ඤාණස්ස විසයොති."

# ඇණුම්-බැණුම්, පහර දීම් ආදී නොයෙක් දුක්-පීඩා, වධ-බන්ධන නොඅඩුව ලැබෙන තෑගී සේ ලැබීම සසර ස්වභාවය බව ද තේරුම් ගත යුතුය - එනම් විවිධ ආකාරයේ දුක්-වේදනා බහුල වීම සසර හැටි ය.

"අති දීර්ඝ වූ මේ සංසාරයෙහි සැරිසරන්නා වූ එක් එක් සත්ත්වයකුහට නිවනට නො පැමිණිය හැකි වුවහොත් අනාගතයෙහි ඒ ඒ ජාතිවල උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. ජරාවට මරණයට පැමිණෙන්නට සිදුවන වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. තමා විසින් දුකසේ සපයා ගෙන ආදරයෙන් ආරක්ෂා කරන ධනය විනාශ වන්නා වූ අනුන් විසින් පැහැර ගන්නා වූ වාරවල ප්‍රමාණයක් ද නැත්තේ ය. තමාගේ ආදරණීය අඹු දරුවන් අනුන් විසින් පැහැර ගන්නා වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. අනුන්ගෙන් නින්දා බස් අසන්නට සිදු වන්නා වූ බැණුම් අසන්නට සිදු වන්නා වූ ගැහුම් කන්නට සිදු වන්නා වූ මැරුම් කන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. දුර්භික්ෂ වලට හසු වී නිරාහාර ව මිය යන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය.

නොයෙක් කරුණට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නා වූ කණගාටු වන්නට සිදු වන්නා වූ බිය වන්නට සිදු වන්නා වූ හඬන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. නරකාදි සතර අපායයෙහි ඉපද දරුණු කටුක දුක් විඳින්නට සිදුවන වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. එබැවින් සංසාරය මහා දුඃඛ පරම්පරාවෙකි. මහා දුක්ඛස්කන්ධයෙකි. මේ මහා දුක්ඛස්කන්ධයෙන් මිදී වාසය කිරීමට ආරක්ෂා ස්ථානයක් කාම - රූප - අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි නැත්තේ ය. කියන ලද මහා දුඃඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම ආරක්ෂාස්ථානය නිවන ය.

නිවන් මඟ හෙළිවන්නේ, දොර හැරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ ය. යම් තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතී ද ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නො වැසී පවත්නේ ය. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයෙකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයෙකි. මෙය එයට කාලය නොවෙති යි සිතා අතිදුර්ලභ වූ අගනා අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු ය. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන ය. එබැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය පවත්නා වූ නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි එ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා!"


[# "“අක්කොසං වධ බන්ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති
ඛන්තිබලං බලාණිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”

තේරුම: යමෙක් බැණුම් හා වධබන්ධන, කෝප නො වී ඉවසා ද, ක්ෂාන්ති බලය ඇති, බල ඇණියක් ඇති ඒ තැනැත්තා මම පව් දුරු කළ කෙනෙකැ’යි කියමි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll