154. විභාග, ලක්ෂණ, පවත්නා ආකාර මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්,

''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම “අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි” යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය.''

1. විභාග වශයෙන්, ලක්ෂණ වශයෙන්, පවත්නා ආකාරයාගේ වශයෙන් කියන්නෙ මොකක්ද?
.
"දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන් ද පිරිසිඳ දැන ගැනීම “පරිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤා සිද්ධි” යනුවෙන් දැක්වෙන දෙවන සෘද්ධිය ය."

2. දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ කියන්නෙ මොනවද?

A. 1. සාමාන්‍යයෙන් එකක් වූ සිත, 89ක් හෝ 121ක් සිත්වලට බෙදීම හා ඒ ඒ ප්‍රධාන හා අප්‍රධාන බෙදීම් “චිත්ත විභාගය” ය; එසේ සතර පරමාර්ථයන්ගේ ප්‍රධාන හා අප්‍රධාන බෙදීම් “විභාගය” ය. 

අරමුණු දැනගැනීම “සිතේ ලක්ෂණය” (සිතේ ස්වභාවය) ය; එසේ සතර පරමාර්ථයන්ගේ එකක් අනෙකින් වෙන්කරන ඒ ඒ ප්‍රධාන හා අප්‍රධාන (ඒ ඒ සිතේ / ඒ ඒ රූපයේ / ඒ ඒ චෛතසිකයේ ආදී) ස්වභාවය “ලක්ෂණය” යි.

එකී ලක්ෂණ(යක්) සිතට දැනෙන / සිතින් තේරුම් ගන්නා / සිතට වැටහෙන ආකාරය(න්) “පවත්නා ආකාරය” යි; ස්ත්‍රියක් දුටු කල “ස්ත්‍රීන්ද්‍රිය” නමැති රූපය ඇතිබව ප්‍රකටවන්නාක් මෙනි. 

2. ලෞකික සිත් 81, ලෝභය හැර ඉතිරි චෛතසික 51, රූප 28 හි ඉහත කී එකිනෙකට අනන්‍ය ස්වභාව (හා ඒ සියල්ලට ම පොදු “ත්‍රිලක්ෂණය”).

[මේවායෙහි නොයෙක් විස්තරාර්ථ ඇති සියුම්-ගැඹුරු විග්‍රහ ඇති බැවින්, ඒවා දැනගැනීමට “අභිධර්මය” ම උගත යුතු ය; ඇතැම් විට, “විශුද්ධිමාර්ගය” කියවීම ම ප්‍රමාණවත් ය.]

Q. චෛතසික,රූප,නිර්වාණ වල ලක්ෂණ මොනවද, පවත්නා ආකාරය කියන එක පැහැදිලි මදි ටිකක්, තව උදාහරණයක් කීවහැකිද (පුලුහන් නන් අභිධර්ම මාර්ගය පොතේ, හරි අභිධර්මයේ මූලික කරුණු පොතේ මේ ගැන විස්තර වෙන තැනක ලින්ක් එකක් දැම්මහැකිද?)

A. ඒ පොත් දෙකේ ම වැඩිහරියක් විස්තර වෙන්නේ ඒවා ම තමා - ඒ පොත් දෙක ම කියවන එක තමා වඩා හොඳ (අඩුම තරමින් අභිධර්මයේ මූලික කරුණුවත්).

T. "ඉජ්ඣනං ඉද්ධි, තස්ස තස්ස යොගකම්මස්ස සිද්ධි සමිද්ධි නිබ්බත්තීති අත්ථො. සා පන සඞ්ඛෙපතො අභිඤ්ඤෙය්‍යානං ධම්මානං අභිඤ්ඤාසිද්ධි, පරිඤ්ඤෙය්‍යානං පරිඤ්ඤාසිද්ධි, පහාතබ්බානං පහානසිද්ධි, සච්ඡිකා තබ්බානං සච්ඡිකරණසිද්ධි, භාවෙතබ්බානං භාවනාසිද්ධීති පඤ්චවිධා හොති. ඉජ්ඣතීතිවා ඉද්ධි සත්ථුසාසනෙ යොගකම්මෙන ඉජ්ඣන්තානං සබ්බෙසං මහග්ගත ලොකුත්තරධම්මානං නාමං. පජ්ජති එතෙනාති පාදො. ඉද්ධියා පාදොති ඉද්ධිපාදො. ඉද්ධිපත්තියා බලවුපායො පධානකාරණන්ති වුත්තං හොති. සො පන චතුන්නං අධිපතිධම්මානං වසෙන චතුධා හොතීති වුත්තං චත්තාරො ඉද්ධිපාදාතිආදි. අධිපතිභූතො ඡන්දොව ඉද්ධිපාදොති ඡන්දිද්ධිපාදො. එසනයො සෙසෙසුපීති. එත්ථච සබ්බෙ මහග්ගතානුත්තරභූතා උත්තරිමනුස්ස ධම්මානාම නපාකතිකෙන ඡන්දෙනවා වීරියෙනවා චිත්තෙනවා පඤ්ඤාය වා අධිගන්තබ්බා හොන්ති. යෙන කෙනචි පලිබොධෙන පටිබාහිතුං අසක්කුණෙය්‍යෙන අධිපතිභාවපත්තෙන ඡන්දාදිනාඑව අධිගන්තබ්බා. තස්මා ඉමෙ චත්තාරො ධම්මා අධිපතිභූතාව ඉධ අධිප්පෙතාති දට්ඨබ්බාති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll