194. ආයාචනා සතර හා ප්‍රතික්‌ෂේප සතර මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආනන්ද හිමියන්ගේ ආයාචනා සතර හා ප්‍රතික්‌ෂේප සතර මොනවා ද?

A. "අනඳ තෙරුන්වහන්සේ වනාහි නිහඬවම හුන්හ. ඉක්බිති භික්‍ෂූහු ඔහුට ‘ඇවැත්නි, භික්‍ෂුසංඝයා උපස්ථායක තනතුර ඉල්ලයි. නුඹද ඉල්වව’ කීහ. ‘ඇවැත්නි, ඉල්ලා ලත් තැන නම් කෙබඳු වේද? කිම? ශාස්තෘන්වහන්සේ මා නොදකිනසේකද? ඉදින් මට කැමතිවනසේක්නම් ආනන්‍ද මට උවටැන් කරවයි කියන සේකැ’යි තෙරුන්වහන්සේ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, ආනන්ද අන්‍යයන් විසින් උත්සාහවත් නොකළ යුත්තෙකි. තෙමේම දැන මට උපස්ථාන කරන්නේය’යි පැවසූසේක. ඉක්බිති භික්‍ෂූහු ‘ඇවැත්නි නැගිටින්න. ආනන්‍දය නැගිටින්න. ආනන්‍ද දශබලයන්වහන්සේගෙන් උපට්ඨායක තනතුර ඉල්වන්නැයි කීවාහුය. තෙණුවෝ නැඟිට ප්‍රතික්‍ෂේප සතරක්ද ආයාචනා සතරක්දැයි වර අටක් ඉල්ලූහ.

ප්‍රතික්‍ෂේප සතරනම්: ස්වාමීනි, ඉදින් භාගයවතුන්වහන්සේ තමන් විසින් ලබනලද ප්‍රණීත චීවර නොදෙන සේක්ද, පිණ්ඩපාතය නොදෙන සේකද? එක ගඳකිළියෙහි විසීමට නොදෙන සේක්ද, නිමන්ත්‍රණය ගෙන නොවඩිනසේක්ද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේ උපස්ථාන කරමැයි පවසා ‘ආනන්‍දය, මෙහි කවරනම් ආදීනව දැක්කෙහිදැයි ඇසූකල්හි, ‘ස්වාමීනි, ඉදින් මම මේ වස්තූන් ලබන්නෙම් නම්, ආනන්‍දතෙර තථාගතයන් විසින් ලබන ලද ප්‍රණීත සිවුරු පරිභෝග කරයි, පිණ්ඩපාතය වළඳයි. එක ගඳකිළියෙහි වසයි. එක අරයුමට යයි. මේ ලාභ ලබමින් තථාගතයන්ට උවටැන් කරයි. මෙසේ උවටැන් කිරීමෙහි කවර බරෙක්දැයි කියන්නෝ වන්නාහ! මෙසේ මේ ප්‍රතික්‍ෂෙප සතර ඉල්ලූහ.

සතර ආයාචනා නම්: ‘ස්වාමීනි, ඉඳින් මා විසින් පිළිගන්නාලද නිමන්ත්‍රණයට භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්ද, ඉදින් මම රටට පිටින් ජනපදයට පිටතින් භාග්‍යවතුන්වහන්සේ දැකීමට ආපිරිස පැමිණි කෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දැක්වීමට ලබන්නේම්ද යම්විටෙක මට සැකයක් උපදීද එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹීමට ලබන්නෙම්ද භාග්‍යවතුන්වහන්සේ මා නොහමුවෙහි යම් දහමක් දෙසයි නම් එය අවුත් මට පවසන්නේද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේට උපස්ථාන කරමියි කියා ‘ආනන්‍දය, මෙහි කවර ආනිසංශයක් දකිහිදැයි විමසූවිට මෙසේ කීහ: මෙහි ස්වාමීනි, සැදැහැති කුලපුත්තු භාග්‍යවතුන්වහන්සේගෙන් අවකාශයක් නොලබන්නාහු මට මෙසේ කියත්: ‘ස්වාමීනි ආනන්‍දය, හෙට භාග්‍යවතුන්වහන්සේ සමඟ අපගේ ගෙහි භික්‍ෂාව ගනුමැනව.’ ඉදින් භාග්‍යවතුන්වහන්සේ එහි නොයන සේක්නම් කැමැතිකැමති අවස්ථාවෙහි පිරිස දැක්වීමටද සැක දුරලීමටද අවකාශද නොලබමි. කිමේකද? ආනන්‍ද තෙරණුවෝ බුදුන්වහන්සේට උවටැන් කරති. මෙපමණවත් අනුග්‍රහයක් ඔහුට නොකරතිදැයි කියන්නෝද වන්නාහ. ‘ඇවැත්නි ආනන්‍දය, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කොහිදී දෙසන ලද්දැයි භාග්‍යවතුන්වහන්සේගේ අසම්මුඛයෙහි මගෙන් අසන්නාහ. ඉදින් මම ඔවුනට එය නොසපයන්නෙම් නම් ‘ඇවැත්නි, මෙපමණක්වත් නොදන්නෙහිද? කුමක් නිසා නුඹ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් අතනොහරිමින් දිගුකලක් හැසිරෙහිදැ’යි කියන්නෝ වන්නාහ. එහෙයින් මම (මා) නොහමුවෙහි දෙසනලද ධර්‍මය නැවත කීමද බලාපොරොත්තු වෙමි’යි මේ ආයාචනා සතර ඉල්ලූහ. භාග්‍යවතුන්වහන්සේද ඒවා උන්වහන්සේට දුන් සේක.

මෙසේ මේ අටවරය ගෙන නිබඳඋවටැන් කරන්නා වූහ. ඒ තනතුර සඳහාම කල්පලක්‍ෂයක් පුරනලද පාරමීන්ගේ ප්‍රතිඵලය පැමිණිණි. හෙතෙම උපස්ථායක තනතුරලද දිනයෙහි සිට දශබලයන්වහන්සේ දෙයාකාර ජලයෙන් තුන්ආකාර දැහැටුවෙන් පාද පරිකර්‍මයෙන් පිට්ඨිපරිකර්‍මයෙන් ගඳකිළි පිරිවෙණ හැමදීමෙන්ද යන මේ ආදී කටයුතුවලින් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෘන්වහන්සේට මෙනම් දෙය ලැබීමට වටී. මෙනම් දෙය කිරීමට වටීයයි රාත්‍රිභාගය අතරතුර පන්දම් එළියක් රැගෙන එක් රැයකට ගඳකිළිපිරිවෙණ නව වරෙක වටේට යයි. උන්වහන්සේට මෙබඳු අදහසක් විය: ‘ඉදින් මට ථිනමිද්ධය ඇති වන්නේ නම් භාග්‍යවතුන්වහන්සේ කැඳවන විට පිළිවදන් දීමට නොහැකි වන්නේය’ යනුවෙනි. එබැවින් සියලු රාත්‍රියෙහි පන්දම් පහන අතින් නොමුදති. මේ කථාවස්තුව මෙපමණෙකි. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වසනසේක් නොයෙක් ආකාරයෙන් ධර්‍මභාණ්ඩාගාරික ආනන්‍ද ස්ථවිරයන් වර්‍ණනා කොට තෙරුන් මෙම සසුනෙහි බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් අතුරින්, සිහි ඇත්තවුන් අතුරින්, ගතිමන්තයන් අතුරින් ධිතිමන්තයන් අතුරින් හා උපස්ථායක භික්‍ෂූන් අතුරින්ද අගතනතුරෙහි තැබූසේක."


A. "අපගේ් තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 20 යනතුරු ස්ථිර උපස්ථායකයන් වහන්සේ නමක් සිටියේ නැහැ. එක එක කාලයේදී එක එක තෙරුන් වහන්සේලා උපස්ථාන කර තිබෙනවා. උන්වහන්සේට අවුරුදු 55 වෙද්දී සංඝයා රැස්කර වදාළා මම දැන් මහළුයි. මට ස්ථිර උපස්ථායකු අවශ්‍යයි කියා. එවිට ඒ සඳහා සාරිපුත්ත මොග්ගල්ලාන, අනුරුද්ධ, රේවත ආදී රහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. නමුත් තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට ළඟ සිටි හිමිනමක් ආනන්ද හිමියන්ට කියනවා ඔබවහන්සේත් මේ සඳහා ඉදිරිපත් වන්න කියා. ආනන්ද හිමියන් පවසනවා සුදුසුනම් මට ලැබෙයි කියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබලා ආනන්දයන් උනන්දු කළයුතු නැහැ. ආනන්ද මෙය බාර ගනියි යනුවෙන්. එවිට ආනන්ද හිමියන් කියා සිටියා ස්වාමිනි එසේනම් මට වර අටක් ඉල්ලීමට අවසර දෙන්න. ඒ තමා,

ආයාචනා වර සතර:

1. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා චීවර ආදිය මට නොදිය යුතුයි
2. භාග්‍යවතුවන් වහන්සේට ලැබෙන ප්‍රණීත දානය මට නොදිය යුතුයි
3. භාග්‍යවතුන් වහන්සේ සිටින තැන වැඩ සිටින්නට මට නොදිය යුතුයි
4. භාග්‍යවතුන් වහන්සේ දානයට යම් ආරාධනාවක් බාර ගත්තද ඒ සඳහා නොවැඩ සිටින්නට මට අවසර තිබිය යුතුයි.

ප්‍රතික්‌ෂේප වර සතර:

5. මම විසින් යම් ආරාධනාවක් බාර ගත්තේනම් ඔබවහන්සේ එය පිළිගත යුතුයි
6. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ඈත සිට යම් කෙනෙක් ආ විට ඔබවහන්සේ සමීපයට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුයි
7. ධර්මය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුවොත් එය අසා දැන ගැනීමට මට අවස්ථාව තිබිය යුතුයි.
8. මම නොසිටිය අවස්ථාවක ඔබවහන්සේ යම් දේශනාවක් වදාළේනම් එය නැවත මට කියා දිය යුතුයි.

ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ වෙතින් ලැබ තනතුරු 5

1 “මහණෙනි, යම් මේ ආනන්ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රැතවූ (බොහෝ ඈසූ පිරූ තැන් ඇති) මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.

2 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම (ඇසූපිරූ දේ දරාගන්නා සිහි ඇති) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.

3 “මහණෙනි, මේ ආනන්ද නම් ස්ථවිර තෙම ඤාණගති ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

4 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම (බුද්ධ වචනය දැරීමාදියෙහි) වීර්‍ය්‍යය ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

5 “මහණෙනි, මේ ආනන්ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

මෙසේ තනතුරු රාශියක්‌ ලැබූ ආනන්ද හාමුදුරුවන් අතිශය නිහතමානී වෙමින් තනතුරු නිසා තමන් බැබළෙනවා වෙනුවට තමන් නිසා තනතුරු බැබළවූහ."


["... ශ්‍රාවකයන් අතරින් සැරියුත් තෙරණුවෝ මහා ප්‍රඥාවන්තයෙකි. එතුමෝ විදර්ශනා ලක්‍ෂණ බෙදා දැක්වීම අග්‍රවෙති. සමාධි ලක්ෂණ බෙදා දැක්වීමෙහි අග්‍රස්ථානය මහමුගලන් තෙරණුවෝ ලබා ඇත. කාශ්‍යප තෙරණුවෝ ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වෙති. දිවැස් ඇත්තවුන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්‍ර වෙති. පුණ්ණමන්තානි පුත්ත තෙරණුවෝ විසිතුරු ධර්ම කථා ඇත්තවුන් අතරින් අග්‍රවෙති. උපාලි තෙරණුවෝ විනයධාරීන් අතරින් අග තනතුරු ලබති. මේ ආනන්ද තෙරණුවන් වනාහී බහුශ්‍රැතය. ත්‍රිපිටකධාරීය. ශාස්තෘන් වහන්සේද ඒ ඒ තැන දෙසූ දහම් කරුණු එතුමන්ට නැවත දේශනා කරන සේක. උන්වහන්සේ අගතනතුරු පහක් ලැබූහ. අට වරයක් ලැබූහ. සතර ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්තය. ...."
"... සාවකෙසුපිස්ස සාරිපුත්තො මහාපඤ්ඤො විපස්සනාලක්ඛණම්හි එතදග්ගෙ ඨපිතො, මහාමොග්ගල්ලානො සමාධිලක්ඛණස්මිං එතදග්ගෙ ඨපිතො, මහාකස්සපො ධුතඞ්ගධරෙසු අනුරුද්ධො දිබ්බචක්ඛුකෙසු, පුණ්ණො මන්තාණිපුත්තො ධම්මකථිකෙසු, උපාලිත්ථෙරො විනයධරෙසු එතදග්ගෙ ඨපිතො, අයං පන ආනන්දො බහුස්සුතො තිපිටකධරො, සත්ථාපිස්ස තත්ථ තත්ථ කථිතං ධම්මං ආහරිත්වා කථෙති, පඤ්චසු ඨානෙසු එතදග්ගෙ ඨපිතො, අට්ඨන්නං වරානං ලාභී, චතූහි අච්ඡරියබ්භුතධම්මෙහි සමන්නාගතො, ..."

A. "ආනන්ද තෙරුන් වහන්සේ නිහඬව සිටියේය. ඉක්බිති භික්‍ෂූහු උන්වහන්සේට මෙසේ පැවසූහ. ඇවැත්නි! භික්‍ෂු සංඝයා උපස්ථායක තනතුර ඉල්ලා සිටිති. ඔබද ඉල්ලුම් කරන්න යැයි කීහ. උන්වහන්සේ මෙසේ පැවසූහ. ඇවැත්නි, ඉල්වා ලබාගන්නා ලද තනතුර කෙබඳු වන්නේද? කිම! ශාස්තෲන් වහන්සේට මා නොපෙනේද? ඉදින් මා කැමැති නම් ආනන්දය! මට උපස්ථාන කරන්න යැයි වදාරන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! අන්‍යයන් විසින් ආනන්දයන් උනන්දු කරවිය යුත්තේ නොවේ. තෙමේම දැනගෙන මා හට උවටැන් කරන්නේ යැයි වදාළ සේක. ඉක්බිති භික්‍ෂූහු ඇවැත්නි, ආනන්දය, නැගී සිටින්න. ආනන්දය, දශබලධාරීන් වහන්සේගේ උපස්ථාන තනතුර ඉල්වන්න යැයි කීහ. තෙරුන් වහන්සේ නැගිට පිළිකෙව් සතරකුත් ඉල්ලීම් සතරකුත් යන වර අටක් ඉල්ලා සිටියේය.

සතර පිළිකෙව් මොනවාද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලබන ලද ප්‍රණීත වූ සිවුරු මට නොදිය යුතුයි. පිණ්ඩපාතය මට නොදිය යුතුයි. එකම ගඳකිළියේ වාසය නොකළ යුතුයි. ආරාධනා භාරගෙන යායුතු නැත. මෙසේ නම් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමියි කියූවිට, කිම ආනන්දය, ඔබ මෙහිදී යම් ආදීනවයක් දුටුවේදැයි ඇසීය. ස්වාමීනි! ඉදින් මම මේ ලාභයන් ලබන්නෙම් නම් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේට ලැබුණු වටිනා සිවුරු පරිභෝග කරයි. පිණ්ඩපාතය වළඳයි. එකට ගඳකිළියේ වාසය කරයි. එකම ආරාධනාවට දානය සඳහා වඩියි. මේ ලාභ ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරයි කියා කියන්නෝ ඇතිවන්නාහ. මෙසේ උපස්ථාන කිරීම කෙසේ නම් කරදරයක්ද? මේ නිසා මේ පිළිකෙව් සතර ඉල්ලා සිටියෙමි.

සතරවැදෑරුම් ඉල්ලීම් කවරේද? ඉදින් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා විසින් ගන්නා ලද ආරාධනයකට වඩීද, ඉදින් මම රට හරහා ජනපද හරහා භාග්‍යවතුන් වහන්සේව දැකීමට ආ ජනයාට පැමිණිවිටම භාග්‍යවතුන් වහන්සේව මුණගස්වන්නට හැකිවෙමි. යම්විටක මට සැකයක් පහළවන්නේද ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ ළඟට යාමට හැකිවෙමි. එසේම මා නැති තැනක භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළ සේක්ද, ආපසු වැඩියවිට මට නැවත දේශනා කරයි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරමි.
කිම ආනන්ද, ඔබ මෙහි ආනිශංස දකින්නෙහිදැයි විචාර කල්හි මෙසේ පැවසීය. මෙහිදී ස්වාමීනි! ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට අවකාශයක් නොලැබ මට මෙසේ කියත්. ආනන්ද හිමියනි! හෙට භාග්‍යවතුන් වහන්සේ සමග අපගේ නිවසෙහි දානය වළඳන්න කියා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ එහි නොවඩීද සිතූ වේලාවේම පිරිස දකින්නට, සැක දුරුකර ගන්නට අවස්ථාවක් නොලබමි. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ට උපකාර කරන ආනන්ද හිමියන්ට මෙතරම් වූ උපකාරයක් නොකරන්නේ යැයි කියන්නෝ ඇතිවන්නාහ.
භාග්‍යවතුන් වහන්සේ නැති තැන්වලදී මගෙන් මෙසේ විචාරත්. ඇවැත්නි, ආනන්ද, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කවර තැනකදී දේශනා කරන ලද්දේ ද? ඉදින් මම ඒවාට පිළිතුරු නොදෙන්නේ නම් මෙසේ කියන්නෝ ඇති වෙත්. ඇවැත්නි, කිම ඔබ නොදන්නෙහිද? කවර හෙයකින් ඔබ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් වහන්සේව අත් නොහැර බොහෝකලක් හැසුරුනෙහිය. ඒ නිසා මා නැති තැන දේශනා කළ ධර්මය නැවත අසනු කැමැත්තෙමි. මේ ඉල්ලීම් සතර ඉල්ලා සිටියෙමි. භාග්‍යවතුන් වහන්සේද ඒවා ඔහුට ලබාදුන් සේක.

මෙසේ මේ වර අට ගෙන නිරන්තර උපස්ථායකයා විය. මේ තනතුර සඳහාම කල්ප ශතසහස්‍රයක් පුරණ ලද පෙරුම් සඵලත්වයට පත්විය. මේ මොහුගේ ස්ථිර උපස්ථායක බව සඳහා ‘මහණෙනි, දැන් ආනන්ද භික්‍ෂුව මාගේ උපස්ථායකයා අග්‍ර උපස්ථායකයා’ යැයි වදාළ සේක. මේ උපට්ඨාන පරිච්ඡේදයයි."

"ආනන්දත්ථෙරො පන තුණ්හීයෙව නිසීදි. අථ නං භික්ඛූ එවමාහංසු – “ආවුසො, ආනන්ද, භික්ඛුසඞ්ඝො උපට්ඨාකට්ඨානං යාචති, ත්වම්පි යාචාහී”ති. සො ආහ – “යාචිත්වා ලද්ධුපට්ඨානං ¶ නාම ආවුසො කීදිසං හොති, කිං මං සත්ථා න පස්සති, සචෙ රොචිස්සති, ආනන්දො මං උපට්ඨාතූති වක්ඛතී”ති. අථ භගවා – “න, භික්ඛවෙ, ආනන්දො අඤ්ඤෙන උස්සාහෙතබ්බො, සයමෙව ජානිත්වා මං උපට්ඨහිස්සතී”ති ආහ. තතො භික්ඛූ – “උට්ඨෙහි, ආවුසො ආනන්ද, උට්ඨෙහි ආවුසො ආනන්ද, දසබලං උපට්ඨාකට්ඨානං යාචාහී”ති ආහංසු. ථෙරො උට්ඨහිත්වා චත්තාරො පටික්ඛෙපෙ, චතස්සො ච ආයාචනාති අට්ඨ වරෙ යාචි.

චත්තාරො පටික්ඛෙපා නාම – “සචෙ මෙ, භන්තෙ, භගවා අත්තනා ලද්ධං පණීතං චීවරං න දස්සති, පිණ්ඩපාතං න දස්සති, එකගන්ධකුටියං වසිතුං න දස්සති, නිමන්තනං ගහෙත්වා න ගමිස්සති, එවාහං භගවන්තං උපට්ඨහිස්සාමී”ති වත්වා – “කිං පනෙත්ථ, ආනන්ද, ආදීනවං පස්සසී”ති වුත්තෙ – “සචාහං, භන්තෙ, ඉමානි වත්ථූනි ලභිස්සාමි, භවිස්සන්ති වත්තාරො – ‘ආනන්දො දසබලෙන ලද්ධං පණීතං චීවරං පරිභුඤ්ජති, පිණ්ඩපාතං පරිභුඤ්ජති, එකගන්ධකුටියං වසති, එකතො නිමන්තනං ගච්ඡති, එතං ලාභං ලභන්තො තථාගතං උපට්ඨාති, කො එවං උපට්ඨහතො භාරො’ති” ඉමෙ චත්තාරො පටික්ඛෙපෙ යාචි.

චතස්සො ආයාචනා නාම – “සචෙ, භන්තෙ, භගවා මයා ගහිතනිමන්තනං ගමිස්සති, සචාහං තිරොරට්ඨා තිරොජනපදා භගවන්තං දට්ඨුං ආගතං පරිසං ආගතක්ඛණෙ එව භගවන්තං දස්සෙතුං ලච්ඡාමි, යදා මෙ කඞ්ඛා උප්පජ්ජති, තස්මිංයෙව ඛණෙ භගවන්තං උපසඞ්කමිතුං ලච්ඡාමි, යං භගවා මය්හං පරම්මුඛා ධම්මං දෙසෙති, තං ආගන්ත්වා මය්හං කථෙස්සති, එවාහං භගවන්තං ¶ උපට්ඨහිස්සාමී”ති වත්වා – “කං පනෙත්ථ, ආනන්ද, ආනිසංසං පස්සසී”ති ¶ වුත්තෙ – “ඉධ, භන්තෙ, සද්ධා කුලපුත්තා භගවතො ඔකාසං අලභන්තා මං එවං වදන්ති – ‘ස්වෙ, භන්තෙ ආනන්ද, භගවතා සද්ධිං අම්හාකං ඝරෙ භික්ඛං ගණ්හෙය්‍යාථා’ති, සචෙ භන්තෙ භගවා තත්ථ න ගමිස්සති, ඉච්ඡිතක්ඛණෙයෙව පරිසං දස්සෙතුං, කඞ්ඛඤ්ච විනොදෙතුං ඔකාසං න ලච්ඡාමි, භවිස්සන්ති වත්තාරො – ‘කිං ආනන්දො දසබලං උපට්ඨාති, එත්තකම්පිස්ස අනුග්ගහං භගවා න කරොතී’ති. භගවතො ච පරම්මුඛා මං පුච්ඡිස්සන්ති – ‘අයං, ආවුසො ආනන්ද, ගාථා, ඉදං සුත්තං, ඉදං ජාතකං, කත්ථ දෙසිත’න්ති. සචාහං තං න සම්පාදයිස්සාමි, භවිස්සන්ති වත්තාරො – ‘එත්තකම්පි, ආවුසො, න ජානාසි, කස්මා ත්වං ඡායා විය භගවන්තං අවිජහන්තො දීඝරත්තං විචරසී’ති. තෙනාහං පරම්මුඛා දෙසිතස්සපි ධම්මස්ස පුන කථනං ඉච්ඡාමී”ති ඉමා චතස්සො ආයාචනා යාචි. භගවාපිස්ස අදාසි.

එවං ඉමෙ අට්ඨ වරෙ ගහෙත්වා නිබද්ධුපට්ඨාකො අහොසි. තස්සෙව ඨානන්තරස්සත්ථාය කප්පසතසහස්සං ¶ පූරිතානං පාරමීනං ඵලං පාපුණීති ඉමස්ස නිබද්ධුපට්ඨාකභාවං සන්ධාය – “මය්හං, භික්ඛවෙ, එතරහි ආනන්දො භික්ඛු උපට්ඨාකො අග්ගුපට්ඨාකො”ති ආහ. අයං උපට්ඨාකපරිච්ඡෙදො නාම."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll