168. අනගාරික වීම හා බ්‍රහ්මචාරී වීම එකක් ද දෙකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි සියලු දෙනාටම!
අනගාරික ජීවිතයක් ගතකිරීම හා බ්‍රහ්මචාරී වීම අතර පවතින වෙනස පිළිබඳ ව පැහැදිලි කරන්න.

A / T. “ … මෙහිද ගිහිගෙයි වසන්නවුන්ට හිතවූ කෘෂිකර්මාන්ත - වෙළඳාම් ආදිය “අගාරියං” යනුවෙන් ගිහිගෙට අයත් යැයි කියයි. මෙය පැවිද්දන්ට සුදුසු නැත. එනිසා පැවිද්ද “අනගාරික” යැයි කිවයුතුයි. ඒ අනගාරික වූ සසුන්නේ “පබ්බජෙය්‍යං” යනු පැවිදිවීමට පැමිණියේය.”

“එත්ථ ච යස්මා අගාරස්ස ¶ හිතං කසිවණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තං පබ්බජ්ජාය නත්ථි, තස්මා පබ්බජ්ජා අනගාරියාති ඤාතබ්බා, තං අනගාරියං. පබ්බජෙය්‍යන්ති පටිපජ්ජෙය්‍යං.”


A / T. “බ්‍රහ්මචාරිං යනු: මෙවුන්දමින් තොරවූවකු ය.”

“බ්‍රහ්මචාරින්ති මෙථුනධම්මා පටිවිරතං.”


“අබ්‍රහ්මචාරි යනු උතුම් ලෙස ශ්‍රේෂ්ඨ ලෙස හැසිරෙයි යන අරුතින් බ්‍රහ්මචාරී වෙයි. උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ආචාරය මොහුට ඇත්තේය යන අරුතින් බ්‍රහ්මචාරී වෙයි. බ්‍රහ්මචාරි නොවන්නේ අබ්‍රහ්මචාරිය. බ්‍රහ්මචාරියකු ලෙස හැසිරෙන දුස්සීලයා ය යන අර්ථයි.”

“අබ්‍රහ්මචාරීති ¶ බ්‍රහ්මසෙට්ඨං චරතීති බ්‍රහ්මචාරී, බ්‍රහ්මා වා සෙට්ඨො ආචාරො එතස්ස අත්ථීති බ්‍රහ්මචාරී, න බ්‍රහ්මචාරීති අබ්‍රහ්මචාරී, බ්‍රහ්මචාරිපටිරූපකො දුස්සීලොති අත්ථො.”


A / T. “සප්තමෛථූනය: 1. බ්‍රාහ්මණය! මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් තුමූ සම්‍යක් බ්‍ර‍හ්මචාරි යයි ප්‍ර‍තිඥා කරන්නෝ මාගම් - (ස්ත්‍රීන්) හා සමඟ මෙවුන්දම් සේවනය නො කරති. එතකුදු වුවත් මාගම් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, නැහැවීම්, අත් පා මැඩීම් ඉවසති. ආස්වාදනය කරති. කැමති වෙති. සතුටු වෙත්. බ්‍රාහ්මණය! මේ වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වේ. බ්‍රාහ්මණය! ඔවුන් මෛථුන සංයෝගයෙන් යුක්ත වැ අපිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙතියි කිය යුතු. ඔවුන් ජාති ජරා මරණාදියෙන් - දුකින් නොමිදෙන්නාහ යි කියමි.

2. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් නො සෙවති. ඔවුන් විසින් කරනු ලබන ඇඟ ඉලීම් ආදිය ද නො ඉවසති. එතකුදු වුවත් ඔවුන් සමඟ කෙලෙස් වශයෙන් සිනාසෙති. සෙල්ලම් කරති. මමත්‍වය කරත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

3. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම්, සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම් නො කෙරෙති. එතකුදු වුවත් මාගමුන් ඇසින් ඇස පැහැර බලති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද සබල ද, කල්මාෂ ද වන්නේ ය. 

4. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, ඇසින් ඇස පැහැරැ බැලීම් නො කරති. එතකුදු වුවත් භිත්තියෙන් ප්‍රාකාරයෙන් පිටත සිටැ සිනාසෙන කථා කරන - ගායනා කරන - හඬන - මාගමගේ ශබ්දය අසත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

5. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, බැලීම්, හඬ ඇසීම් නො කරති. එතකුදු වුවත් පෙර මාගමුන් සමඟ කළ සිනා, කථා, ක්‍රීඩා සිහි කරති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

6. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේස මාගම් සමඟ මෙවුන්දම් ආදිය නො කරති. කථා ද සිහි නො කරති. එතකුදු වුවත් පඤ්චකාමයෙන් සමර්පිත සමඞ්ගීභූත ගෘහපතීන් හෝ ගෘහපති පුත්‍ර‍යන් හෝ දැක එය - (පඤ්චකාමය) කැමැති වෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

7. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම් ආදිය නො කරති. පස්කම් සැප විඳින ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍ර‍යකු හෝ දැකැ එය කැමැති නො වෙති. එතකු දු වුවත් එක්තරා දිව්‍යනිකායක් ප්‍රාර්‍ථනා කොටැ ගෙන “මම මේ ශීලයෙන් හෝ ව්‍ර‍තයෙන් හෝ තපසින් හෝ බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙන් හෝ ප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ අප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ වෙම්වා”යි බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

මෙසේ සප්තවිධ මෛථුනයෙන් ශීලයාගේ ඛණ්ඩාදි භාවය සඞ්ග්‍ර‍හ කරන ලදැයි දත යුතුයි.”


{සුද්ධං බ්‍රහ්මචාරින්ති ඛීණාසවභික්ඛුං.

A / T. “... මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය.”


"සප්ත මෛථුනය

1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.
2. ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.
3. ස්ත්‍රීන්ගේ රූපය බල බලා සතුටු වීම.
4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම.
5. පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.
6. පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.
7. රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.

මේ කරුණු සතට සප්ත මෛථුනය යි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll