A. “... වාතයෙන් හෝ පිතෙන් හෝ සෙමෙන් හෝ ලෙයින් හෝ බොර වූ ඇසෙහි සියුම් වූ ද දුර තිබෙන්නා වූ ද වස්තූන් ගේ ඡායා නො වැටෙන බැවින් එබඳු ඇස් ඇති තැනැත්තාට සියුම් වූ වස්තු හා දුර තිබෙන වස්තු නො පෙනේ. එමෙන් පිරිසිදු බව මඳ වූ දුබල වූ අඳුරු වූ භවාංග චිත්තයෙහි සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු නො සැපෙන බැවින් එබඳු භවාංග චිත්තයට සියුම් වූ ගැඹුරු වූ කරුණු නො හසු වන බැවින් අපරිශුද්ධ භවාංග චිත්තය ඇතියන්ගේ සන්තානයන්හි සියුම් වූ ගැඹුරු වූ කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී. එබැවින් එබඳු පුද්ගලයන්ට දුරවබෝධ වූ ගැඹුරු වූ කරුණු නො දැනේ. අනුන් කියනු ඇසුයේ ද අවබෝධ නො වේ. පොතපත කියවූයේ ද ඒවායේ දැක්වෙන ගැඹුරු කරුණු අවබෝධ නො වේ. ලෝකයෙහි මෝඩයෝ ය, උගෙනීමට කල්පනා කිරීමට අසමත්තු යයි කියනුයේ පැහැපත් බව, පිරිසිදු බව මඳ වූ භවාංග චිත්තය ඇතියවුන්ට ය.
භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්ත්වයකු හට එක් ජාතියකදී ඇති වන්නේ එක ම වර්ගයේ භවාංග සිත් ය. උත්පත්තියෙන් අඳුරු වූ දුබල වූ භවාංග චිත්තයක් ලැබූ, ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයකු පසු කාලයේ දී යම්කිසි උපක්‍රමයකින් ආලෝකවත් භවාංග සන්තානයක් ඇතියකු නො කළ හැකි ය. ...”