138. සෝවහන් උතුමන් සත් (හත්) භවයක් ඉක්මවන්නේ ම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස... ගිහි පිංවතුනි... සෝවාන් පුද්ගලයා ආත්මභාව 07 උපදී යනුවෙන් අසා ඇත. "න තේ භවං අට්ටමං...." ඒ වගේම ආත්මභාව 07 ට වැඩියෙන් උපදිනවා යනුවෙන්ද අසා ඇත. ඒ කෙසේද මට පැහැදිලි කර දෙන්න.

A. “... සෝවාන් පුද්ගලයා සත් වරට වඩා නූපදින්නේ කාම ලෝකයෙහි ය රූපාරූප ලෝකවල වනාහි සත්වරට වඩා ද උපදින්නේ ය. කාමලෝකයෙහි සත්වරට වඩා නූපදීම සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි. රූපාරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවයෙන් සිදු වන්නකි. සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහළට ඉපද ගොස් ධ්‍යාන උපදවා බ්‍ර‍හ්මලෝකයට පැමිණ එහි ද පිළිවෙලින් ඉහළ ඉහළ ලෝකවල උපදිමින් අකනිට්ඨය දක්වා ගොස් එහි දී පිරිනිවන් පාන්නාහ.

අනේපිඬු මහා සිටුහුය, විශාඛා මහා උපාසිකාවය, චූලරථ, මහාරථ දිව්‍ය පුත්‍රයෝ ය. අනේකවර්ණ දේව පුත්‍ර‍යා ය, සක්දෙව් රජය, නාගදත්ත දේව පුත්‍ර‍යාය යනාදීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝකවල ඉපද ගොස් අකනිට්ඨයේ පිරිනිවන් පාන්නාහ යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. සෝවාන් පුද්ගලයාගේ භවයෙහි සත් වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශයෙනි. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවා ගත නො හැකි වී නම් හේ සත් ජාතියකට වඩා නූපදනේ ය. ...”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll