252. සිත පවතින්නේ මොළය තුළ ද? හදවත තුළ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. හිත තියෙන්නේ මොලය තුලද? පපුව තුලද? 

A/S. මේ පිළිබඳව කලින් පළවී ඇති මේ ලිපිය ද කියවන්න. ඊට අමතරව අමරදාස රත්නපාල ශ්‍රීමතාණන් ගේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය - පිටු 23-25) හි පහත විවරණය සෑහේ.

"සිත් පවතින තැන ගැන මෙකල බොහෝ මත ප්‍රකාශ කරන බව පෙණේ; ශරීරය පිළිබඳව උසස්‌ දැනීම් ඇති ශාස්ත්‍රඥයන්‌ ගේ ද, මනෝවිද්‍යාඥයන්‌ ගේ ද අදහස්‌වල හැටියට සිත පවතින්නේ මොලයේය, මේ ප්‍රශ්නය අප විසින්‌ ධර්මානුකූලව නිරාකරණය කර ගත යුතුය. මනුෂ්‍යයෙකුගේ මව්‌ කුස පිළිසිඳ ගැනීමේ දී, ප්‍රතිසන්ධි සිතත් සමගම කර්මයෙන්‌ හටගත් රූප කලාප 3 ක්‌ එනම්‌, කාය දසකය, භාව දසකය සහ වස්තු දසකය යන දසක 3 හෙවත්‌ රූප 30 පහළ වන්නේ ය. මේ කලල රූප අවස්ථාවේ පටන්‌ ක්‍රමයෙන්‌ රූප පරම්පරාව වැඩීමෙන්‌ නො යෙක්‌ ශරීරාවයව සෑදෙන්නට පටන්‌ ගනී. ප්‍රසාද වස්තු ආදිය සම්පූර්ණ වන්නට සති 11 ක්‌ පමණ ගත වේ. මොලය සෑදී ක්‍රියාත්‌මක ශක්තිය දැක්වීමට සති 14 ක්‌ පමණ ගත වේ යයි දැන ගෙන තිබේ. මොලය සෑදෙන තාක්‌ කල්‌ සිත්‌ පරම්පරාව නොසිඳී පැවතුනා නම්‌, ඒ පැවතුනේ කොතැන්හි දැයි විමසා බැලීමේ දී, එවකට සෑදී නැති මොලයෙහි නොව, පටිසන්ධියත්‌ සමග උපන්‌ වස්තු දසකයට අයත්‌ හදය වත්ථු රූප සන්තතිය ආශ්‍රය කර ගෙන බව දත යුතුය. කර්ම ශක්තිය ඇති තාක්‌ මෙම කර්මජ රූප පරම්‌පරාව පවතී. චුති සිත අවසන්‌ වීම සමග ම කර්මජ රූප සන්තතිය ද අවසන්‌ වේ. හදයවත්ථු රූප නිරුද්ධ වීමෙන්‌ මේ භවයට අයත් චිත්ත සන්තතිය ද නිරුද්ධ වේ.

ඇතැම්‌ විට මව්කුසින්‌ බිහිවන කල්හි අඞ්ග විකල වූ ළදරුවන්‌ උපදින බව පෙනේ. සමහර ළදරුවන්ට මොලයකුත්‌ නැත. ඒ ළදරුවන්ගේ මරණය බිහි වී නොබෝ වේලාවකින්‌ සිදුවන්නේ ය. මෙයට හේතුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම්‌ ආදී ශරීරය පවත්වා ගැනීමට උවමනා අවශ්‍ය අවයව ක්‍රියා කරවීමට මොලයේ උපකාර වුවමනා බැවිනි. චක්ෂු ප්‍රසාද වස්තු ආදි ප්‍රසාද වස්තූන්‌ ගේ නිරෝගි භාවය රැක ගැනීමට ද මොලය උපකාර වේ. ඒ ප්‍රසාද වස්තූන්‌ උපද්‍රව සහිත වූ කල්හි එහි උපදින සිත්‌ හට ගැනීමට බාධා පැමිණේ. එබැවින්‌ දැකීම්‌, ඇසීම්‌, ගඳ දැනීම්, රස දැනීම්, ශාරීරික වේදනා දැනීම් ආදී ක්‍රියාවන්‌ සිදු කිරිමට මොලය අවශ්‍ය වේ. තව ද ළදරුවා බිහි වූවායින්‌ පසු, හෘදය වස්තුව, පෙනහැලි ආදි අභ්‍යන්තර ශරීරාවයවයන්‌ ක්‍රියා කරවීමටදට මොලය උවමනා ය. ශරීර උෂ්ණය සම තත්වයෙන්‌ පැවැත්වීම ද, ආහාර පැසවීම ද මොලය නිසා ඇති වේ. මේ ආදී කරුණු සළකා බලන කල්හි සිත පවත්වා ගැනීමට නොව, ශරීරය පවත්වා ගැනීමට මොලයේ පිහිට ලැබිය යුතු බව ප්‍රත්‍යක්ෂ වේ. පීඩා සහිත වූ කලාන්ත වූ අවයවයන්‌ ඇති සිරුරක්‌ ඇසුරු කරමින්‌ පවතින සිත හෙවත්‌ නාම කාය ද, ක්ලාන්ත ස්වභාවයට පත්වීමෙන් චිත්ත පරම්පරාව ද දුර්වල වේ. එබැවින්‌ මේ සිත්‌ පරම්පරාව කර්මජ වූ හදයවත්ථු රූප පරම්පරාව ආශ්‍රය කරමින්‌ පවතින බව වටහා ගත යුතුය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll