227. ටිකට් (ලොතරයි) ගත්තත් පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ලොතරැයි මිලදී ගැනීමෙන් පවක් සිදුවනවා ද? පහදා දෙන්න. තෙරුවන් සරණයි!

A. ලොතරැයියක් මිල දී ගැනීමේ ක්‍රියාවලිය බොහෝ විට ලෝභ සහගත සිත්වලින් කෙරෙන ක්‍රියාවලියක් බැවින් පව් සිදුවන බව කෙටියෙන් කිව හැකිය.

නමුත් එය එතරම් බරපතල (බර/බරසාර) හෝ නියත විපාක ඇති කරන පව් රැස්වන ක්‍රියාවලියක් බව කිව නොහැක.

එනම් එය කර්මයක් මිස කර්ම පථයක් නොවේ.

R. "කුශලාකුශලයන් ගේ විපාකය ප්‍ර‍තිසන්ධි විපාක, ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් වේ. මරණින් මතු යම්කිසි තැනක උත්පත්තියක් සිදු කිරීම ප්‍ර‍තිසන්ධි විපාකය ය. උපන් සත්ත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍ර‍වෘත්ති විපාකය ය. කර්මපථය යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්ම යන නාමය පමණක් කියනු ලැබේ."


R. "විපාක දීමේදී අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් (කර්ම) දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය."


T. "මෙහි දක්වා ඇත්තේ අතීත ලෝකයේ පැවති ක්‍රීඩා ය. වර්තමාන ලෝකයේ ඇත්තේ ඒවාට වෙනස් ක්‍රීඩාය. ලෝකයෙහි ක්‍රීඩා කලින් කල වෙනස් වේ. පැවිද්දන් විසින් මෙහි දැක්වූ ක්‍රීඩාවලින් ම නො ව වර්තමාන ලෝකයේ ඇති සියලු ම සූදුවලින් ද ලොතරැයි ටිකැට් ගැනීමෙන් ද නොයෙක් ක්‍රීඩාවලින් ද වැළකී වාසය කළ යුතුය. එය භික්ෂුගේ එක් ශීලයෙකි."


T. "කර්මපථ නම් ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති යන උභය විපාක ම දෙන බව ය. කර්ම වනාහි ප්‍රවෘත්ති විපාක පමණක් දෙන්නේ ය.


"... එහි දු ප්‍රතිසන්ධි උපදවන්නේ කර්මපථ බවට පැමිණි කර්මය මැ යි. වරක් ප්‍රතිසන්ධි දුන් කර්මය නැවත ප්‍රතිසන්ධි දීමෙහි අසමර්ථ ය. එහි ප්‍රතිසන්ධි දායක ශක්තිය පිරිහුණු බැවිනි. කර්මපථ බවට පැමිණි හෝ නොපැමිණි යටත් පිරිසෙයින් සිහිනෙන් කළ කුශලාකුශල කර්ම ද ප්‍රවෘත්ති විපාක දෙන්නේය. එක කර්මය සියදහස් ජාතියෙහි දු ප්‍රවෘත්ති විපාක දීමට සමර්ථ ය."


T. වැඩිදුර දැනුමට මෙය කියවන්න.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll