Q. ශීලයේ ප්‍රබේද මූලාශ්‍ර ඇසුරින් පෙන්වා දිය හැකිද?
A. "මෙහි ‘සීලමෙව සුතා සෙය්‍යො’ යනු ‘උගත් ධර්මයට වඩා ශීලයම සිය-දහස් ගුණයෙන් උත්තරීතර ය. මෙසේ ද කියා ශීලය වූ කලී, සංවර ශීලය වශයෙන්, එක් වැදෑරුම් ද, චාරිත්‍ර-වාරිත්‍ර වශයෙන්, දෙ වැදෑරුම් ද, කායික-වාචසික-මානසික වශයෙන්, තෙ වැදෑරුම් ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ඉන්‍ද්‍රිය සංවර ශීලය - ආජීව පාරිශුද්ධ ශීලය - ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය වශයෙන්, සිව් වැදෑරුම් ද වේ යැයි මාතෘකා තබා, විස්තර කරමින් ශීල වර්ණනාව දේශනා කෙළේය’ යන අර්ථයි.
තත්ථ සීලමෙව සුතා සෙය්‍යොති සුතපරියත්තිතො සතගුණෙන සහස්සගුණෙන සීලමෙව උත්තරිතරන්ති. එවඤ්ච පන වත්වා සීලං නාමෙතං ¶ එකවිධං සංවරවසෙන, දුවිධං චාරිත්තවාරිත්තවසෙන, තිවිධං කායිකවාචසිකමානසිකවසෙන, චතුබ්බිධං පාතිමොක්ඛසංවරඉන්ද්‍රියසංවරආජීවපාරිසුද්ධිපච්චයසන්නිස්සිතවසෙනාති මාතිකං ඨපෙත්වා විත්ථාරෙන්තො සීලස්ස වණ්ණං අභාසි."
# ඉක්බිති, මේ ශීලය කී ආකාරවේදැයි යමක් කියන ලද්දේ ද, එහි විසඳුම මෙසේය: පළමුකොට මේ සියලු ආකාර ඇති ශීලය තෙමේ එකලස් කිරීමේ ලක්‍ෂණයෙන් එක්ම ආකාර වේ.
චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙඅකාර වේ. එසේම ආභිසමාචාරික, ආදිබ්‍රහ්මචරියක වශයෙන්ද, විරති, අවිරති වශයෙන්ද, නිස්සිත අනිස්සිත වශයෙන්ද, කාලපරියන්ත, ආපාණකෝටික වශයෙන්ද, සපරියන්ත, අපරියන්ත වශයෙන්ද, ලෞකික ලෝකෝත්තර වශයෙන්ද (එකක් පාසා) දෙආකාර වේ.
හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය වශයෙන්ද, පරාමට්ඨ, අපරාමට්ඨ, පටිපස්සද්ධි වශයෙන්ද, විසුද්ධ, අවිසුද්ධ, වේමතික වශයෙන්ද, සේඛ, අසේඛ, නෙවසේඛාසේඛ වශයෙන්ද, තුන්ආකාර වේ.
හානභාගීය, ඨිතිභාගීය, විසෙසභාගීය, නිබ්බේධභාගීය වශයෙන් සිව්ආකාර වේ. එසේම භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද, පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක වශයෙන්ද, පටිමොක්ඛසංවර ඉන්‍ද්‍රියසංවර, ආජීවපාරිසුද්ධි, පච්චයසන්නිස්සික වශයෙන්ද, සිවු ආකාර වේ.
පරියන්ත පාරිසුද්ධි සීල ආදි වශයෙන් පස් ආකාර වේ. කියන ලද මැයි පටිසම්භිදාවෙහි: ‘පරියන්ත පාරිසුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි ශීලය පරිපුණ්ණ පාරිසුද්ධි සීලය, අපරාමට්ඨ පාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධි පාරිසුද්ධසීලයයි ශීලය පස්ආකාර වේ.1 එසේම පහාණ, වේරමණි චේතනා, සංවර, අවීතික්කම වශයෙන්ද පස්ආකාර වේ.
එහි එක්වැදෑරුම් කොටසෙහි අර්ත්‍ථය යට කී පරිදිම දතයුතුය. දෙවැදෑරුම් කොටසෙහි: භාග්‍යවතුන් වහන්සේ විසින් මේ මේ දෑ කළ යුතුය’යි පනවනලද සිකපද පිරීම චාරිත්‍රයි; ‘මේ මේ දෑ නොකළ යුතුය’යි පිළිකෙව් කරන ලද්දක් නොකිරීම වාරිත්‍රයි. එහි වචනාර්ත්‍ථය මෙසේයි: ඒ ශීලයෙහි හැසිරෙති’යි, එය පුරන්නකු වශයෙන් පවති’යි චාරිත්‍ර නමි. වලක්වනලද දෙයින් වැලකෙති’යි, එයින් රැකෙති’යි වාරිත්‍ර නමි. එහි චාරිත්‍රය ශ්‍රද්ධා, වීර්ය යන දෙකින් සිද්ධ වේ, වාරිත්‍රය ශ්‍රද්ධා සති යන දෙකින් සිද්ධ වේ. මෙසේ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙආකාර වේ.
දෙවන ද්විකයෙහි, අභිසමාචාර නම් උතුම් සමාචාරයයි, අභිසමාචාරයම (තදර්ත්‍ථ වශයෙන්) ආභිසමාචාරික නම් වේ. අභිසමාචාරය උදෙසා පනවන ලදහ’යි හෝ ආභිසමාචාරික නම් වේ. ආජීවට්ඨමක ශීලය හැර සෙසු ශීලයනට මේ අධිවචනයි. මාර්ගබ්‍රහ්මචර්යාවට මුල් වූහ’යි ආදිබ්‍රහ්මචර්යක නමි. මෙය ආජීවට්ඨමක ශීලයට අධිවචනයි. එය වනාහි ආරම්භයෙහිදීම පිරිසුදු කළයුතු හෙයින් (විශුද්ධි) මාර්ගයට මුල් වූයේය. එහෙයින් කීහ: ඔහුගේ වනාහි කායකර්ම, වාක්කර්ම, ආජීව යන මේවා මුලදීම සුපිරිසුදු වූයේ වේ.1 නොහොත් යම් ශික්‍ෂාපදයක් ඛුද්දානුඛුද්දකයයි කියන ලද නම් මෙය ආභිසමාචාරික ශීලයයි. සෙසු ශික්‍ෂාපද ආදිබ්‍රහ්මචර්යක ශීලයයි. නැතහොත්, උභතොවිභඞ්ගයට අන්තර්ගත වූයේ ආදිබ්‍රහ්මචර්යකයි, ඛන්‍ධකවත්හි අන්තර්ගතවූයේ ආභිසමාචාරිකයි. එම ආභිසමාචාරිකය සමෘද්ධවීමෙන් ආදිබ්‍රහ්මචර්යකය සමෘද්ධ වේ. එහෙයින්ම කීහ: මහණෙනි, ඒ භික්‍ෂුතෙමේ වනාහි ආභිසමාචාරික ධර්මය පරිපූරණය නොකොට ආදිබ්‍රහ්මචර්යක ධර්මය පරිපූරණය කරන්නේය යනු කිසිවිටෙකත් සිදුනොවේ.2 මෙසේ ආභිසමාචාරික ආදිබ්‍රහ්මචර්යක වශයෙන් දෙආකාර වේ.
තෙවන ද්විකයෙහි හුදෙක් ප්‍රාණඝාතාදියෙන් වැලකීමම විරති ශීලයයි; සෙසු චේතනාදිය අවිරති ශීලයයි. මෙසේ විරති, අවිරති වශයෙන් දෙආකාර වේ.
සිවුවන ද්විකයෙහි: නිස්සය යනු තණ්හානිස්සය, දිට්ඨිනිස්සයයි දෙකෙකි. එහි යම් ශීලයක්, ‘මම් මේ ශීලය හේතුකොටගෙන දෙවියෙක් හෝ වන්නෙමි, නැතහොත් දෙවියන් හා සමාන අන් කෙනෙක් හෝ වන්නෙමි’3යි මෙසේ භව සම්පත් අපේක්‍ෂා කරමින් පවත්වන ලද්දේ නම් මේ තණ්හානිස්සිතයි. ශීලය හේතුකොටගෙන ශුද්ධිය වන්නේයයි මෙසේ ශුද්ධිදෘෂ්ටියෙන් යම් ශීලයක් පවත්වන ලද්දේ නම් මේ දිට්ඨිනිස්සිතයි. යම් ලෝකෝත්තර ශීලයක් වේනම් එයද, එම ලෝකෝත්තර ශීලය කරා මෙහෙයවන යම් ලෞකික ශීලයක් වේනම් එයද අනිස්සිතයි. මෙසේ නිස්සිත, අනිස්සිත වශයෙන් දෙආකාර වේ.
පස්වන ද්විකයෙහි කාල සීමාවක් කොට සමාදන් වූ ශීලය කාලපර්යන්තයි. දිවිහිමිකොට සමාදන්ව එසේම පවත්වනලද ශීලය ආපාණකෝටිකයි. මෙසේ කාලපරියන්ත ආපාණකෝටික වශයෙන් දෙආකාර වේ.
සවන ද්විකයෙහි: ලාභ, යසස්, ඤාති, අංග, ජීවිත ආදී වශයෙන් දක්නාලද සීමා ඇති ශීලය සපරියන්ත නමි. එබඳු සීමා නැති ශීලය අපරියන්ත නමි. කියනලදමැයි පටිසම්භිදායෙහි: ‘සපරියන්ත ශීලය නම් කිමෙක්ද? ලාභය සීමාකොටගත් ශීලයක් ඇත, යසස සීමා කොටගත් ශීලයක් ඇත. ඥාතීන් සීමාකොටගත් ශීලයක් ඇත, ශරීරාවයව සීමාකොටගත් ශීලයක් ඇත, ජීවිතය සීමා කොටගත් ශීලයක් ඇත. ලාභය සීමාකොටගත් ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට ලාභය නිමිති කොට, ලාභය පිණිස යම්සේ සමාදන් වූ ශික්‍ෂාපදය ඉක්මවත් නම් එම ශීලය ලාභ පර්යන්ත වේ’4 මේ ක්‍රමයෙන්ම සෙසු කරුණුද විස්තර කළ යුතුය. අපරියන්ත ශීලය විසදීමේදීද කියනලදමැයි: ‘ලාභ පර්යන්ත නොවන ශීලය කිමෙක්ද? මේ ශාසනයෙහි කිසිවෙක් ලාභය හේතුකොට, ලාභය නිමිතිකොට, ලාභය පිණිස තමන් සමාදන් වූ ශික්‍ෂාපදය කඩ කිරීමට සිතිවිලිමාත්‍රයක් හෝ නොඋපදවත් නම්, ඔහු කිමෙකැයි එය කඩ කෙරෙත් ද? මෙවන් ඒ ශීලය ලාභපරියන්ත නොවේ’5 මෙම ක්‍රමයෙන් සෙස්සද විස්තර කළ යුතුය. මෙසේ පරියන්ත, අපරියන්ත වශයෙන් දෙආකාර වේ.
සත්වන ද්විකයෙහි: ආශ්‍රවයන්ගෙන් නොමුත් සියලු ආකාර ඇති ශීලය ලෞකික වේ. ආශ්‍රව රහිත ශීලය ලෝකෝත්තර වේ. එහි ලෞකික ශීලය විශේෂ භව සම්පත් ගෙන දෙන්නේ වේ. එය භවය කෙළවර කරනු පිණිස මෙහෙයවන රුකුලක්ද වේ. යම්සේ කියන ලද්දේ ද: විනය සංවරය සඳහාය, සංවරය අවිපිළිසර සඳහාය, අවිපිළිසර ප්‍රමොදය සඳහාය, ප්‍රමාදය ප්‍රීතිය සඳහාය, ප්‍රීතිය පස්සද්ධිය සඳහාය, පස්සද්ධිය සුවය සඳහාය, සුවය සමාධිය සඳහාය, සමාධිය තත්‍වාවබොධය සඳහාය, තත්‍වාවබොධය (සසර) කලකිරීම සඳහාය, කලකිරීම විරාගය සඳහාය, විරාගය විමුක්තිය සඳහාය, විමුක්තිය විමුක්තිඥානදර්ශනය සඳහාය, විමුක්තිඥානදර්ශනය උපාදාන රහිත පරිනිර්වාණය සඳහාය, යම් මේ උපාදාන රහිත චිත්තවිමෝක්‍ෂයක් වේනම්, කථාවෙහි ඵලය එයයි, මන්ත්‍රණයෙහි ඵලය එයයි, ළඟ හිඳ සාකච්ඡා කිරීමෙහි (උපනිසා) ඵලය එයයි. ඇහුම්කන්දීමෙහි ඵලය එයයි.’1 ලෝකෝත්තර ශීලය භවයෙන් මිදීම සිද්ධ කරන්නේ වේ, එය ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානයට ආධාරකයක්ද වේ. මෙසේ ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ.
ත්‍රිකයන් අතුරෙන්, පළමුවන ත්‍රිකයෙහි: හීනවූ ඡන්‍දයෙන්, සිතින්, වීර්යයෙන් හෝ විමසීමෙන් පවත්වන ලද ශීලය හීන නමි, මධ්‍යම වූ ඡන්‍දාදියෙන් පවත්වනලද ශීලය මධ්‍යම නමි. ප්‍රණීතවූ ඡන්‍දාදියෙන් පවත්වන ලද ශීලය ප්‍රණීත නමි. නොහොත් යසස් කාමයෙන් සමාදන් වූ ශීලය හීන නමි, පින්පල කැමැතිව සමාදන් වූ ශීලය මධ්‍යම නමි, ආර්යභාවය පිණිස මෙය කළයුතුයයි සලකා සමාදන්වූ ශීලය ප්‍රණීත නමි. නොහොත්, මම ශීල සම්පන්න වෙමි, මේ අන් භික්‍ෂූහු පාපස්වභාව ඇති දුශ්ශීලයෝ ය’යි මෙසේ අත්තුක්කංසන (තමා උසස් කොට සැලකීම) පරවම්භන (අනුන් හෙලා දැකීම) ආදියෙන් කිලිටිවූ ශීලය හීන නමි, මෙසේ නොකිලිටිවූ ලෞකික ශීලය මධ්‍යම නමි, ලෝකෝත්තර ශීලය ප්‍රණීත නමි. නොහොත්, තෘෂ්ණා වශයෙන් භවභෝග පිණිස පවත්වනලද ශීලය හීන නමි, ස්වකීය විමෝක්‍ෂය පිණිස පවත්වනලද ශීලය මධ්‍යම නමි. සියලු සත්‍වයන්ගේ විමෝක්‍ෂය පිණිස පවත්වනලද ශීලය ප්‍රණීත නමි. මෙසේ හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ.
දෙවන ත්‍රිකයෙහි: තමාට නොසුදුසු දෙය අත්හරිනු රිසියෙන් ආත්මගෞරවය හේතුකොට, තමා කෙරෙහි ගෞරවයෙන් පවත්වන ලද ශීලය අත්තාධිපතෙය්‍ය නම් වේ. ලෝකාපවාදය වලකනු පිණිස ලෝකගෞරවයෙන් පවත්වන ලද ශීලය ලෝකාධිපතෙය්‍ය නම්වේ. ධර්ම මහත්‍වය පුදනු රිසියෙන් ධර්මගෞරවය හේතුකොට ධර්මය කෙරෙහි ගෞරවයෙන් පවත්වන ලද ශීලය ධම්මාධිපතෙය්‍ය නම් වේ. මෙසේ අත්තාධිපතෙය්‍ය ආදි වශයෙන් තුන් ආකාර වේ.
තෙවන ත්‍රිකයෙහි: යම් ශීලයක් (යට) ද්විකයන්හි නිස්සිතයයි දක්වන ලද්දේ ද, එය තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් පරාමර්ශ වූ හෙයින් පරාමට්ඨ නම් වේ. කල්‍යාණ ගුණයෙන් හෙබි පෘථග්ජනයන් ආර්යමාර්ගය කරා මෙහෙයවන, ශෛක්‍ෂයන්ගේ මාර්ගය හා සමග යෙදෙන ශීලය අපරාමට්ඨ නම් වේ. ශෛක්‍ෂ්‍ය අශෛක්‍ෂ්‍ය යන දෙපක්‍ෂයෙහිම ඵලය හා සමග යෙදෙන ශීලය පටිපස්සද්ධ නම් වේ. මෙසේ පරාමට්ඨ ආදී වශයෙන් තුන් ආකාර වේ.
සිවුවන ත්‍රිකයෙහි: යම් ශීලයක් ඇවැත්වලට නොපැමිණ පුරන ලද්දේ ද, පැමිණ හෝ පිළියම් කරන ලද්දේ ද, එය විශුද්ධ නම් වේ, ඇවැත්වලට පැමිණ පිළියම් නොකරනලද ශීලය අවිශුද්ධ නම්වේ, ඇවැතට හේතුවූ කරුණ පිළිබඳව හෝ, ඇවැත පිළිබඳව හෝ, ශික්‍ෂාපදය ඉක්මවීම පිළිබඳව හෝ විමති ඇත්තහුගේ ශීලය වෙමතික නම්වේ. මෙහිලා යෝගාවචරයා විසින් අවිශුද්ධ වූ ශීලය පිරිසුදු කරගතයුතුය. වෙමතිකයෙහිලා, විමති සහිත කරුණ ඉක්මයනු නොදී විමතිය දුරු කොටගතයුතුය. මෙයින් ඔහුට පහසුවක්ම වන්නේය. මෙසේ විශුද්ධාදී වශයෙන් තුන් ආකාර වේ.
පස්වන ත්‍රිකයෙහි: ආර්යමාර්ග සතරින්ද, සාමඤ්ඤඵල තුනින්ද යුක්ත වූ ශීලය සෙඛ නම් වේ, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ අසෙඛ නම් වේ, සෙසු ශීලය සෙඛ හෝ අසෙඛ නොවන ශීලය වේ. මෙසේ සෙඛාදී වශයෙන් තුන්ආකාර වේ.
පටිසම්භිදායෙහි වනාහි යම්හෙයකින් ලෝකයෙහි ඒ ඒ සත්‍වයන්ගේ ස්වභාවයද ශීලයයි. කියනු ලබන හෙයින්, යම් ස්වභාවයක් හේතුකොට මේ තෙමේ සුඛශීලයෙකි, මේ තෙමේ දුඃඛශීලයෙකි, මේ තෙමේ කලහ ශීලයෙකි, මේ තෙමේ මණ්ඩන ශීලයෙකි’යි බෙණෙන හෙයින්, එම අර්ත්‍ථයෙන්, ‘කුශල ශීලය, අකුශල ශීලය, අව්‍යාකෘත ශීලයයි තුනෙකි’1. මෙසේ කුශලාදී වශයෙන් තුන් ආකාරවේයයි කියනලදි. එහි අකුශල ශීලය මෙම අර්ත්‍ථයෙහි අභිප්‍රේතවූ ශීලයෙහි ලක්‍ෂණයන් අතර ඇති කිසිවක් හා සමග නොගැලපෙති’යි හඟිමින් මෙහි ගෙනහැර නොදක්වන ලදි. එහෙයින් කියනලද නයින්ම මෙහි තුන්ආකාරබව දතයුතුය.
චතුෂ්කයන් අතුරෙන් ප්‍රථම චතුෂ්කයෙහි:
යො’ධ සෙවති දුස්සීලෙ සීලවන්තෙ න සෙවති,
වත්‍ථුවීතික්කමෙ දොසං න පස්සති අවිද්දසු
මිච්ඡාසඞ්කප්පබහුලො ඉන්‍ද්‍රියානි න රක්‍ඛති,
එවරූපස්ස වෙ සීලං ජායතෙ හානභාගියං
යො පන’ත්තමනො හොති සීලසම්පත්තියා ඉධ,
කම්මට්ඨානානුයොගම්හි න උප්පාදෙති මානසං
තුට්ඨස්ස සීලමත්තෙන අඝටන්තස්ස උත්තරිං,
තස්ස තං ඨිතිභාගීයං සීලං භවති භික්‍ඛුනො
සම්පන්නසීලො ඝටති සමාධත්‍ථාය යො පන,
විසෙසභාගියං සීලං හොති එතස්ස භික්‍ඛුනො
අතුට්ඨො සීලමත්තෙන නිබ්බිදං යො’නුයුඤ්ජති,
හොති තිබ්බෙධභාගීයං සීලමෙතස්ස භික්‍ඛුනො ති.
මේ ශාසනයෙහි යමෙක් දුසිලුන් සේවනය කෙරේද, සිල්වතුන් සේවනය නොකෙරේද, අඥාන වූ හේ තෙමේ (ශික්‍ෂාපද) වස්තුන් ඉක්මවීමෙහි දොස් නොදකී.
මිථ්‍යා සංකල්පනා බහුලකොට ඇති, ඉන්‍ද්‍රියයන් නොරකින මෙවැන්නහුගේ ශීලය ඒකාන්තයෙන් හානභාගීය වේ.
මේ ශාසනයෙහි යමෙක් වනාහි තමාගේ ශීලසම්පත්තියෙන් තෘප්තියට පත්ව කර්මස්ථානානුයෝගයෙහි සිත් නො උපදවාද,
ශීලමාත්‍රයෙන් තෘප්තව උතුරුමිනිස්දම්, උදෙසා වීර්ය නොකරන එවන් භික්‍ෂූහුගේ ඒ ශීලය ඨිතිභාගීය වේ.
ශීලසම්පන්න වූ යමෙක් වනාහි සමාධිය පිණිස වීර්ය කෙරේද, මෙවන් භික්‍ෂූහුගේ ශීලය විසෙසභාගීය වේ.
ශීලමාත්‍රයෙන් අතෘප්ත වූ යමෙක් තෙමේ විරාගය වෙත සිත යොදවාද මෙවන් භික්‍ෂූහුගේ ශීලය නිබ්බෙධභාගීය වේ.
මෙසේ හානභාගීය ආදී වශයෙන් සිවුආකාර වේ.
දෙවන චතුෂ්කයෙහි: භික්‍ෂූන් අරබයා පනවනලද, භික්‍ෂූණීන් උදෙසා පනවන ලද ශික්‍ෂාපදයන් කෙරෙන් විශේෂකොට ඔවුන් (භික්‍ෂූන්) විසින්ම රැකියයුතු ශික්‍ෂාපද, භික්‍ෂු ශීලයයි, භික්‍ෂූණීන් අරබයා පනවනලද, භික්‍ෂූන් උදෙසා පනවනලද ශික්‍ෂාපදයන් කෙරෙන් විශේෂකොට ඔවුන් (භික්‍ෂූණීන්) විසින්ම රැකියයුතු ශික්‍ෂාපද, භික්‍ෂුණී ශීලයයි. සාමණෙර සාමණෙරීන් විසින් රැකියයුතු, දශශීලය අනුපසම්පන්නශීලයයි. උවසු උවැසියන් විසින් නිරන්තරයෙන් රැකියයුතු සිකපද පසද, උත්සාහ ඇතොත් රැකියහැකි සිකපද දසයද, උපොසථාංග වශයෙන් රැකියහැකි සිකපද අටද යන මේ ගෘහස්ත ශීලයයි, මෙසේ භික්‍ඛුසීලාදි වශයෙන් සිවුආකාර වේ.
තුන්වන චතුෂ්කයෙහි: උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන් විසින් ස්වභාව වශයෙන්ම රැකෙන ශීලය ප්‍රකෘතිශීලයයි, ඒ ඒ කුල පරම්පරාවන්, ඒ ඒ දේශයන්, ඒ ඒ ලබ්ධිකයන් විසින් තමතමනට ආවේණික සීමාවනට අනුව පවත්වාගෙන ආ චාරිත්‍ර විධි ආචාරශීලයයි, ‘ආනන්‍දය, බොධිසත්‍ව කෙනකු මව් කුස පිළිසිඳගත් තැන් පටන් එම බෝධිසත්‍ව මාතාවට පුරුෂයන් කෙරෙහි කාමගුණයෙන් යුතු සිතක් පහළ නොවීම ධර්මතාවෙකි’1 යනුවෙන් කියනලද බෝධිසත්‍ව මාතාවගේ ශීලය ධර්මතා ශීලයයි, මහාකාශ්‍යපාදී ශුද්ධසත්‍වයනටද, බෝධිසත්‍වයනටද, ඒ ඒ ජාතියෙහි සහජයෙන් පිහිටන ශීලය පූර්වහේතුක ශීලයයි, මෙසේ ප්‍රකෘතිශීලාදී වශයෙන් සිවුආකාර වේ.
සිවුවන චතුෂ්කයෙහි: මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරශීලයෙන් සංවෘත වූයේ, ආචාරගොචර සම්පන්නවූයේ ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුලු වූයේ ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙමින් වාසය කරයි’2 යනුවෙන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරන ලද්දේ ද, මෙම ශීලය ප්‍රාතිමොක්‍ෂ සංවරශීලයයි, ‘ඒ භික්‍ෂු තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් ග්‍රහණය නොකරයි, විසිතුරු ලකුණු වශයෙන් ග්‍රහණය නොකරයි. යම් ග්‍රහණයක් හේතුකොටගෙන අසංවෘත වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇතිව වාසය කරන්නහු කරා අභිද්‍යා දෞර්මනස්‍ය ආදී පවිටු අකුශල ධර්මයෝ ගලා එත්ද, එයින් වැලකීම පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය රැකගනියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා, -පෙ- නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට දිවෙන් රසයක් විඳ, -පෙ- කයින් පහසක් විඳ, -පෙ- මනසින් ඥෙය්‍ය ධර්මයක් දැන, නිමිති වශයෙන් ග්‍රහණය නොකරයි විසිතුරු ලකුණු වශයෙන් ග්‍රහණය නොකරයි -පෙ- මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ’3 යනුවෙන් යමක් වදාරන ලද්දේ ද, මෙය ඉන්‍ද්‍රියසංවරශීලයයි. ජීවිකාව පිළිබඳව පනවන ලද ශික්‍ෂාපද සය ඉක්මවීම් වශයෙන්ද, ලාභ හේතුවෙන් වංචනික ක්‍රියාවල යෙදීම, චාටුබස් බිණීම, ඉඟියෙන් පැවසීම, අනුන් ගුණ මැකීම, පැහැරගනු රිසිවීම යන මේ පාප ස්වභාවයන්ගේ වශයෙන්ද, පවත්වනු ලබන මිථ්‍යාජීවයෙන් වැලකිම ආජීව පාරිශුද්ධි ශීලයයි, ‘නුවණින් මෙනෙහි කොට සිවුරු පරිභොග කරයි, හුදෙක් ශීතය වැලකීම පිණිස’4 ආදී වශයෙන් කියනලද ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පිරිසිදුව සිවුපසය පරිභොග කිරීම ප්‍රත්‍යයසන්නිශ්‍රිත ශීලයයි." [දිගට ම කියවන්න.]
# "සීල නම් කිම:
සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍රම, යන මේ ය.
වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[1] යි.
(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)
තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)
(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍රය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[2] යනාදීන් වදාළ හෙයිනි.
(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[3] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[4] යනාදි දේශනායෙහි සති සංවරය ද,
“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)
සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි
පඤ්ඤායෙතෙ පිථියරෙ”[5]
යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[6] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[7] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍රයන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.
(4) අව්‍යතික්‍රම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.
“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.
2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද
සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍රතිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍රපඤ්ච (විස්තර) කෙරෙත්.
කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද
යනු මෙතෙකින් විසඳන ලද්දේ යි."