118. මස් මාළු වෙළදාමේ විපාක මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තථාගතයන් වහන්සේ  වණිජ්ජා සූත්‍රයේ දී මස් පිණිස සතුන් වෙළෙඳාම උපාසකයන් විසින්  නොකළ යුතු බව වදාළ සේක. මස් පිණිස සතුන් වෙළෙඳාම් කිරීමේ අකුසලය නිසා ලැබෙන  විපාක මොනවාදැයි සඳහන් වුනු තැනක් තිබෙනවා ද?

A. {“මංසවණිජ්ජා යනු ඌරුමුව ආදීන් පොෂණය කොට ඔවුන් විකිණීමයි”
[“මංසවණිජ්ජාති සූකරමිගාදයො පොසෙත්වා තෙසං වික්කයො.”]

මංසවණිජ්ජා යනු සත්ත්ව ඝාතකාදීන් මෙන් (වධක චේතනාවෙන්) මුව-ඌරු ආදී සතුන් පොෂණය කොට, උන්ගේ මස් සම්පාදනය (උන්ව මස්) කර විකිණීමයි.
“සූකරමිගාදයො පොසෙත්වා තෙසං වික්කයොති සූකරමිගාදයො පොසෙත්වා තෙසං මංසං සම්පාදෙත්වා වික්කයො.”
[“මංසවණිජ්ජාති සූනකාරාදයො විය මිගසූකරාදිකෙ පොසෙත්වා මංසං සම්පාදෙත්වා වික්කයො.”

අකුසල් විපාක එක එල්ලේ ම සඳහන්වන තැනක් නැති බවක් පෙනෙන නමුත්, හිංසනික සිතුවිලි-ක්‍රියා (හිංසාව / විහිංසාව) හේතු-භූත වන නිසාවෙන් එසේ නොකළ යුතු බව ටීකාව* පවසන බැවින්, “මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.”** යැයි හිංසාවේ අකුසල් විපාක ගැනීම සාධාරණය.

*“මංසවිසවණිජ්ජා වධහෙතුතො” – [“මංසවණිජ්ජා වධහෙතුතො”]

**‘‘ඉධ , මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං විහෙඨකජාතිකො හොති, පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති බව්හාබාධො හොති. බව්හාබාධසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.”

"ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි. මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි."
"සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.
ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති."

T. {- ප්‍රාණඝාතයේ අකුසල් විපාක ද ඇතුළත් කළ හැකිබව අමුතුවෙන් ම කිව යුතු නැත :-

“ප්‍රාණඝාත කර්මයාගේ විපාක.

කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll