161. මහබඹාත් වැන්දා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සුනීත ස්වාමීන් වහන්සේට මහා බ්‍රහ්මයා ඇවිත් වඳින අවස්ථාව ධර්මය තුළ තියෙන තැන link එකක් දෙන්න පුලුවන්ද?

A. “උත්තම පුරුෂය ඔබට නමස්කර වේවා” කියා සක්දෙව් රජද මහා බ්‍රහ්මයාද පැමිණ මට නමස්කාර කළාහුය."

“629. ‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා. යම්හෙයෙකින් ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද (එහෙයින්) දක්‍ෂිණාර්‍හ වෙහි’යි ඇඳිලි බැන්දාහු මට නමස්කාර කළහ.”

628.“තතො ¶ රත්‍යාවිවසානෙ, සූරියුග්ගමනං පති; (ජා• 1.11.79);
ඉන්දො බ්‍රහ්මා ච ආගන්ත්වා, මං නමස්සිංසු පඤ්ජලී.

[“බ්‍රහ්මාති මහාබ්‍රහ්මා.”

{629. < දෝෂයක් ඇත.}

A. "සුනීතගේ කථාව,

පෙර බුදුවරුන්ගේ සසුන්වල නිවන් පතා නොයෙක් පින්කම් කළ පුද්ගලයෙක් බුද්ධශූන්‍යකාලයක දී මිනිස්ලොව කුලගෙයක ඉපද වැඩිවිය පැමිණ බාලජනයන් හා එකතුව සෙල්ලමින් කල් යවන්නේ ගමෙහි පිඩුසිඟා වඩනා පසේබුඳු කෙනෙකුන් දැක ‘ඇඟ සැම තැන වණ සෑදුණු එකකු මෙන් මුළු සිරුර වසා පොරවා ගෙන ඔබ කුමට පිඬු සිඟන්නෙහි ද? මිනිසකු විසින් ගොවිකම් වෙළඳාම් ආදියෙන් දිවි පැවැත්විය යුතු නො වේ ද? ඔබට ඒවා කරන්නට බැරි නම් ගෙවල මලමුත්‍රාදිය ඉවත් කරමින් ගෙවල පිළිකනු ශුද්ධකිරීමෙන්වත් ජීවත් වන්නය’ යි උන්වහන්සේට අපහාස කෙළේ ය.

ඔහු ඒ පවින් බොහෝ කලක් නරකයෙහි පැසී අවශේෂ කර්මයෙන් මිනිස්ලොව ජාති සිය ගණන් සැඩොල් කුලයෙහි ඉපද අවසානවරට අප බුදුරදුන්ගේ කාලයේ රජගහනුවර සැඩොල් පවුලක උපත ලැබුවේ ය. ඔහු සුනීත නම් විය. ඔහු සෑහෙන පමණට අහාරයකුදු නො ලබමින් නගරයේ කසල ඉවත් කරමින් තමා පහත් කොට සලකන පිළිකුල් කරන සෙස්සන්ට යටහත් බව දක්වමින් වඳිමින් ඉතා දුකින් ජිවත් විය. එහෙත් ඒහිභික්ෂුභාවයෙන් පැවිද්ද ලැබීමට නිසි, රහත්වීමට නිසි, දේව බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට නිසි පින් ඔහුට ඇත්තේ ය. ඒ බව අන්‍යයන් තබා ඔහු ද නොදන්නේ ය.

එක් දිනක මහාකරුණාසමාපත්තියෙන් නැඟී ලොව බලා වරදන්නා වු තථාගතයන් වහන්සේට සුනීත පෙනිණ. ඔහුගේ පුණ්‍ය සම්පත්තිය ද පෙනිණ. තථාගතයන් වහන්සේ ඔහුට පිහිට වනු පිණිස භික්ෂුසංඝයා ද සමඟ රජගහනුවර සුනීත පිරිසිදු කරන විථියට පිඬු සිගා වැඩි සේක. කසළ කදක් කර තබා ගෙන වන සුනීතට පෙර මඟ බුදුරදුන් වඩිනු පෙනිණ. සැමට ම යටත්ව සැමටම අයින් වී යන සුනීතට ලෝකාග්‍ර වු බුදුරදුන් වඩනා කල්හි අයින් වී යාමට තරම් චිත්ත ශක්තියන් නො විණ. බුදුරදුන් මුණ නො ගැසෙන ලෙස පළා යාමට මඟක් ද නො තිබිණ. ඔහු කලබල වී කළ හැකි දෙයක් නැත්තෙන් කසළ කද පසෙක තබා බිත්තියකට හේත්තු වී වැඳ ගෙන සිටියේ ය. තථාගතයන් වහන්සේ ඔහු සමීපයට පැමිණ, ‘සුනීත’ යි අමතා ඔහු ධෛර්‍ය්‍යමත් කොට ‘නුඹට මේ දුක්ඛ ජීවිකාවෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට පැවිදිවන්නට නරකදැ’ යි අසා වදාළ සේක. තථාගතයන් වහන්සේ වචනය අසා සුනීත කිසි කලෙක නො ලැබූ තරම් ප්‍රීතියක් ලබා ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා වැනි අයටත් පැවිද්ද ලැබිය හැකි නම් මා පැවිදි නොවන්නේ කිම්ද? භාග්‍යවතුන් වහන්ස මා පැවිදි කරනු මැනව’ යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ ‘ඒහි භික්ඛු’ යි වදාළ සේක. ඒ වචනයෙන් සුනීත පැවිද්ද හා උපසම්පදාව ලැබ පෙර පිනෙන් පහළ වු සිවුරු හැඳ පොරොවා සියවස් ගත කළ මහතෙර කෙනෙකුන් සේ සුන්දර ශ්‍රමණාකල්පයෙන් තථාගතයන් වහන්සේ සමීපයේ සිටියේ ය.

ඉක්බති තථාගතයන් වහන්සේ සුනීත භික්ෂුව විහාරයට කැඳවා ගෙන ගොස් කමටහන් දුන්හ. හෙතෙමේ විවේකස්ථානයකට එලඹ තථගතයන් වහන්සේ දුන් උපදෙස් අනුව භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා අනතුරු ව විදර්‍ශනා කොට සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. රහත් වු සුනීත තෙරුන් වහන්සේ වෙත ශක්‍රයා ද බ්‍රහ්මයෝ ද බොහෝ දෙවියෝ ද පැමිණ-

‘නමො තෙ පුර්සාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම,

යස්ස තෙ ආසවා ඛීණා - දක්ඛිණෙය්‍යො’ සි මාරිස’

යනුවෙන් පුරුෂාජානීයයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! නිදුකාණන් වහන්ස, ඔබගේ ආශ්‍රවයෝ ක්ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසු වූවහුය යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කළෝ ය.

(ථෙරගථා අට්ඨකථා 540)

ඇතැම්හු අතීතයෙහි කළ බොහෝ පව්කම් ඇත්තෝ ද සමහර විට මහත් යස ඉසුරෙන් මහා සම්පත්තියෙන් කල් යවති. ඔවුන්ගේ පව්කම් ඇති බව ඔවුහු ද නො දනිති. සෙස්සෝ ද නො දනිති. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේ චරිත දන්නාහ.

අධිමුක්තිය පස්වන තථාගත බලය විස්තර කිරීමේදී කියැවිණ. අධිමුක්ති දැනීම වෙන ම තථාගත බලයක් ව තිබියදී මේ ඉන්ද්‍රියපරෝපරියත්තඤණයට එය නැවත ඇතුළු කොට දක්වා තිබෙන්නේ ඉන්ද්‍රයයන්ගේ තත්වය අනුව ද අධිමුක්තිය දැනෙන බැවිනි.

ලෝභ දෝස මෝහ මාන දිට්ඨී විචික්ච්ඡා ථින උද්ධච්ච අහිරික අනොත්තප්පය යි ක්ලේශ නම් වු ධර්ම දශයක් ඇත්තේ ය. දූවිල්ල වැටුණ හොත් එයින් ඇස වැසෙන්නාක් මෙන් යමෙකුගේ සන්තානයෙහි රාගාදි කෙලෙසුන් උපදිත හොත් ඒවායින් ඔහුගේ නුවණැස වැසෙන්නේය. එබැවින් කෙලෙසුන්ට දූවිලිය යි ද කියනු ලැබේ. ඇතමුන්ට නිතර කෙලෙස් ඇති නො වේ. ඇති වන කෙලෙස් ද ඝනව ඇති නො වේ. ඔවුහු නුවණැසෙහි කෙලෙස් රජස් අධික ව නැති බැවින් අප්පරජක්ඛ නම් වෙති. ධර්මයෙන් ඈත් ව වෙසෙන සත්පුරුෂ සේවනයක් නැති ව වෙසෙක ඇතැමුන්ට නිතරම කෙලෙස් ඇති වේ. ඇතිවන කෙලෙස් ද ඉතා ඝනව ඇතිවේ. කෙලෙස් දූවිල්ලෙන් වැසී ගිය නුවණැස ඇති ඔවුහු මහාරජක්ඛ නම් වෙති. තථාගතයන් වහන්සේ අල්පරජස්කයන් ද දන්නාහ. මහාරජස්කයන් ද දන්නාහ.

සද්ධින්ද්‍රිය - විරියින්ද්‍රිය - සතිධින්ද්‍රිය - සමාධින්ද්‍රිය - පඤ්ඤින්ද්‍රිය කියා මඟපල ලැබීමට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම පසක් ඇත්තේ ය. නැවත නැවත සේවනය කිරීමෙන් තමන්ගේ සන්තානයෙහි නිතර නිතර ඇති කර ගැනීමෙන් දියුණු කර ගන්නා ලද ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තෝ තික්ඛින්ද්‍රිය නම් වෙති. එසේ ඉන්ද්‍රියයන් දියුණු කර නො ගත්තෝ මුදුන්ද්‍රියයෝ නම් වෙති. තථාගතයන් වහන්සේ තික්ඛින්ද්‍රිය වු ද මුදුන්ද්‍රිය වු ද සත්ත්වයන් දන්නාහ.

යහපත් වු ආශය චරිත අධිමුක්ති ඇත්තා වු අල්ලරජස්ක වු තියුණු ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ඇත්තා වූ සත්වයෝ ස්වාකාර නම් වෙති. ලාමක වු ආශය අනුශය චරිත අධිමුක්ති ඇත්තා වූ මහාරජස්ක වු නො දියුණූ ඉන්ද්‍රිය ඇත්තා වු සත්වයෝ ද්වාකාර නම් වෙති. තථාගතයන් වහන්සේ ස්වාකාර ඇත්තා වූ ද ද්වාකාර ඇත්තා වු ද සත්ත්වයන් දන්නාහ.

ස්වාකාර ඇත්තා වු සත්ත්වයනට හොඳ නරක තේරුම් කරදීම, ස්කන්ධාදි ගැඹුරු ධර්ම තේරුම් කර දීම පහසු ය. එබැවින් ඔවුහු සුවිඥාප්‍ය නම් වෙති. ද්වාකාර ඇත්තා වු සත්ත්වයනට හොඳ නරක තේරුම් කර දීම, ගැඹුරු ධර්ම තේරුම් කර දීම අපහසු ය. ඔවුහු දුර්විඥාප්‍ය නම් වෙති. තථාගතයන් වහන්සේ සුවිඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ. දුර්විඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ.

දහම් ඇසීමෙන් භාවනාවෙහි යෙදීමෙන් වර්තමාන භවයෙහිදී ම මඟපල ලැබීමට සුදුසු පුද්ගලයෝ ද ඇත. ඔවුහු භව්‍ය නම් වෙති. කොතෙක් දහම් ඇසුව ද කෙතෙක් භාවනා කළ ද ඒ භවයේදී මඟපල ලැබිය නො හෙන පුද්ගලයෝ ද ඇත. ඔවුහු අභව්‍ය නම් වෙති.

“යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සඬා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මේසු සම්මත්තං ඉමෙ තෙ සත්තා අභබ්බා”

(විභඬ්ග පාළි 267)

කර්මාවරණය ඇති, ක්ලේශාවරණය ඇති, විපාකාවරණය ඇති, ශ්‍රඬාව නැති, මඟපල ලැබීමේ ඕනෑකම නැති, නුවණ නැති, කුශලධර්මවිෂයෙහි සම්මත්තනියාම නම් වු ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට සුදුසුකම් නැති සත්ත්වයෝ අභව්‍යයෝය යි එයින් දක්වන ලදී.

මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලොවුතුරා බුදුන්ගේ ශරිරයෙහි ලේ ඉපදවීම, සංඝයා භේද කිරීම යන දෙවන ජාතියේ විපාක දීමෙහි නියත කර්ම පස අතුරෙන් යම්කිසිවක් කළ පුද්ගලයකුට ඒ ආත්මභාවයේදී මඟපල නො ලැබිය හැකි ය. ඒවා ලෝකෝත්තර මාර්ගය ආවරණය කරන කර්මයෝ ය. කර්මාවරණය යි කියනුයේ ඒ කර්ම පසට ය. නාස්තික අහේතුක අක්‍රිය යන නම් ව්‍යවහාර කරන කර්මය හා කර්මඵලය ප්‍රතික්ෂේප කරන දෘෂ්ටි තුනෙන් යම්කිසි දෘෂ්ටියක් ගෙන සිටින්නහුට ඒ ජාතියේදී මඟපල නො ලැබිය හැකි ය. එය ලෝකෝත්තර මාර්ගය වසන ක්ලේශයෙකි. එබැවින් එය ක්ලේශාවරණ නම් වේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපනුන්ට ඒ ජාතියේදී මගපල නො ලැබිය හැකි ය. ප්‍රතිසන්ධිය කර්ම විපාකයකි. ලෝකෝත්තර මාර්ගය වසන විපාකයක් බැවින් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධිය විපාකාවරණ නම් වේ.

ආවරණය කරන ආනන්තය්‍යීකර්ම නැති, ආවරණය කරන නියත මිථ්‍යාදෘෂ්ටිසංඛ්‍යාත ක්ලේශය නැති, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇති, ශ්‍රඬාව ඇති, බලවත් ජන්දය ඇති, නුවණ ඇති, පෙර පින් ඇති පුද්ගලයෝ ඒ ජාතියේ මඟපල ලැබීමට භව්‍යයෝ ය. සුදුස්සෝ ය. තථාගතයන් වහන්සේ මොවුහු භව්‍යයෝ ය, මොවුහු අභව්‍යයෝ යයි භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නාහ.

අන්‍ය සත්තවයක්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා වූ ද අල්පරජස්ක, මහාරජස්ක, තීක්ෂණේන්ද්‍රිය, මෘද්වින්ද්‍රය, ස්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නා වූ නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණ නම් වු තථාගත බලය ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll