Q. ධර්මාශෝක රජතුමා විසින් එවන ලද බුදු රජාණන් වහන්සේ ගේ පාත්‍රයක් වූ ධාතුන් වහන්සේලා දැන් කොහෙද?
A. පාත්‍රා ධාතූන් වහන්සේ හා උන්වහන්සේ පුරවා ලූ අනෙකුත් ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් (අපට) නිශ්චිත - නිවැරදි - ඍජු මූලාශ්‍ර ලබා දිය නොහැකි බැවින් ද, ඒ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඇති බැවින් ද, මේ පිළිබඳව (අප හට, ඔබ වෙත) එක එල්ලේ පිළිතුරු සැපයිය නොහැක.
විස්තරාත්මක විවරණයන් දැන ගැනීමට කැමති නම්, පහත උපුටන (උපුටා ගැනීම් තුන) පරිශීලනය කරන්න!
S. # උපුටා ගැනීම - අංක 01.
"පාත්‍ර ධාතුව/පාත්‍රා ධාතුව.
බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන “පාත්‍ර ධාතුව/පාත්‍රා ධාතුව” නම් වේ. බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්‍ර කිහිපයක් භාවිතා කර ඇති බව පෙනෙයි.
මහ බෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර භාවිතා කළ මැටි පාත්‍රයක් ගැනත් රන් තලියක් ගැනත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. මහ බෝසතුන් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබාගත් දිනයෙහි ඝටීකාර බ්‍රහ්ම රාජයා බෝසතුන්ට අටපිරිකරක් පිදුවේය. ඒ තුළ වූයේ මැටි පාත්‍රයකි. මෙය උන් වහන්සේ පරිහරණය කළ මුල් ම පාත්‍රය යි. සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පරිභෝග කළේ ඝටීකාර බ්‍රහ්ම රාජයා පිදූ මේ මැටි පාත්‍රය යි. සිටුදියණිය කිරිපිඬු පූජා කරන කල්හි මේ මැටි පාත්‍රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.
මෙයට පසුව මහ බෝසතුන් දන් වැළඳූ බඳුනක් ගැන සඳහන් වන්නේ බෝසතුන් බුදුවීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී ය. එහි දී සුජාතා සිටුදියණිය මහ බෝසතුන්ට රන් තලියකින් කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා! බුදු නොවේ නම් යටි ගං බලා යේවා!” යි කියා අදිටන් කොට රන් තලිය ගඟට දැමුවේය. තලිය ක්‍රමයෙන් ගඟ මැදට ගියේය. ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං ගොස් නදියේ ගිලී ගියේය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග රාජ භවනට ගියේය. මෙසේ අප බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කළ තලි තුන ද ඒ නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇත.
මෙයට පසුව නැවත වරක් පාත්‍ර ධාතුවක් ගැන සඳහන් වන්නේ බුදුරදුන් බුද්ධත්වයට පත්වී සත් වැනි සතිය අවසානයේ දී ය. බුදුහු බුද්ධත්වයට පත් වී සත් වැනි සතිය “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටි සේක. ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ට බැදපු සහල් පිටි හා මී පැණි යොදා කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූහ. බුදුරදුන්ට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවීය.
මේ බව දුටු සතරවරම් දෙව්රජ දරුවෝ ඉන්ද්‍රනීල මාණික්‍ය පාත්‍ර සතරක් බුදුරදුන්ට පූජා කළහ. බුදුහු එය ප්‍රතික්‍ෂේප කළහ. ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවෝ ගල් පාත්‍ර සතරක් බුදුරදුන්ට පිළිගැන්වූහ. බුදුහු දෙව්රජ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගල් පාත්‍ර සතර පිළිගත්හ. පිළිගෙන ඒ පාත්‍ර සතර එකපිට එක තබා පාත්‍ර සතර එකක් වීමට අදිටන් කළසේක. එය එසේ ම විය. බුදුහු ඒ ගල් පාත්‍රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්‍රයෙනි. එබැවින් මේ පාත්‍ර ධාතුව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම ඉතා වැදගත් වෙයි.
බුදුරදුන් ගේ මේ පාත්‍ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්‍ර නුවර දී “පාත්‍රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇත. මේ ගැන වැඩි විස්තර සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ කඤ්චනදේවී වස්තුව කියැවීමෙන් දත හැක.
ක්‍රි. ව. 5 වැනි සියවස වන විට මේ පාත්‍ර ධාතූන් වහන්සේ පකිස්ථානයේ පුරුෂ පුරයේ (පෙෂාවෝරයේ) අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව ෆාහියන් හිමියන් තම වාර්තාවේ සඳහන් කර ඇත. එසේ ම ඒ වාර්තාවේ පාත්‍ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු දැ’යි කියාත් සඳහන් කර ඇත. එය මෙසේයි.
“බුදුන් වහන්සේ ගේ පාත්‍ර ධාතුව තිබෙන්නේත් පුරුෂ පුරයේ ය... මේ පාත්‍රයට බුසල් 1/4 ක ප්‍රමාණයේ ද්‍රව්‍ය දැරිය හැකි ය. එය විවිධ වර්ණයෙන් යුක්ත ය. එහෙත් කාල වර්ණය අවශිෂ්ට වර්ණයන් අබිබවා සිටී. පැහැදිලි ලෙස ම මේ පාත්‍රයේ ස්ථර 4ක් දැක්ක හැකිය. එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝන ය. එයින් තියුණු කාන්තියක් විහිදෙයි...”
හියුං සියං හිමියන් ද මේ පාත්‍ර ධාතුව ගැන සඳහන් කරයි. හියුං සියං හිමියන් එහි ගියේ ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසුව ය. ඒ වන විට පාත්‍ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබූ අතර පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා (ඉරාන) දේශයේ රජතුමා ගේ මාලිගාවේ ය. ඒත් මේ වන විට ඒ පාත්‍ර ධාතූන් වහන්සේ කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ’යි කිව නොහැක.
විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි මහා ස්තූපයක නටබුන් දක්නට ඇත. මේ ස්තූපය තුළ බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් තැන්පත් ව ඇතැ’යි සැලකේ. මේ මහා ස්තූපයේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සර්වඥ පාත්‍ර ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ දැක්වේ. “මධුරායං භගවතො පත්තො” යනුවෙන් එහි සඳහන් කර තිබුණත් එයට වඩා විස්තරයක් දක්වා නැත. ධර්මාශෝක මහාධිරාජයා සතුව බුදුරදුන් ගේ පාත්‍ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක මහ රජු තමා සමීපයේ තිබූ බුදුරදුන් දන් වැළඳූ ඒ පාත්‍ර ධාතුන් වහන්සේත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට දුන්නේය. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්‍ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ.
දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතු නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවා පාත්‍ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වීය.
එතැන් පටන් පාත්‍ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන් ගේ මහත් වූ පුද සත්කාර ගෞරව ලබමින් ආරක්‍ෂා විය. මේ අතර වළගම්බා රජු සමයේ දී එක් සොළියෙක් සර්වඥ පාත්‍ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. ගජබා රජු (ක්‍රි. ව. 114 – 136) ඉන්දියාවට ගොස් පාත්‍ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීය. මේ බව රාජාවලියේ දැක්වේ.
සිංහල රජ දරුවෝ දළදා වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් එක ම මැදුරක් තුළ ආරක්‍ෂිත ව තැන්පත් කර පුද පූජා පැවැත්වූහ. යමෙකුට ලංකාවේ රජ බවට පත්වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය සතුව මේ ශුද්ධ වස්තූන් දෙනම තිබිය යුතු යයි පිළිගැනීමක් විය.
බුද්ධදාස මහ රජුගේ දෙටු පුත්‍රයා වූ උපතිස්ස රජු (ක්‍රි. ව. 365 – 406) සමයේ දී ලංකාවේ දුර්භික්‍ෂයක් හා රෝග බියක් හට ගත්තේ ය. එකල්හි උපතිස්ස රජු භික්‍ෂු සංඝයා ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්‍ර‍්‍රතිමාවක් තනවා පාත්‍ර ධාතුවට පැන් පුරවා පැන් සහිත පාත්‍ර ධාතුව ප්‍රතිමාවේ දෝතෙහි තබා ඒ බුද්ධ ප්‍රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවීය.
පසුව රජු සිල් සමාදන් වී මහජනයා ද සීලයෙහි පිහිටුවා නුවර මැනවින් සරසවා භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන මහමගට බැස්සේ ය. භික්‍ෂු සංඝයා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කළහ. පසුදා හිරු නැඟෙන කල්හි මහ වැසි වැස්සේය. සියලු දුර්භික්‍ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. රටට සියලු යහපත උදා විය.
මෙයින් මහත් වූ සතුටට පැමිණි උපතිස්ස රජු “අනාගතයේ ලක්දිව මෙවැනි දුර්භික්‍ෂයක් හා රෝග බියක් ඇති වුව හොත් මෙසේ ක්‍රි‍්‍රයා කරන්නැ’යි කියා නියෝගයක් ද කළේය. මේ කථා පුවත චූළවංශයේ දැක්වේ.
මෙසේ සිංහල රජ දරුවන් ගේ මහා සත්කාර ලබමින් ආරක්‍ෂා වූ සර්වඥ පාත්‍ර ධාතුන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක තැන්පත් ව ඇද්දැ’යි කියා නිශ්චිත ව කිව නොහැක. පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇති ස්ථානය ගැන විවිධ මත දක්නට ඇත.
දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ සර්වඥ පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැ’යි සැලකේ.
ඇතැම් ජනප්‍රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව අප ලොව්තුරා බුදුරදුන් දන් වැළඳූ පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇත්තේ ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි. ප්‍රමාණයෙන් ඒ තරම් විශාල නොවන මේ ස්තූපය බෙලිගල දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටා ඇත.
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සුප්පාරක පටුනේ (සොපාරාහි) තිබී එක් පුරාණ ස්තූපයක් හමු වී ඇත. මේ ස්තූපය ගෝතමීපුත්‍ර නමැති රජෙකු විසින් කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් සර්වඥ පාත්‍ර ධාතූන් වහන්සේ ගේ කැබලි කිහිපයක් ද තවත් බොහෝ අගනා පුරාවස්තු ද හමු වී ඇත.
අතිපූජ්‍ය හික්කඩුවේ ශශ්‍රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව මේ පාත්‍ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණි. එසේ ලැබුණු සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්‍රදර්ශනය කර ඇත. මේ වන විට එම පාත්‍ර ධාතූන් වහන්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මැදුරේ උඩ ඇති පාත්‍ර ධාතු මන්දිරයේ ආරක්‍ෂිත කරඬුවක් තුළ වැඩ සිටිති.
මේ භික්‍ෂා පාත්‍ර ධාතු කොටස ප්‍රමාණයෙන් අඟලකට වඩා විශාල නැත. අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පාත්‍ර ධාතුන් වහන්සේ බොහෝ කලකට පසුව 2007 වසරේ දී මෙන් ම මේ වසරේ දී ද වෙසක් පොහොය වෙනුවෙන් දින කිහිපයක් මහජනයා සඳහා ප්‍රදර්ශනය කළ අතර අතිවිශාල ජනකායක් ඉතා දුර්ලභ වූ මේ ශුද්ධ වස්තුව සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට විද්‍යොදය පිරිවෙණට පැමිණියහ.
මෙසේ බුදුරදුන් දන් වැළඳූ පාත්‍ර කිහිපයක් ගැන ධර්ම ග්‍රන්‍ථයන්හි සඳහන් ව තිබුණත් ලංකාවාසීන් වන අපට දැනට සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට ඇති පාත්‍ර ධාතූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ වැඩ සිටින මේ පාත්‍ර ධාතූන් වහන්සේය.
ගයාන් චානුක විදානපතිරණ."
# උපුටා ගැනීම - අංක 02.
"බුදුන්ගේ පාත්‍ර ධාතුව තිබෙන්නේ මහනුවර ද? බ්‍රිතාන්‍යයේ ද?
රජ තෙමේ ථූපාරාමය කරවා එහි ඇතුලේ සක් දෙවිදුන් විසින් දෙන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කළේය. අනුරාධපුරයෙහි ගොඩනැංවූ පළමුවන දාගැබ මේ දාගැබ ය. ධර්මාශෝක රජු විසින් පරිත්‍යාග කරන ලද බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව ද රජ මාලිගයෙහිම තැන්පත් කොට තබන ලදී." (සංක්ෂිප්ත ලංකා ඉතිහාසය - එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් 13 පිටුව )
"උපතිස්ස (ක්‍රි.ව. 365 - 406) වැනි රජුන්ගේ කාලවල නියං සාගත ඇති වූ විට භික්ෂුන් වහන්සේලා පාත්‍ර ධාතුව ජලයෙන් පුරවා පිරිත් කියමින් ඇතුළු නුවර පවුරු වටේ සංචාරය කළ බවත් එයින් පසු සියලු රෝග නිමා කරමින් වැසි වට බවත් වංශකතාව දක්වයි." (ඉතිහාස තරංග - ඉන්ද්‍රකීර්ති සිරිවීර 53 පිටුව )
අපගේ වංශකතා, සාහිත්‍ය හා බෞද්ධ පතපොත එසේ දැක්වූ බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව අද ඇත්තේ කොහිදැයි විමසා බැලෙන ලිපියකි.
අද දළදා සමිදුන්ගේ දන්ත ධාතුව මහනුවර දළදා මාලිගාවේ වඩා හිදුවා සිටී. එය දළදා ප්‍රදර්ශනයකදී ජනතාවට දැක බලා ගත හැකිය. එහෙත් බුදුන් වහන්සේ භාවිත කළ පාත්‍රය අද අදෘශ්‍යමානය. එය ඇත්තේ කොහිද?
බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව ලක්දිවට ගෙන ආවේ දෙවන පෑතිස් රජ සමයේ සුමන සාමනේර හිමියෝ ය. උන්වහන්සේ මිහිඳු හිමියන්ගේ බෑණා ය. සංඝමිත්තා තෙරණිය පැවිදි වීමට පෙර අග්ගිදත්ත කුමරු හා විවාහ වී සිටියදී ඒ දෙපළට ලද දරුවාය. ධර්මාශෝක රජුගේ මුනුපුරෙකි. උන්වහන්සේ මිහිඳු හිමියන් සමග පොසොන් පෝදා ලක්දිවට පැමිණි දූත පිරිසේ අයෙකි. පාත්‍ර ධාතුව වැඩම කරවීමේදී සිදු වූ හාස්කම් මහාවංශයේ සදහන් වෙයි.
කිත්සිරිමෙවන් රජ සමයේ අභයගිරිවාසීන් සතුව තිබූ දළදා හිමි සහ පාත්‍ර ධාතුව මෙරට පූජනීයම වස්තු විය.
මේ පූජනීය වස්තු දෙක සතු වීම එදා රාජ්‍ය අයිතිය ලබා ගැනීමට අවශ්‍ය මූලික දෙය විය. එබැවින් රජ මැදුර අසලම දළදා මැදුර ඉදි කිරීම ඇරඹිණි. දැඩි මුරකාවල් යොදා මේ පූජනීය වස්තු දෙකම රැක ගැනිණි.
දළදා හිමි සහ පාත්‍ර ධාතුව සුගලා රැජනගෙන් ලබා ගැනීමට මහා පරාක්‍රමබාහු රජු කළ සටන් විස්තරය චූල වංශයේ දැක්වෙයි. පොලොන්නරුව වනසා බලය ලබා ගත් මාඝ (ක්‍රි.ව.1215 - 1235) සමයේදී දළදා වහන්සේගේ පාත්‍ර ධාතුව රහසිගතව කොත්මලේ මල්නෑව විහාරයේ සඟවා තිබිණි. ක්‍රි.ව. 1234 - 1269 අතර කාලයේ දඹදෙණිය රජ කළ දෙවන පරාක්‍රමබාහු රජු මේ පූජනීය වස්තු දෙක සිය රාජධානියට වැඩම කරවීය.
දළදා වහන්සේ පිළිබඳව ඉන් පසුව වංශකතාවල සදහන් කළද කෝට්ටේ යුගය ඇරඹෙන තුරු පාත්‍ර ධාතුව පිළිබඳව තොරතුරු සදහනක් නැත.
කෝට්ටෙන් පසු මෙරට රාජ්‍ය පාලනය සෙංකඩගලපුරයට මාරු වෙයි. එහෙත් සීතාවක දෙල්ගමු විහාරයේ සිට 1592 දී සෙංකඩගලට වැඩම කළේ දළදා හිමි බව "දළදා පුවත" සහ "සිංහල දළදා වංශය" සදහන් කරයි. ඒවායේ පාත්‍ර ධාතුව ගැන විස්තරයක් නැත.
කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු හෝ දොන් ජුවන් ධර්මපාල රජ වන තුරු කෝට්ටේ දළදා හිමි සමග දළදා මැදුරේ එකට වැඩ සිටි පාත්‍ර ධාතුව ගැන සදහනක් නැත. හිරිපිටියේ රාල වර්ෂ 1557 දී කෝට්ටේ සිට සීතාවකට වැඩම කළේ දළදාව පමණකි.
සපුමල් කුමරු 1470 දී කෝට්ටේ රාජධානියට පහර දී ජයබාහු මරා රජ වූ පසු අවුල් වූ රාජධානියෙන් දළදා හිමි දෙල්ගමුවට වැඩම කළ බව සදහන් වෙයි. මේ අවදියේදී දළදා මැදුරේ තිබූ පාත්‍ර ධාතුව උඩරටට ලැබුණේද ? එසේ නම් විය යුත්තේ කෝට්ටේ ආරවුල් නිසා රහසිගතව හෝ යුද උපාය මාර්ගයකින් එය වීරවික්‍රම රජුට ලැබීමය. එහෙත් ඒ පිළිබඳ විස්තරයක් ද සඳහන්ව නැත.
"රාජරත්නාකරය" සහ "චූලවංශය" සදහන් කරන්නේ වීරවික්‍රම රජු සෙංකඩගල පුරවරයේ රජ මැදුරට නුදුරු දාගැබක පාත්‍ර ධාතුව නිදන් කළ බවය. සෙංකඩගල පුරයේ වීරවික්‍රම නම් රජෙකු ගැන ඉතිහාසය සදහන් නොකරයි. මොහු කවුද? ඒ පිළිබඳව එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් සදහන් කරන්නේ ඔහු සේනාසම්මත වික්‍රමබාහු (ක්‍රි.ව. 1463 - 1471) බවය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ වීරවික්‍රම හා වික්‍රමබාහු එක් අයෙකු වීමට ද ඒ බව සැක කිරීමට ද හැකි බවය. කෙසේ වූවද නිදන් කළ පාත්‍ර ධාතුව ඇත්තේ රජ මැදුර අසල කුමන දාගැබක ද යන්න සොයා බලන විට මේ සම්බන්ධයෙන් මත කීපයක් පළවේ. වීරවික්‍රම රජු කරවූ පෝයමළු විහාරයේ ඇති දාගැබ තුළ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති බවට පළ වන මතය පළමුවැන්නයි.
දෙවැන්න , දළදා මාලිගයේ පහත මාලයේ පිහිටි කුඩා දාගැබ තුළ එය නිදන් කර ඇති බවයි.
තුන්වැනි මතය නම් එය බෙලිගල රාජමහා විහාරයේ දාගැබක නිදන් කර ඇති බවය.
සිව්වැනි මතය නම් දළදා මැදුර ඉදිරිපස ඇති දාහතර වැනි සියවසේදී ගොඩනගන ලද නාථ දේවාල භූමියේ එක සමානව ඉදි කළ දාගැබ් දෙකකින් එක් දාගැබක පාත්‍ර ධාතුව නිදන් කර ඇති බවය. නාථ දේවාලයේ එක් දාගැබක් දෘශ්‍යමානය. තවත් දාගැබක පාදමක් පුරාවිද්‍යා කැණීමකින් මෑතකදී මතු කරගෙන තිබේ.
කෙසේ වූවද වර්ෂ 1880 දී රචිත ලෝරිගේ වාර්තාවක දැක්වෙන්නේ නාථ දේවාලයේ වූ පැරණි දාගැබක් ඉංග්‍රීසි යුගයේදී බිදින ලද බවයි. ඉන් මතුකරගත් නිදන් වස්තු යළි ලබා ගත හැකි වූ බවත් එහි සදහන් වී යැයි මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියෝ පවසති. එසේ නම් පුරාවිද්‍යා කැණීම් වලින් මෑතකදී මතුකරගත් දාගැබ එසේ බිඳින ලද දාගැබ දැයි විමසිය යුත්තකි. එනමුත් එහි තිබූ නිදන් වස්තු අතර පාත්‍ර ධාතුව තිබුණු බවට කිසිදු සඳහනක් නැත.
එසේ නැතහොත් බිඳින ලද දාගැබේ තිබූ පාත්‍ර ධාතුව ඉංග්‍රීසීන් විසින් එදා (වෙනත් වටිනා කෞතුක වස්තු මෙන්) බ්‍රිතාන්‍යයට රැගෙන ගියා දැයි විමසිය යුතුය. ඒ මන්ද යත්, 1940 - 50 ගණන් වලදී මහනුවර යුගය හා උඩරට කැරැල්ල සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයේ විමර්ශනයක යෙදුණු මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන්ගේ සඳහනක් නිසාය. ඔහු "පැරණි දඹදිව හා ලංකාව " කෘතියේ සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේ දන් වැළදූ පාත්‍රය තමන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකදී දුටු බවය.
එසේ නම් ලෝරිගේ වාර්තාවේ සදහන් පරිදි නාථ දේවාලයේ බිදින ලද දාගැබේ තිබූ පාත්‍ර ධාතුව දැන් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ද යන්න විමර්ශනය කළ යුතුය.
2004 දී ලොව පුරා පැතිර ගිය පුවතකින් පැවසුණේ බුදුන් වහන්සේ පරිභෝජනය කළ පාත්‍රයක් ඇෆ්ගනිස්තානයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවය.
එදා විසාලා මහනුවර සිට කුසිනාරා නුවරට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් පාත්‍රයක් විසාලා මහනුවරුන්ට සිහිවටනයක් ලෙස ලබා දුන් බවට සහ ඔවුන් බුදුන් වහන්සේට පාත්‍රයක් පූජා කළ බවට මත පැතිර තිබිණි.
ඒ අයුරින් බලන විට අද ඇෆ්ගනිස්තානයේ තිබෙන්නේ එම පාත්‍ර දෙකෙන් එකක් විය හැකි යැයි අනුමානයක් පවතී. එය ඇෆ්ගනිස්තානයට ගියේ කෙසේද යන්න පිළිබඳව අපහැදිලි නමුත් මෙවැන්නක් සනාථ වෙයි.
බුදුන් වහන්සේගේ පාත්‍රය එදා කනිෂ්කගේ අගනුවර වූ පුරුෂ්පුත්‍ර නම් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. එම ප්‍රදේශය අද හැදින්වෙන්නේ පෙෂාවෝර් නමිනි. එම නගරය අද අයත් වන්නේ පාකිස්තානයටයි. එරට ඛයිබර් පැඩටුන් ඛාබා ප්‍රාන්තයේ විශාලතම නගරය එයයි. පුරුෂ්පුත්‍ර වෙත ගෙන ආ මෙම පාත්‍රය පසු කාලයේදී ගන්ධාර් වෙත ගෙන ගොස් තිබේ. අද ගන්ධාරය අයත් වන්නේ ඇෆ්ගනිස්තානයට වන අතර හැඳින්වෙන්නේ කන්දහාර් නමිනි.
මීට වසර දෙදහසකට පෙර එදා එය පුරුෂ්පුත්‍ර සිට ගන්ධාරයට රැගෙන එන්නට ඇත්තේ ආක්‍රමණිකයන් විසින් යැයි අනුමාන කෙරේ. විසාලා මහනුවර සිට එය පුරුෂ්පුත්‍ර වෙත රැගෙන ගොස් ඇත්තේ කුශාන් රාජ වංශයේ කනිෂ්ක අධිරාජයාය. ඔහු ක්‍රි.ව. 127 - 151 දක්වා සිය රාජධානියේ අගනුවර වූ පුරුෂ්පුත්‍ර වෙත ගෙන විත් තැන්පත් කර ඇතැයි පැවසේ.
ෆාහියන් සහ හියුං සියැන් භික්ෂුන් වහන්සේලාත් පසු කලෙක බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ කනින්හැම් 1880 - 81 අතර කාලයේ සිය කෘතිවල සදහන් කර ඇති පාත්‍රයත් ඇෆ්ගන් කෞතුකාගාරයේ ඇති පාත්‍රයත් එකක්ම දැයි යන්න තහවුරු කර ගැනීමට ඉන්දියාවේ ආචාර්ය රඝුනාත් ප්‍රසාද් සිං උත්සාහ දරා තිබිණි. ෆාහියන් වාර්තාවේ මෙසේ සදහන්ව ඇත.
"බුදුන්ගේ පාත්‍ර ධාතුව මෙහි තිබේ. පුරාණයෙහි ඉයුඑෂි හි රජෙක් මේ පාත්‍ර ධාතුව පැහැර ගෙන යනු පිණිස මහත් බල පිරිසක් කැටුව මෙරටට පැමිණියේය. රට අල්ලාගත් පසු රජතුමා සහ සේනාපතිවරු බෞද්ධයන් හෙයින් පාත්‍රය ගෙනයනු සදහා මහදන් පවත්වන්නට පටන් ගත්තේය. ත්‍රිවිධ රත්නය කෙරෙහි මහදන් පවත්වා අන්තයෙහි මහත් හස්තිරාජයෙක් සර්වාභරණයෙන් සරසා පාත්‍ර ධාතුව ඌ මතුවෙහි තැබුවේය. හස්තිරාජයා එතැන්හි බිම දන ගැසූ සෙයින් ඉදිරියට ගමන් කිරීමට ඕ හට නොහැකි විය. ඉන් පසු රෝද සතරක් පිට පිහිටුවන ලද මාහැගි රථයක් සරසවා පාත්‍ර ධාතුව එහි තබාගෙන යන්නට සැරසුනේය. රථය ගෙන යෑමට හස්තීන් අට දෙනෙක් එහි යොදවන ලද්දාහුය. හස්තීන් අට දෙනෙක් එකවර ඇද්ද නමුත් රථය සෙලවීමට බැරිවිය. පාත්‍ර ධාතුව තම සතු කිරීමට කාලය නොපැමණි බව කල්පනා කොට රජතුමා බලවත් කනස්සල්ලටද ලැජ්ජාවටද පැමිණියේය. ඒ ස්ථානයේ විහාරයක් ද දාගැබක් ද රජතුමා විසින් බන්දවා පාත්‍ර ධාතුව ආරක්ෂා කිරීම පිණිස හා සියලු දානෝපකරණ දෙවන පිණිස දායකයින් රඳවා පිටත්ව ගියේය." ( ෆාහියන්ගේ බෞද්ධ රාජධානි සහ වන්දනා ගමන් විස්තරය )
දැන් ඇෆ්ගනිස්තානයේ තිබෙන පාත්‍රය කිලෝ ග්‍රෑම් 400 ක් පමණ බරැතිය. එය එසැවීමට මිනිසුන් දහ දොළොස් දෙනෙක් අවශ්‍යය. උසින් මීටර් 4කි. විශ්කම්භය මීටර් 1.75 කි. පාත්‍රයේ ඝනකම සෙන්ටිමීටර් 18 කි. එය හොදින් මටසිළුටු වන සේ මැදි කළු ගලින් තැනුණකි. එහි බඳ වටා අරාබි අක්ෂර පේළි 7 ක් කොටා ඇත. ඉන් කියැවෙන්නේ කුමක්දැයි මෙතෙක් අනාවරණය කොට නැත. ඔප දැමූ මතුපිට මෞර්ය ගල් කැටයම් සිහිපත් කරන නෙළුම් පෙති කැටයමකි.
සැබවින්ම උපකල්පනය කළහොත් බුදුන් වහන්සේට මෙවැනි පාත්‍රයක් ඔසවාගෙන යා නොහැකිය. එබැවින් එය බුද්ධ පාත්‍රයෙහි අනුරුවක් යැයි සැලකිය හැකිය. (මෙහි ස්වරූපය අජන්තා ලෙන් බිතුසිතුවම්වල දක්නට ලැබෙන බුද්ධ පාත්‍රයකට සමානය.)
බෙලිගල
පෘතුගීසි ආක්‍රමණ සමයේදී පාත්‍ර ධාතුව රහසිගතව නිදන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී එය ඓතිහාසික බෙලිගල රජමහා විහාරයේ ස්තූපයක තැන්පත් කෙරුණු බව බෙලිගල තඹ සන්නසේ සදහන් වී තිබේ. එය සැබෑවක් නම් බුදුන්ගේ පාත්‍ර ධාතුව අද ඇත්තේ බෙලිගල විහාරය සතුවය.
කොළඹ මාලිගාකන්ද
බුදුන් වහන්සේ දන් වැළදීමට භාවිත කළ මැටි පාත්‍රයක කොටසක් අද කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ කරඩුවක තැන්පත් කර තිබේ. එය ලැබී ඇත්තේ 1882 දී බටහිර ඉන්දියාවේ සොපාරා ස්තූපයෙනි. ( එදා අපරන්ත ජනපදයේ සුප්පාරක පට්ටන නම් ස්ථානයෙනි ) එහි නිදන් කර තිබූ කරඩු පහක් තුළ තිබුණු මැටි පාත්‍රයේ කොටස් 13න් හොදම කොටස 1882 දී ඉන්දියාවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට පරිත්‍යාග කර තිබේ.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පාත්‍ර කිහිපයක්ම භාවිත කරන්නට ඇත. ඒ අතරින් සියලුම පාත්‍ර හෝ පාත්‍ර කොටස් නිදන් කර ඇති බැවින් අද අදෘශ්‍යමානය. එහෙත් විද්‍යෝදය පිරිවෙනේදී බුදුන් වහන්සේ පරිභෝජනය කළ පාත්‍රයක කොටසක් සියැසින් දැක බලා ගැනීමට පුළුවන.
දෘශ්‍යමාන අනෙක් බුද්ධ පාත්‍රය ඇත්තේ ඉතිහාසඥ ලෝරී කියන පරිදි නාථ දේවාලයේ බිඳින ලද දාගැබින් බ්‍රිතාන්‍යයට ගෙන යන ලද? හා මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන් දුටු පරිදි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදැයි විමර්ශනය කළ යුතු වෙයි.
බන්ධුල ගුණරත්න."
# උපුටා ගැනීම - අංක 03.
"බුදු රජුන්ගේ පාත්‍රා ධාතූව දැන් ඇත්තේ කවුරුන් සතුව ද?
ඈත අතීතයේ ලංකාවේ රාජ්‍යත්වය ලබාගන්නා තැනැත්තා රාජ්‍යත්වය ලැබීමට සුදුසුකම් සපුරා ඇති බවට සැලකුණේ ඔහු හෝ ඇය සතු ව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තිබිණි නම් පමණක් බව අපි අසා ඇත්තෙමු. වර්තමානය වන විට පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොවේ. මෙම ලිපියෙන් පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන බවට සැලකෙන ස්ථාන පිළිබඳ ව ඇති මත කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.
පාත්‍රය යනු කුමක්ද සහ එහි ඇති වැදගත්කම
බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා දන් වැළඳීමට, එනම් ආහාර ගැනීම සඳහා භාවිතා කරන බඳුන පාත්‍රය ලෙස හැඳින්වෙයි. එය දාන මානාදියෙහි දී සංඝරත්නයට පූජා කරන ලබන අට පිරිකරට ද ඇතුළත් පූජා භාණ්ඩයකි. අතීතයේ දී මැටියෙන් කළ පාත්‍ර වර්තමානය වන විට බොහෝ විට ලෝහයෙන් සාදන බව පෙනී යයි.
බුද්ධ ශාසනෙයහි පැවිදි බව ලබන තැනැත්තකු සතු විය යුතු අල්ප වස්තූන් අතරට පාත්‍රය එක්කොට තිබීම පාත්‍රය භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවලින් එකක් බව මනාව පිළිබිඹු කරන්නකි. පාත්‍රයක් නොදරන අයකු පැවිදි නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබීම, පාත්‍රය භික්ෂූ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බව තවදුරටත් තහවුරු කරයි.
බුදුරජාණන් වහන්සේ භාවිත කළ පාත්‍ර
බුදුරජාණන්වහන්සේ ස්වකීය ජීවිත කාලය තුළ පාත්‍ර කිහිපයක් භාවිත කර ඇති බව පෙනී යයි. උන්වහන්සේ බුදු බව ලබා ගැනීමට පෙර භාවිත කළ මැටියෙන් තැනූ පාත්‍රයක් පිළිබඳත්, රනින් කළ (රන්මුවා) තලියක් පිළිබඳත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ.
සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබා ගත් දිනයෙහි ඝටීකාර නම් බ්‍රහ්ම රාජයා උන්වහන්සේට අටපිරිකරක් පූජා කළ අතර ඒ තුළ වූයේ මැටියෙන් තැනූ පාත්‍රයකි. ඒ අනුව සිදුහත් බෝසතුන් පැවිදි දිවිය තුළ දී පරිහරණය කළ මුල් ම පාත්‍රය එය වූ අතර සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා උන්වහන්සේ පරිභෝග කළේ ඝටීකාර බ්‍රහ්ම රාජයා පූජා කළ මේ මැටි පාත්‍රය යි. නමුත් සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාවේ දී මේ මැටි පාත්‍රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.
කාලනාග නම් රාජ භවනේ තැන්පත් කර ඇති පාත්‍ර
ඉන් අනතුරුව බෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී එහි පැමිණි සුජාතා සිටු දියණිය උන්වහන්සේට රන්මුවා තලියක තබා කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !” යි කියා අධිෂ්ඨාන කොට රන් තලිය ගඟට දැමූහ. තලිය ක්‍රමයෙන් ගඟ මැදට ගිය අතර ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං බලා ගොස් නදියේ ගිලී ගියේ ය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග නම් රාජ භවනට ගිය බවත් මෙසේ ගෞතම බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම සහ කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කර යැවූ තලි තුන ද එම නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇති බව බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයන් සදහන් කරයි.
පාත්‍රා ධාතුව නිර්මාණය වූ අයුරු
ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී පළමුවෙන් ම දන් වැළඳූ පාත්‍රය පිළිබද සඳහන් වන්නේ සත් වැනි සතියේ “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටීමෙන් පසු, ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු සහ භල්ලුක නම් වෙළඳ දෙබෑයන් බුදුරදුන්ට බදින ලද සහල් පිටි හා මී පැණි යොදා සකස් කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ය.
බුදුරජාණන් වහන්සේට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවූ අතර ඒ බව දුටු සතරවරම් දෙවිවරුන් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කරවූ පාත්‍ර හතරක් උන්වහන්සේට පූජා කළ හ. බුදුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළ අතර ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවන් ගලින් කළ පාත්‍ර හතරක් බුදුරදුන්ට පූජා කරඇත. දෙවිවරුන් කෙරෙහි වූ අනුකම්පාවෙන් ඒ ගල් පාත්‍ර සතර පිළි ගත් බුදුන් වහන්සේ ඒ පාත්‍ර හතර එක මත එක තබා පාත්‍ර හතර එකක් වීමට අදිටන් කළ සේක.
ඒ අනුව එම පාත්‍ර හතර එකක් බවට පත් වූ අතර බුදුරජාණන් වහන්සේ ඒ ගල් පාත්‍රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්‍රයෙනි. එබැවින් මේ පාත්‍රය පාරිභෝගික ධාතුවක් වශයෙන් මුළු මහත් බෞද්ධ ලෝකයාටම ඉතා වැදගත් වන බැවින් එය “පාත්‍ර ධාතුව” නම් වේ.
පාත්‍රා ධාතුව පිළිබඳව සඳහන් මූලාශ්‍ර
බුදුරජාණන් වහන්සේගේ මේ පාත්‍ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්‍ර නුවර දී “පාත්‍රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇති බව සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ එන කඤ්චනදේවී කතා වස්තුවෙන් හෙළි වේ.
විශාලා මහ නුවරට, දුර්භික්ෂ, රෝග සහ අමනුෂ්‍ය යන තුන් බිය පැමිණි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ට රතන සූත්‍රය උගන්වා පාත්‍ර ධාතුව ලබා දී, එහි පිර වූ පිරිත් පැන් රතන සූත්‍රය දේශනා කරමින් ඉසින ලෙස වදාළ බව පූජාවලියෙහි සඳහන් වේ.
බුද්ධ පරිනිර්වාණය සහ පාත්‍රා ධාතුවේ ස්වභාවය
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස වන විට මෙම පාත්‍ර ධාතූන් වහන්සේ පුරාණ ගාන්ධාරයේ, පුරුෂ පුරය හෙවත් පාකිස්තානයේ, පෙෂාවෝරයේ පිහිටි අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව චීන ජාතික භික්ෂුවක් වූ ෆාහියන් හිමියන් විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇත.
එම වාර්තාවේ පාත්‍ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු ද යන්නත් සඳහන් කර ඇත. උන්වහන්සේගේ වාර්තාවට අනුව මෙම පාත්‍රයට බුසල් 1/4 ක ප්‍රමාණයේ ද්‍රව්‍ය දැරිය හැකි අතර එය විවිධ වර්ණයෙන් යුක්ත ය. කෙසේ නමුත් එහි කළු පැහැය අනිකුත් වර්ණයන්ට වඩා කැපී පෙනන බවත්, පාත්‍රයේ ස්ථර හතරක් පමණ දැකිය හැකි බවත් එහි සඳහන් වේ. අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝනකමකින් යුතු බවත් ඉන් තියුණු කාන්තියක් විහිදෙන බවත් ය.
ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසු එහි ගිය තවත් චීන ජාතික භික්ෂුවක් වූ හියුං සියං හිමියන් ද පාත්‍ර ධාතුව ගැන සඳහන් කරයි. උන්වහන්සේ එහි වැඩම කළ කාලය වන විට පාත්‍ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබී ඇති අතර පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා දේශයේ රජතුමා ගේ මාලිගාවේ බව උන්වහන්සේ සිය වාර්තාවල සඳහන් කරයි.
පාත්‍රා ධාතුව ලංකාව වැඩම කරවීම
මූලාශ්‍රයන්හි සඳහන් කරුණුවලට අනුව ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා සතුව බුදුරදුන් පරිහරණය කළ එක් පාත්‍ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇති අතර මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක රජු තමා සතුව තිබූ පාත්‍ර ධාතුන් වහන්සේත්, එම පාත්‍ර ධාතුව පුරවා සර්වඥ ධාතූන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට පූජා කළ බව කියැ වේ. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්‍ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවා ඇත.
ඉන් අනතුරු ව එවකට මෙරට රජකම් කළ දේවානම්පියතිස්ස හෙවත් දෙවන පෑතිස් රජු සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවූ බව කියැවෙන අතර පාත්‍ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වූ බවත් සඳහන් වේ.
පුලහත්ථ ඇතුළු කණ්ඩායමේ අයකු පාත්‍රා ධාතුව පැහැර ගැනීම
දෙවැනි පෑතිස් රජ දවස පටන් පාත්‍ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන්ගේ පුද සත්කාර සහ ගෞරව ලබමින් ආරක්‍ෂා වුවත් වළගම්බා රජ සමයේ දී නොසිතූ දෙයක් සිදු විය. එනම් වළගම්බා රජු සමයේ දී පුළහත්ථ ඇතුළු සත් ද්‍රවිඩයන් මෙරට ආක්‍රමණය කිරීමේ දී රජු පලා ගිය අතර එහිදී එම සත් දෙනාගෙන් එක් අයකු ද පාත්‍ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගොස් තිබේ.
පාත්‍රා ධාතුව නැවැත මෙරටට වැඩමවීම සහ රාජ්‍යත්වයේ සංකේත බවට පත් වීම
ඉන් වසර ගණනාවකට පසු ගජබා රජු චෝළ දේශය ආක්‍රමණය කළ අවස්ථාවේ දී පාත්‍ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවූ බව රාජාවලියේ සඳහන් වේ. ඉන් අනතුරු මෙරට රාජ්‍යත්වයට පත් වූවෝ පාත්‍ර ධාතූන් වහන්සේ දළදා වහන්සේ වැඩ සිටි මන්දිරයෙහි ම ආරක්ෂිත ලෙස වඩා හිඳුවා පුද සත්කාර කළ අතර එම පූජනීය වස්තූන් ද්විත්වය ම මෙරට රාජ්‍යත්වයේ සංකේත ලෙස සැලකිණි.
ක්‍රිස්තු වර්ෂ 365-406 කාලයේ දී මෙරට රජ කළ බුද්ධදාස රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ උපතිස්ස රජ සමයේ දී මෙරට දුර්භික්‍ෂයක් හා රෝග බියක් හට ගත් අතර එම අවස්ථාවේදී රජු සංඝයා වහන්සේ ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්‍රතිමාවක් තැනවී ය. පාත්‍ර ධාතුවට පැන් පුරවා එය ඉහත කී ප්‍රතිමාවේ දෝතෙහි තබා, එක බුද්ධ ප්‍රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවූ අතර, පසුව එය නුවර පුරා වීදි සංචාරය කරවීය.
දුර්භික්ෂයක් දුරු කළ පාත්‍රා ධාතුව
මහා සංඝයා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කර ඇති අතර පසුදා හිරු නැඟෙන විට මහ වැසි වැටුණු බව කියැවේ. එයින් සියලු දුර්භික්‍ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. මේ සඳහා මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ දී අනුගමනය කළ ක්‍රමවේදය ආදර්ශයට ගත් බව පෙනෙන අතර ඉන් මහත් සතුටට පත් වූ උපතිස්ස රජු අනාගතයේ එවැනි දුර්භික්‍ෂයක් හෝ රෝග බියක් ඇති වුව හොත් එසේ ක්‍රියා කරන ලෙස නියෝගයක් ද කළේ ය.
පොළොන්නරු යුගයේ රජ කළ විජයබාහු රජුගෙන් පසු මෙම පාත්‍රා ධාතූන් වහන්සේගේ අයිතිය රෝහණයේ කුමාරවරුන්ට හිමි වූ බව සඳහන් වෙන අතර ඔවුන් උඳුන්දොර නම් ස්ථානයේ එය වඩා හිඳුවා උපස්ථාන කොට ඇත. පසුව මහා පරාක්‍රමබාහු රජුට රාජ්‍යත්වය තහවුරු කිරීමට අවශ්‍ය වූ බැවින් සෙන්පතියන් යොදවා කැරළිකරුවන් හා සටන් කොට මේ අනර්ඝ පූජා වස්තුව පොළොන්නරු රාජධානියට නැවතත් වැඩම කරවූ බව මූලාශ්‍ර සඳහන් කරයි.
පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන ස්ථාන
මෙසේ සියවස් ගණනාවක් පුරා පුද සත්කාර ලැබූ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ස්ථානය වර්තමානය වන විට නිශ්චිතව හඳුනාගෙන නැතත් ඒ පිළිබඳ ව මතවාද ගණනාවක් පවතී.
මහනුවර පිහිටි දළඳා මැදුර ඉදිරිපිට, නාථ දේවාල භූමියේ පිහිටා ඇති ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැම්පත්ව ඇතැයි යන මතය ඇතැමකු ඉදිරිපත් කළ ද ඒ සඳහා නිශ්චිත සාධක නොමැති බව පෙනෙයි. මෙම චෛත්‍යය වර්ෂ 1889 දී විවෘත කොට ඇති අතර එහි සර්වඥ හා අරහත් ධාතූන් වහන්සේලා පමණක් තැන්පත් කර තිබූ බව සමකාලීන ලිපිවලින් හෙළි වේ.
දළදා මැදුර තුළ පිහිටා ඇති කුඩා ස්තූපයේ හෝ, මල්වතු මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැයි සමහරකු සලකයි.
ඇතැම් ජනප්‍රවාදවලට අනුව පාත්‍රා ධාතූන් වහන්සේ වර්තමානය වන විට තැන්පත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ යි. ඒ පිළිබඳ ව කෝට්ටේ යුගයේ දී සයවැනි පරාක්‍රබාහු රජු නිකුත් කළ බෙලිගල තඹ සන්නසේ මෙන්ම කඩඉම් පොතෙහි ද සඳහන් වේ. මේ අනුව ප්‍රමාණයෙන් ඒ තරම් විශාල නොවන බෙලිගල ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත්ව තිබීම විය හැකි බව බොහෝ අයගේ මතය යි.
ඉන්දියාවෙන් හමුවූ පාත්‍රා ධාතුන් වහන්සේ සහ කාබුල් නුවර තබා ඇති තවත් පාත්‍රයක්
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සොපාරා හි තිබී පැරණි ස්තූපයක් හමු වී ඇති අතර මේ ස්තූපය ගෝතමීපුත්‍ර නමැති රජකු කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් පාත්‍ර ධාතුවක කැබලි යැයි සැලකෙන කැබලි කිහිපයක් ද තවත් බොහෝ පුරාවස්තු ද හමු වී ඇත.
ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව එම පාත්‍ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණු අතර එසේ ලැබුණු ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්‍රදර්ශනය කර ඇත. එකල මේ පිළිබදව වාද විවාද ද සිදු වී ඇත. වර්තමානය වන විට එම පාත්‍ර ධාතූන් වහන්සේ විද්‍යෝදය පිරිවෙණේ දැවමය ආරක්‍ෂිත කරඬුවක් තුළ වැඩ සිටී.
එම කැණීමෙන් හමු වූ තවත් පාත්‍ර ධාතූන් වහන්සේ කොටසක් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට ලැබී ඇත. උන්වහන්සේ එය කොටහේන දීපදුත්තාරාම තායි රජමහා විහාරයේ රතන් නමින් හැඳින්වෙන දාගබ තුළ තැන්පත් කළ බව පැවසේ.
ඊට අමතරව විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි පිහිටි මහා ස්තූපයක නටබුන් දක්නට ඇති අතර ඒ තුළ ද බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් තැන්පත් ව ඇතැයි සැලකේ. මේ ස්තූපයේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. පාත්‍රා ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ සදහන් කර ඇතත් එහි වැඩි විස්තරයක් දක්වා නැත.
පාත්‍ර ධාතුවක් කාබුල් නුවර
බුදුන් වහනසේගේ පාත්‍රා ධාතුව බවට සැලකෙන පාත්‍ර ධාතුවක් කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් ඉන්දීය මන්ත්‍රීවරයෙක් මීට වසර කිහිපයකට පෙර එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ ය.
කෙසේ නමුත් ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා සඳහන් කර ඇත්තේ කාබුල් නුවර තබා ඇති පාත්‍රය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බව යි. පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුළ මෙය බුදුන් පරිහරණය කළ ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ බවට සැලකෙන පාත්‍රා ධාතූව වහන්සේලා යැයි විශ්වාස කෙරෙන පාත්‍ර කිහිපයක් විවිධ ස්ථානවලින් හමු වී ඇතත් අතීත මූලාශ්‍රයන්ට අනුව මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැත.
මූලාශ්‍ර-:
ධාතු විස්තරය - ගයාන් චානුක විදානපතිරණ
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය 2 භාගය
දෙව් විමනක් වන් දළදා මාලිගාව බැදි කෙම්බිම බෙලිගල - ජනක වෙත්තසිංහ
පූජාවලිය - පණ්ඩිත කිරිඇල්ලේ ඤානවිමල නාහිමි (සංස්කරණය)
www.bbc.com."