A. “ලෝභය” කියන (චෛතසිකයට /) නමට ම කියන තවත් නමක් තමයි “ප්‍රාර්ථනාව” කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
[සාමාන්‍ය ප්‍රාර්ථනා ලෝභ මූලිකයි තමා. ඒවගේ ම, කුසල ප්‍රාර්ථනා විතරක් නොවෙයි අකුසල ප්‍රාර්ථනාත් ඉෂ්ට වෙන්න පුළුවන්.]
එත් මෙතැන දී, “ලෝභය” හා සමාන චෛතසිකයක් තියෙනවා “ඡන්දය” කියලා, ඒක (“ඡන්දය”) කුසල හෝ අකුසල (සිත් සමඟ යෙදෙන්න /) වෙන්න පුළුවන්. භවය හෝ භව සම්පත් ප්‍රාර්ථනා කළොත් ඒක (ඒ ප්‍රාර්ථනා(ව) කුසල හෝ අකුසල වෙන්න පුළුවන්.
A. “යම් මේ විවට්ටගාමිනී කුසලයක් වේද ඒ කවරේද යත්, මෙලොව කිසිවෙක් නිවන් ප්‍රාර්ථනා කරමින් දන් දෙයි. සිල් සමාදන් වෙයි. උපෝසථ කර්මය කරයි. සුවඳ මල් ආදියෙන් පූජනීය වස්තූන් පුදයි. බණ අසයි. දෙසයි. ධ්‍යාන සමාපත්ති උපදවයි. මෙසේ කරන්නේ පිළිවෙලින් නිප්පරියාය දහම වූ අමාමහ නිවන ලබයි.
....
යම් මේ වට්ටගාමිනී කුසලයක් වේද, ඒ කවර යත්, මෙලොවැ කිසිවෙක් භවය ප්‍රාර්ථනා කරමින් සම්පත්ති භවය කැමති වෙමින් දන් දෙයි. -පෙ- සමවත් නිපදවයි. මෙසේ කරමින් පිළිවෙලින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි.”
“එහි ධම්මාදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිස දායාදා යනු මහණෙනි, මගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නොවනු. මගේ යම් ධර්මයක් වේද, එය පිළිගන්නාහු වවු. මගේ යම් ආමිසයක් වේද එය පිළිගන්නාහු නොවවු යයි කියන ලද වෙයි. එහි ධර්මය ද දෙවැදෑරුම් වෙයි. නිප්පරියාය ධම්ම, පරියාය ධම්ම යනුවෙනි. ආමිසයද ද්විධ වේ. නිප්පරියාය ආමිස, පරියාය ආමිස යනුවෙනි. කෙසේද මෙසේ දතයුතුයි. මග-ඵල-නිබ්බාන භේද වූ නවවිධ වූ ලෝකෝත්තර ධර්මය, නිප්පරියාය ධම්ම නම් වේ. විවට්ට ධර්මයම වෙයි. කිසියම් පරියායකින් කාරණයකින් හෝ ලේසයකින් හෝ ධර්ම වූයේ නොවෙයි. යම් මේ විවට්ටගාමිනී කුසලයක් වේද ඒ කවරේද යත්, මෙලොව කිසිවෙක් නිවන් ප්‍රාර්ථනා කරමින් දන් දෙයි. සිල් සමාදන් වෙයි. උපෝසථ කර්මය කරයි. සුවඳ මල් ආදියෙන් පූජනීය වස්තූන් පුදයි. බණ අසයි. දෙසයි. ධ්‍යාන සමාපත්ති උපදවයි. මෙසේ කරන්නේ පිළිවෙලින් නිප්පරියාය දහම වූ අමාමහ නිවන ලබයි. මේ පරියාය ධර්මයයි. එසේම සිවුරු ආදි සිවුපසය නිප්පරියාය ආමිසයමැයි. අන්‍ය පරියායකින් හෝ ක්ලේශයකින් හෝ ආමිස වූයේ නොවෙයි. යම් මේ වට්ටගාමිනී කුසලයක් වේද, ඒ කවර යත්, මෙලොවැ කිසිවෙක් භවය ප්‍රාර්ථනා කරමින් සම්පත්ති භවය කැමති වෙමින් දන් දෙයි. -පෙ- සමවත් නිපදවයි. මෙසේ කරමින් පිළිවෙලින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි. මේ පරියාය ආමිස නම් වේ.”
"තත්‍ථ ධම‍්මදායාදා මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදාති ධම‍්මස‍්ස මෙ දායාදා, භික‍්ඛවෙ, භවථ, මා ආමිසස‍්ස. යො මය‍්හං ධම‍්මො, තස‍්ස පටිග‍්ගාහකා භවථ, යඤ‍්ච ඛො මය‍්හං ආමිසං, තස‍්ස මා පටිග‍්ගාහකා භවථාති වුත‍්තං හොති. තත්‍ථ ධම‍්මොපි දුවිධො – නිප‍්පරියායධම‍්මො, පරියායධම‍්මොති. ආමිසම‍්පි දුවිධං – නිප‍්පරියායාමිසං, පරියායාමිසන‍්ති. කථං? මග‍්ගඵලනිබ‍්බානභෙදො හි නවවිධොපි ලොකුත‍්තරධම‍්මො නිප‍්පරියායධම‍්මො නිබ‍්බත‍්තිතධම‍්මො, න යෙන කෙනචි පරියායෙන කාරණෙන වා ලෙසෙන වා ධම‍්මො. යං පනිදං විවට‍්ටූපනිස‍්සිතං කුසලං, සෙය්‍යථිදං, ඉධෙකච‍්චො විවට‍්ටං පත්‍ථෙන‍්තො දානං දෙති, සීලං සමාදියති, උපොසථකම‍්මං කරොති, ගන්‍ධමාලාදීහි වත්‍ථුපූජං කරොති, ධම‍්මං සුණාති දෙසෙති ඣානසමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන නිප‍්පරියායධම‍්මං අමතං නිබ‍්බානං පටිලභති, අයං පරියායධම‍්මො. තථා චීවරාදයො චත‍්තාරො පච‍්චයා නිප‍්පරියායාමිසමෙව, න අඤ‍්ඤෙන පරියායෙන කාරණෙන වා ලෙසෙන වා ආමිසං. යං පනිදං වට‍්ටගාමිකුසලං, සෙය්‍යථිදං, ඉධෙකච‍්චො වට‍්ටං පත්‍ථෙන‍්තො සම‍්පත‍්තිභවං ඉච‍්ඡමානො දානං දෙති…පෙ… සමාපත‍්තියො නිබ‍්බත‍්තෙති, එවං කරොන‍්තො අනුපුබ‍්බෙන දෙවමනුස‍්සසම‍්පත‍්තිං පටිලභති, ඉදං පරියායාමිසං නාම."
R / T. "ආරම්මණය ආශ්වාදනීය දෙයක් වශයෙන් ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභය ය. ප්‍රාර්ථනාවය, ප්‍රේමයය, ආලයය, ආදරයය, ඕනෑකමය, ලොල් බවය, ගිජුබවය යනාදි නම්වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. අඹුදරු ආදීන් කෙරෙහි පවත්නා ලෝභයට සමහර විට මෛත්‍රිය, කරුණාව යන නම් ද ධර්ම විභාග නො දන්නෝ කියති. පැවිද්දන් සම්බන්ධයෙන් පවත්නා ලෝභයට ශ්‍රද්ධාව යයි ද සමහරු කියති. මේ ලෝභය මාගේ ය, මාගේ යයි ආරම්මණයන් අල්ලා ගන්නා ස්වභාවයෙන් මක්කටාලේපය වැනිය. මක්කටාලේපය යනු වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන තද ලාටු වර්ගයකි. එහි සැපුනු වඳුරාට යන්නට නො දී ඒ ලාටුවෙන් අල්ලා ගනු ලබන්නේය. එමෙන් ලෝභය ද මාගේ භාර්‍ය්‍යාවය, මාගේ හිමියා ය, මාගේ දරුවා ය, මාගේ ගෙය ය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසු වූ දෙය තදින් අල්ලා ගන්නේය. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ලක් බඳු ය. රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ල දැවි දැවී එහි ම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්‍ය්‍යාවක් ඕනෑය, හිමියකු ඕනෑය, දරුවන් ඕනෑය, මිල මුදල් ඕනෑය, ඇඳුම් පැළඳුම් ඕනෑය යනාදීන් කාමනීය වස්තූන්හි එල්ලෙන්නේය. තෙල් සායම වස්ත්‍රාදි යමක තැවරුණ හොත් පහ කිරීමට ඉතා දුෂ්කරය. කොතෙක් සේදුව ද එය නො යයි. ලෝභය ද අල්ලා ගත් දෙය ලෙහෙසියෙන් නො හරනා බැවින් තෙල් සායමක් බඳුය. දිගින් දිගට යන ස්වභාවයෙන් එය ඟගක් වැනිය. ආරම්මණයෙහි වෙළෙන්නා වූ ස්වභාවයෙන් වැලක් බඳු ය. නො ලැබූ දෑ සෙවීම පිළිබඳ ලෝභයය, ලැබූ දෑ අයත් කර ගෙන සිටීම පිළිබඳ ලෝභයය, විෂය රස විඳීම පිළිබඳ ලෝභයය යි පවත්නාකාරයන්ගේ වශයෙන් ලෝභය තුන් ආකාර බව කිව යුතු ය. මෙය තවත් නොයෙක් ක්‍රමවලින් විභාග කර දක්වා තිබේ."
"ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ."
"ඡන්දය යනු කරනු කැමැත්ත ය. කිරීමේ ඕනෑ කම ය. කරනු කැමැත්තය යන වචනයේ අර්ථය ඉතා මහත් ය. බලනු කැමැත්ත, අසනු කැමැත්ත, කියනු කැමැත්ත, සිතනු කැමැත්ත, ලබනු කැමැත්ත, රක්ෂා කරනු කැමැත්ත, දෙනු කැමැත්ත, නො දෙනු කැමැත්ත යනාදි සියල්ල ම කරනු කැමැත්තය යන වචනයේ අර්ථ වශයෙන් ගත යුතුය. කිරීමේ ඕනෑ කමය යන වචනයෙන් ද ඒ සියල්ල ම ගැනේ. ඡන්දය යන පාළි වචනය හා කැමැත්තය ඕනෑ කමය යන සිංහල වචනය ද තෘෂ්ණාවය යන අර්ථය දීමට ද ව්‍යවහාර කරනු ලැබේ. ඡන්ද චෛතසිකය හා තෘෂ්ණාව වෙන් වෙන් වූ පරමාර්ථ ධර්ම දෙකක් වුව ද ඒ දෙක ම හැඟවීමට සමාන වචන භාවිත වී තිබෙන්නේ පහසුවෙන් එකිනෙක වෙන් කර ගැනීමට තෝරා ගැනීමට අපහසු වන පමණට සම බවකුත් ඒ දෙක්හි ඇති බැවිනි. ඡන්ද තෘෂ්ණා දෙක කැමති වීමේ ආකාරයෙන් සම වුව ද ආරම්මණය ආස්වාදනය කරන, ආරම්මණයට ඇලුම් කරන, ආරම්මණයෙහි ගැලෙන ස්වභාවය තෘෂ්ණාවට මිස ඡන්දයට නැත. ඡන්දයට ඇත්තේ ඒ ඒ අර්ථය සිදුකිරීමට පමණක් කැමති බවය. ඡන්දය තෘෂ්ණාවට විරුද්ධ ස්වභාවයක් නො වේ. ලෝභ සහගත සිතෙහි ද එය ලැබේ. ඡන්දය ලෝභසහගත සිත්හි ලෝභයට අනුකූලව පවතී. ඊර්‍ෂ්‍යා සහගත සිත්හි ඊර්‍ෂ්‍යාවට අනුකූලව පවතී. මාන සහගත සිත්හි මානයට අනුකූලව පවතී. අලෝභ සහගත සිත්හි අලෝභයට අනුකූලව පවතී. මෛත්‍රී සහගත සිත්හි මෛත්‍රියට අනුකූලව පවතී. කරුණා සහගත සිත්හි කරුණාවට අනුකූලව පවතී.
ඡන්දය ලෝභයට අනුකූලව ලෝභ සහගත සිත්හි උපදනේ වී නමුදු දියුණු වූ කල්හි ලෝභයට වඩා බලවත් වූ ලෝභය මැඩීමට දුරු කිරීමට සමර්ථ ධර්මයක් වේ. දියුණු වූ ඡන්දය අධිපති භාවයට හා සෘද්ධිපාද භාවයට පැමිණේ. ඡන්දය සැම කල්හි ම තෘෂ්ණාවට අනුකූලව පවත්නේ නම් මේ සත්ත්වයන්ට තෘෂ්ණාවට ආහාර වන කාම වස්තූන් හැර, කාම තෘෂ්ණාව මැඩ ධ්‍යානාදි උසස් ධර්ම උපදවා ගත හැකි නො වන්නේ ය. කාම තෘෂ්ණා භව තෘෂ්ණා දෙක ම මැඩ, දෙක ම ප්‍රහාණය කොට, ලෝකෝත්තර මාර්ගඵල ධර්ම උපදවා නිවනට ද නො පැමිණිය හැකි වන්නේ ය. සත්ත්වයන්ට ඒවා සිදු කර ගත හැකි වන්නේ ඡන්දය ලෝභය නැති කිරීමට සමත් වන තරමට දියුණුවන හෙයිනි."
T. "අනුත්තරං යනු ශ්‍රේෂ්ඨ, අසමාන යන අර්ථයි. නිර්භය වූ විපතට නොපත් යන අර්ථයෙන් යොගක්‍ඛෙමං නම් වේ. අර්හත්වයම අදහස් කරන ලදී. පත්‍ථය මානස්ස යනු තණ්හා ප්‍රාර්ථනාව ද ඡන්‍ද ප්‍රාර්ථනාවදැයි ප්‍රාර්ථනා දෙකකි.
‘පත්‍ථය මානස්ස පජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු’1 ‘ප්‍රාර්ථනා කරන්නාටම තෘෂ්ණාවෝ වෙති. තෘෂ්ණා දෘෂ්ටිවලින් කල්පනා කරන ලද වස්තූන් කෙරෙහි අතිශයින් සැලීම ද වෙයි.’ යන මෙහි තෘෂ්ණා ප්‍රාර්ථනාව ය.
‘ඡින්නං පාපිමතො සොතං විද්ධසතං විනලීකතං
පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්‍ථෙථ භික්‍ඛවො’2
පාපී මාරයාගේ තෘෂ්ණා නමැති සැඩ දියපහර සිඳින ලදී. විනාශ කරන ලදී. මානය නමැති නළ දුරුකරන ලදී. මහණෙනි, ප්‍රමෝදය (සතුට) බහුලකොට ඇත්තෝ වවු. නිවන පතවු’ යන
මෙහි කන්තුකම්‍යතා කුසලච්ඡන්‍ද ප්‍රාර්ථනාවය (කුසල් කිරීමට කැමති පැතුම). මෙහි මෙයම අදහස් කරන ලදී. එහෙයින් ‘පත්‍ථයමානස්ස’ යනු ඒ අර්හත්වය සිදුකරගනු කැමති වූ, එයට නැඹුරු වූ යන අර්ථයි. (තන්නින්නස්ස, තප්පොනස්ස, තප්පබ්හාරස්ස යන මේවා එයට නැඹුරු වූ යන්නට සමාන පදය) විහරතො යනු එක් ඉරියවුවකින් ඇතිවන දුකක් අනිත් ඉරියව්වකින් සිඳ දමා බිඳ නො වැටෙන ආත්මභාවය පවත්වාගෙන යන්නා වූ භික්‍ෂුවට. නැතහොත් ‘සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති’ සියලු සංස්කාර අනිත්‍යය යි ස්ථිර ලෙස පිහිටා ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරෙයි’ ආදී වශයෙන් නිද්දෙස ක්‍රමයෙන් ද මෙහි අර්ථය දතයුතුය."
"දැන් යම් හෙයකින් ප්‍රාර්ථනාව හා ප්‍රතිබද්ධ වූ පුණ්‍ය නිධානය සියලු කැමති දේ දීම ප්‍රාර්ථනාවෙන් තොරව සිදු නො වේද? යම් සේ වදාළේද?
“ගෘහපතියෙනි, ධම්මචාරි සමචාරි පුද්ගල තෙමේ “මම කයෙහි බිදීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ - සහභාවයට පැමිණෙම් නම් මැනවැයි කැමති වේ නම් හෙතෙම කයෙහි බිඳීමෙන් මරණින් පසු ක්‍ෂත්‍රිය මහාසාල කුලයන්හි සහභාවයට පැමිණේ යන කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරි වන හෙයිනි”
එසේම “අනාශ්‍රව වූ චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වාසය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරී වන හෙයිනි”
එසේම වදාළහ -
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වේ ද ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වේ ද ඔහුට මෙසේ සිත් වෙයි. “මම ඒකාන්තයෙන් කයෙහි බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ- සහභාවයට පැමිණෙම් නම් යෙහෙකි” යනුවෙනි. හෙතෙම එම සිත ස්ථිර ලෙස පිහිටුවයි. එම සිත අධිෂ්ඨාන කරයි. එම සිත වඩයි. ඔහුගේ එම සංස්කාරයෝ ද විහරණයෝ ද මෙසේ වඩා මෙසේ බහුලව කොට එහි ඉපදීමට හේතු වෙති” යන මේ ආදියයි.
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප්‍රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -
“යං යදෙවාභි පත්‍ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි වදාළහ."
"එසමයෙහි රජතුමාගේ එම වස්තු සම්පත්තිය ද ශ්‍රී සෞභාග්‍යය ද රාජානුභාවය ද දැක ආශ්චර්යද්භූත සිතුවිලි උපදවා ගත් රජගහනුවර වැසි එක්තරා කුලදුවක් දිව්‍ය සම්පත්තියක් වැනි මෙ වස්තු සම්පත්තිය කෙබඳුනම් කර්මයකින් ලැබේදැයි පඬිවරුන් යයි සම්මත වූ පුද්ගලයන්ගෙන් විචාළාය. ඔව්හු ‘පින්වතිය, පින්කම් වනාහී චින්තා මාණික්‍යයක් හා සමානය. කල්ප වෘක්ෂයක් හා සමානය. ක්‍ෂේත්‍ර සම්පත්තිය (=ධන සම්පත්තිය) ද, චිත්ත සම්පත්තියද (=ශ්‍රද්ධාව ද) ඇති කල්හි යමක් ප්‍රාර්ථනා කොට යමක් කරත් ද, ඒ ඒ දෙය ඉටුවන්නේමය. තවද ආසන පූජාවෙන් උසස් කුලවත් බව ද, ආහාර දානයෙන් ශක්ති සම්පන්න බව ද, වස්ත්‍ර දානයෙන් වර්ණ සම්පත්තිය ද, වාහන දානයෙන් සුවපහසුකම් ද, පහන් දීමෙන් ඇස් පෙනීමේ ශක්තිය ද ආවාස දානයෙන් සියලුම සම්පත්තීන් ද ලැබේ යයි කීහ. ඕ තොමෝ එය අසා දිව්‍ය සම්පත්තිය මෙයට වඩා ශ්‍රේෂ්ඨ යයි සිතන්නී එහි සිත පිහිටුවා පින් කිරීමෙහි අතිශයින් උත්සාහවත් වූවාය."