191. ප්‍ර‍ත්‍යපරිග්‍ර‍හ ඥානය, කලාප සම්මර්ෂණ ඥානය හා මාර්ගාමාර්ග ව්‍යවස්ථා ඥානය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පහත රූපයට අනුව පැහැදිලි කළ හැකි ද?


"විදර්ශනා වඩන යෝගාවචරයන්ට ඇති වන නාම රූප පරිච්ඡේද ඥානයෙන් සත්කාය දෘෂ්ටිය ප්‍ර‍හාණය වේ. 01.ප්‍ර‍ත්‍යයපරිග්‍ර‍හ ඥානයෙන් අහේතු විෂම හේතු දෘෂ්ටීන්ගේ හා විචිකිච්ඡාවන් ගේ ප්‍ර‍හාණය වේ. 02.කලාපසම්මර්ෂණඥානයෙන් මමය මාගේය යන 03.සමූහ ග්‍ර‍හණයාගේ ප්‍ර‍හාණය වේ. 04.මාර්ගාමාර්ගව්‍යවස්ථා ඥානයෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාව ප්‍ර‍හාණය වේ. සංස්කාරයන්ගේ උත්පාදය දක්නා ඥානයෙන් උච්ඡේද දෘෂ්ටි ප්‍ර‍හාණය වේ. ව්‍යයදර්ශන ඥානයෙන් ශාස්වත දෘෂ්ටිය ප්‍ර‍හාණය වේ. මේ ප්‍ර‍හාණයෝ ද තදංග ප්‍ර‍හාණයෝ ය."

A. 01. නාම-රූපවලට හේතු පිරිසිඳ දැනීමේ ඥානය.
"නාමරූපස්ස කම්මාවිජ්ජාදිපච්චයපරිග්ගණ්හනඤාණං පච්චයපරිග්ගහො."

ප්‍ර‍ත්‍යයපරිග්‍ර‍හ ඥානය = ධම්මට්ඨිතී ඥානය.
ධම්මට්ඨිතී ඥානය = https://tipitaka.lk/kn-ps-1-1-5/sinh

"මෙසේ චුති-පටිසන්ධි වශයෙන් දක්නාලද සියලු ධර්‍ම ඇති ඕහට සර්‍වාකාරයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ ඥානය ස්ථිර බවට පැමිණියේ වේ. සොළොස් වැදෑරුම් කඞ්ඛාව ප්‍ර‍හීණ වේ. හුදෙක් ඒ මතු නො වේ. (සත්‍ථිරිකඞ්ඛති) යනාදි ක්‍ර‍මයෙන් පැවැති අට වැදෑරුම් සැකය ද, ප්‍ර‍හීණ වේ. දෙසැට (62) දෘෂ්ටීහු විෂ්කම්භනය වෙති.

විශේෂ:- බුද්ධ - ධම්ම - සංඝ - සික්ඛා - පුබ්බන්ත - අපරන්ත - පුබ්බන්තාපරන්ත - පටිච්ච සමුප්පාද ධම්ම යන මේ අට තැන යි.

‘මෙසේ නානා නයින් නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හයෙන් තුන් කල්හි කාංක්‍ෂාව ඉක්ම සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය’යි දත යුතු යථාභූතඤාණය යි ද එයට ම නමි.

විස්තර:- යට කී සොළොස් විචිකිච්ඡාව ද, බුදුන් කෙරෙහි සැක කරයි, යනාදී අට තැන්හි විචිකිච්ඡාව ද දෙ සැට දෘෂ්ටිය ද ඉක්ම සිටි හෙයින් කඞ්ඛාවිතනරණ විසුදධි යැයි ද, ධර්‍ම නම් ඵලයැ, එයට ප්‍ර‍ත්‍යය වූයේ ධර්‍මස්ථිති යැයි (ප්‍ර‍ත්‍යය ධර්‍මයයි) ඒ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් පිරිසිඳ දන්නා හෙයින් ධම්මට්ඨිතිඤාණ යැයි ද, සංස්කාර ධර්‍මයන් ගේ යථාස්වභාවය වූ අනිත්‍යාදිය දන්නා හෙයින් යථාභූතඤාණ යැයි ද සම්‍යක් දර්‍ශන යැයි ද මෙයට ම නමි, එයින් වදාළහ.

“අවිජ්ජා පච්චයො, සංඛාරා, පච්චයසමුප්පන්නා, අභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්තාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිති ඤාණන්ති”[2] ‘අවිද්‍යාව හෙත්‍වාදී වශයෙන් සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ. සංස්කාර දෙකම ප්‍ර‍ත්‍යය සමුත්පන්න යයි ප්‍ර‍ත්‍යය පිරිසිඳ දැනීම් වශයෙන් පැවැති ඥානය ධර්‍මස්තිති ඥානය නම් වේ."


"එවං චුතිපටිසන්ධිවසෙන විදිතසබ්බධම්මස්ස සබ්බාකාරෙන නාමරූපස්ස පච්චයපරිග්ගහඤාණං ථාමගතං හොති, සොළසවිධා කඞ්ඛා සුට්ඨුතරං පහීයති. න කෙවලඤ්ච සා එව, “සත්ථරි කඞ්ඛතී”ති (ධ• ස• 1008) ආදිනයප්පවත්තා අට්ඨවිධාපි කඞ්ඛා පහීයතියෙව, ද්වාසට්ඨි දිට්ඨිගතානි වික්ඛම්භන්ති. එවං නානානයෙහි නාමරූපපච්චයපරිග්ගහණෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කඞ්ඛාවිතරණවිසුද්ධීති වෙදිතබ්බං. ධම්මට්ඨිතිඤාණන්තිපි යථාභූතඤාණන්තිපි සම්මාදස්සනන්තිපි එතස්සෙවාධිවචනං. වුත්තඤ්හෙතං –
“අවිජ්ජා ¶ පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”න්ති (පටි• ම• 1.46)."

"අවිද්‍යාව හේතු ය, සංස්කාර හේතුසමුත්පන්න ය, මේ අවිද්‍යාසංස්කාර යන දෙක ම හේතුසමුත්පන්නය යි මෙසේ ප්‍ර‍ත්‍යය පිරිසිඳැ දැන් ම ධර්‍මස්ථිතිඥානයි. (හෙවත් ප්‍ර‍තීත්‍ය සමුත්පාදාවබොධය යි) (අවිද්‍යාව ආශ්‍ර‍වසමුදය ය) අතීතයෙහිද, අනාගතයෙහි ද අවිද්‍යාව හේතු ය, සංස්කාර හේතුසමුත්පන්නය. මේ දෙක ම හේතුසමුත්පන්නනය යි ප්‍ර‍ත්‍යය පිරිසිඳැ දැන් ම ස්ථිතිඥානය යි සියලු පද මෙසේ විස්තර කළ යුතු.)"

"එවං අයං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණන්ති එතෙනෙව නයෙන සබ්බපදානි විත්ථාරෙතබ්බානි."

["ඉතීති එවං යථාවුත්තනයෙන පච්චයපරිග්ගණ්හනෙ යා පඤ්ඤා, තං ධම්මානං ඨිතිසඞ්ඛාතෙ කාරණෙ යාථාවතො පවත්තත්තා ධම්මට්ඨිතිඤාණං නාමාති."]

“රූපයට කර්‍ම ය, චිත්ත යැ, සෘතු යැ, ආහාරයැ යි චතුර්විධ ප්‍ර‍ත්‍යය වේ. ඔවුනතුරින් ‘කර්‍මය අතීත වූයේ ම කර්‍මසමුත්‍ථාන රූපයට ප්‍ර‍ත්‍යය වේ. භෙද උත්පත්ති ක්‍ෂණයෙහි මැයි ‘සෘතු-ආහාර දෙදෙන සෘතුජ-ආහාරජ රූපයනට ස්ථිති ක්‍ෂණයෙහි ප්‍ර‍ත්‍යය වේ.’ ය යි මෙසේ ඇතැම් යෝගියෙක් නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. හෙතෙමේ මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් නාම-රූපයන් ගේ පැවැත්ම බලා ‘මේ නාම-රූප වර්‍තමානයෙහි පවත්නා සේ අතීතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පැවැත්තේ ය. අනාගතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පවත්නේය’ යි නුවණින් බල යි. මෙසේ බලන ඒ යෝගීහට ත්‍රිකාලයෙහි ම කී පරිද්දෙන් විචිකිච්ඡාව ප්‍ර‍හීණ වේ.

(3) අනෙක් යෝගියෙක් මෙසේ නාම-රූප සඞ්ඛ්‍යාත සංස්කාරයන් ගේ ජරාවට පැමිණිම ද, ජරාවට පැමිණියවුන්ගේ භඞ්ගය ද දැක ‘මේ සංස්කාරයන් ගේ ජරා-මරණය උත්පත්තිය ඇති කල්හි වේ. ජාතිය කර්‍මභවය ඇති කල්හි ද, භවය උපාදානය ඇති කල්හි ද, උපාදානය තෘෂ්ණාව ඇති කල්හි ද, තෘෂ්ණාව වේදනාව ඇති කල්හි ද, වේදනාව ස්පර්‍ශය ඇති කල්හි ද, ස්පර්‍ශය ෂඩායතනය ඇති කල්හි ද, ෂඩායතනය නාම-රූප ඇති කල්හි ද, නාම-රූප විඥානය ඇති කල්හි ද, විඥානය සංස්කාර ඇති කල්හි ද, සංස්කාර අවිද්‍යාව ඇති කල්හි ද, වේය යි මෙසේ ප්‍ර‍තිලෝම පටිච්චසමුප්පාද වහයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය නිශ්චය කෙරේ. එකල ඔහු ගේ විචිකිච්ඡාව කියන ලද පරිදි ප්‍ර‍හීණ වේ.

(4) අනෙක් යෝගියෙක් - මෙසේ “අවිද්‍යා ප්‍ර‍ත්‍යයේන සංස්කාර වේය” යි පෙර පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි විස්තර කළ සේ අනුලොම පටිච්චසමුප්පාද වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එකල ඔහු ගේ කාංක්‍ෂාව ප්‍ර‍හීණ වේ.

(5) අනෙක් යෝගියෙක් පූර්‍ව කර්‍ම භවයෙහි මෝහය අවිද්‍යා යැ. කුශලා‘කුශල කර්‍ම රැස් කිරීම සංස්කාර යැ. පඤ්චකාමයෙහි ඇලීම් සඞ්ඛ්‍යාත නිකන්තිය තෘෂ්ණා යැ. දැඩිවැ ගැනීම උපාදාන යැ. අභිසංස්කරණ චේතනාව කර්‍මභවයැ යි, ‘මෙසේ පූර්‍ව කර්‍ම භවයෙහි මේ පඤ්ච ධර්‍මයෝ වර්‍තමාන ප්‍ර‍තිසන්ධියට ප්‍ර‍ත්‍යය වෙති. මේ (වර්‍තමාන) පතිසන්ධිය විඥානය, මවුකුසට වැදගැන් ම නැම-රූප ය, පඤ්චප්‍ර‍සාදය ආයතන ය. ආලම්බන ස්පර්‍ශය ඵස්ස යැ. විඳීම වේදනා යැ. මේ පඤ්චධර්‍මයෝ මේ වර්‍තමාන උත්පත්ති භවයෙහි පූර්‍වයෙහි කළ කර්‍මයාගේ ප්‍ර‍ත්‍යයයෙන් වෙති. මේ භවයෙහි චක්‍ෂුරාදි ආයතනයන් මිහිකිරීමට ගිය හෙයින් මොහය අවිද්‍යා යැ. පෙ - චේතනා කර්‍මභවයැ යි මේ පඤ්ච ධර්‍මයන් මේ කර්‍ම භවයෙහි මතු ප්‍රතිසන්ධි භවයට ප්‍ර‍ත්‍යය වෙති යි, මෙසේ කම්මවට්ට - විපාක - වට්ට වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එහි කම්මවට්ට ය. දිඨධම්මවෙදනීය යැ, උපපජ්ජවෙදනීය යැ, අපරාපරිය වේදනීය යැ, අහොසි කර්‍මයැ විපාක දෙන කාල වශයෙන් සතර ආකාර යි.”

02. පංචස්කන්ධය එකොළොස් තැනක බහා විමසා බැලීම් වශයෙන් පවතින විදර්ශනා ඥානය.
“කලාපසම්මසනෙනාති “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්තිආදිනා (සං• නි• 3.48-49) ඛන්ධපඤ්චකං එකාදසසු ඔකාසෙසු පක්ඛිපිත්වා සම්මසනවසෙන පවත්තෙන විපස්සනාඤාණෙන.”

එකොළොස් තැන 👇

03. පංචස්කන්ධය එකක් ලෙස ගැනීම ඉහත 02. හා සමූහ ගණය / විසි ආකාර සක්කාය දෘෂ්ටිය අනුව තේරුම් ගත යුතුය. "මගේ" ලෙස ගැනීම තණ්හා ප්‍රපංචය අනුව සිදු වේ - ප්‍රපංච ගැන දැනගන්න.

"1. සමූහ ඝනය

එකිනෙක ගැටී පවත්නා වූ රූප කලාප රාශියක් ඒකත්වයෙන් ගැනීමෙන් සත්‍ය වශයෙන් නැත ද, ඇති සේ වැටහෙන මහත් වූ දෙය සමූහ ඝනය යි. මල ය, කොළ ය, ගෙඩි ය, ගස ය, ගල ය, ඇස ය, කන ය, දත ය, අත ය, පය ය, පුටුව ය, පිඟාන ය, කෝප්ප ය යනාදීන් සලකන සියල්ල ම සමූහ ඝනයෝ ය. ඔවුනොවුන් ඇසුරු කොට පවත්නා වූ නාම රූප ධර්ම සමූහයක් ඒකත්වයෙන් ගැනීම නිසා ඇති සේ හැඟෙන මහත් වූ දෙය ද සමූහ ඝනය යි. ස්ත්‍රිය ය, පුරුෂයා ය, ළමයා ය, ගවයා ය, එළුවා ය යනාදීන් සලකන සියල්ල, නාම රූප දෙපක්ෂය ඒකත්වයෙන් ගැනීම නිසා ඇති සේ හැඟෙන සමූහ ඝනයෝ ය."

"මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.

රූපං අත්තතෝ සමනුපස්සති.
රූපවන්තං අත්තානං සමනුපස්සති.
අත්තනි වා රූපං සමනුපස්සති.
රූපස්මිං වා අත්තානං සමනුපස්සති.

1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ..."

04. මාර්ගාමාර්ග ව්‍යවස්ථා ඥානය = මාර්ගාමාර්ගඥාන විශුද්ධිය.
"මග්ගාමග්ගවවත්ථානෙනාති මග්ගාමග්ගඤාණවිසුද්ධියා."

"මහාමග්ග ඤාණදස්සන විසුද්ධි - ඔභාස (ආලෝක) ආදිය මාර්ගය නොවේ. වීථියට පිළිපන් උදයව්‍යය ඤාණය මාර්ගය වේ. මෙසේ මාර්ග අමාර්ගයේ ඤාණය.
මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධීති ඔභාසාදයො න මග්ගො, වීථිප්පටිපන්නං උදයබ්බයඤාණං මග්ගොති එවං මග්ගාමග්ගෙ ඤාණං."

"5. මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය

දෘෂ්ටි විශුද්ධි කාංක්ෂාවිතරණ විශුද්ධීන් සම්පාදනය කැරගත් පසු ක්‍රමය නො වරදවා ඉදිරියට විදර්ශනා කැර ගෙන ගියහොත් විදර්ශනා ඥානය මෝරන කල්හි යෝගාවචරයා හට පෙර කිසි කලෙක නුදුටු පුදුම ආලෝකයක් සමහර විට දක්නට ලැබේ. සමහර විට පෙර කිසි කලෙක සන්තානයෙහි ඇති නුවූ අතිප්‍රණීත ප්‍රීති ආදි පුදුම ධර්ම ඔහු ගේ සන්තානයෙහි පහළ වේ.

නුවණ ඇති නුවුව හොත් ඒ අවස්ථාවේ දී යෝගාවචරයා - “මම ලෝක්කෝත්තර ධර්ම ලැබුවෙමි” යි සමහරවිට රැවටෙන්නේය. රැවටුණහොත් ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නට නො ලැබෙන්නේ ය. එසේ නො රැවටීම සඳහා ඇති කර ගත යුතු වූ මාර්ගය මේ ය, අමාර්ගය මේ ය යි දත හැක්කා වූ ඥානය “මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය” නමි. මෙහි මාර්ගය යි කියනු ලබනුයේ නිවැරදි භාවනා ක්‍රමයටත් ඥානදර්ශන විශුද්ධි නම් වූ ලෝකෝත්තර මාර්ගයටත් ය. අමාර්ගය යි කියනු ලබනුයේ වැරදි භාවනා ක්‍රමයට හා අධිමාන වස්තූන්ටය. මාර්ගයට ඵලයට නො පැමිණ පැමිණියෙමි ය යන වැරදි හැඟීමට හේතු වන ආලෝකාදීහු අධිමාන වස්තූහු ය. මේ මාර්ගමාර්ග දෙක පිරිසිඳ දැන ගන්නා ඥානය අමාර්ගය ම මාර්ගය ය කියා ඇතිවන සම්මෝහයෙන් ද,උපක්ලේශයන් ගැන ඇති වන ලෝහයෙන් ද, යෝගාවචරයා පිරිසිදු කරන බැවින් මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය යි කියනු ලබන බව දත යුතුය. ..."

{T. "අන්ධකාරයට ප්‍රතිවිරුද්ධ වූ පහන් එළියෙන් අන්ධකාරය ප්‍රහාණය වේද, ඒ ඒ විදසුන් නැණින් ඒ ඒ කෙලෙස් අංගයන්ගේ ප්‍රහාණය වේද, ඒ කෙසේද යත්, නාමරූප වවත්‍ථානයෙන් (නාම රූප ධර්මයන් වෙන්කොට බැලීමෙන්) සක්කාය දිට්ඨිය ද, ප්‍රත්‍ය විමසා බැලීමෙන් අහේතු විෂම හේතු දෘෂ්ටින්ගේ ද ප්‍රත්‍ය පරිග්ගහයෙන් (ඒ ප්‍රත්‍යයන් විමසා බැලීමෙන්ම) අපර භාගයෙහි කඞ්ඛාවිතරණ ඤාණයෙන් සැකයන්ගේ ද නාමරූප ධර්මයන්ගේ කලාප සම්මර්ෂණයෙන් මමය මාගේය යන දෘෂ්ටින්ගේ ද, මාර්ග අමාර්ග වෙන්කර බැලීමෙන් අමාර්ගයෙහි මාර්ගය යන සංඥාවෙන් ද උදයානුපස්සනාවෙන් උච්ඡේද දෘෂ්ටියේ ද, වයානුපස්සනාවෙන් ශාස්වත දෘෂ්ටියගේද, භයතු පට්ඨාන පස්සනාවෙන් භය සහිත වූ (උපාදාන ස්කන්ධයෙහි) අභය සංඥාවගේ ද නිබ්බිදානු පස්සනාවෙන් ඇලීමේ සංඥාවෙන්ද, මුඤ්චිතු කම්‍යතා ඤාණයෙන් උපෙක්ඛා ඤාණයෙන්, අනපෙක්ඛාවගේ ද අනුලෝම ඤාණයෙන් ධම්මට්ඨිතියෙහි හා නිවනෙහි ප්‍රතිලෝම භාවයාගේ ද, ගෝත්‍රභූ ඤාණයෙන් සංස්කාර නිමිති ගැනීමේ ද ප්‍රහානය වේ. මේ තදංග ප්‍රහාණය නම් වේ."
"තථා යං නාමරූපපරිච්ඡෙදාදීසු විපස්සනාඤාණෙසු පටිපක්ඛභාවතො දීපාලොකෙනෙව තමස්ස, තෙන තෙන විපස්සනාඤාණෙන තස්ස තස්ස අනත්ථස්ස පහානං. සෙය්‍යථිදං, නාමරූපවවත්ථානෙන සක්කායදිට්ඨියා, පච්චයපරිග්ගහෙන අහෙතුවිසමහෙතුදිට්ඨීනං, තස්සෙව අපරභාගෙන කඞ්ඛාවිතරණෙන කථංකථීභාවස්ස, කලාපසම්මසනෙන “අහං මමා”ති ගාහස්ස, මග්ගාමග්ගවවත්ථානෙන අමග්ගෙ මග්ගසඤ්ඤාය, උදයදස්සනෙන උච්ඡෙදදිට්ඨියා, වයදස්සනෙන සස්සතදිට්ඨියා, භයදස්සනෙන සභයෙ අභයසඤ්ඤාය, ආදීනවදස්සනෙන අස්සාදසඤ්ඤාය, නිබ්බිදානුපස්සනාය අභිරතිසඤ්ඤාය, මුච්චිතුකම්‍යතාඤාණෙන අමුච්චිතුකම්‍යතාය, උපෙක්ඛාඤාණෙන අනුපෙක්ඛාය, අනුලොමෙන ධම්මට්ඨිතියං නිබ්බානෙ ච පටිලොමභාවස්ස, ගොත්‍රභුනා සඞ්ඛාරනිමිත්තග්ගාහස්ස පහානං, එතං තදඞ්ගපහානංනාම.
යං පන උපචාරප්පනාභෙදෙන සමාධිනා පවත්තිභාවනිවාරණතො ඝටප්පහාරෙනෙව උදකපිට්ඨෙ සෙවාලස්ස තෙසං තෙසං නීවරණාදිධම්මානං පහානං, එතං වික්ඛම්භනපහානං නාම."

"යං පහානන්ති සම්බන්ධො. “නාමරූපපරිච්ඡෙදාදීසු විපස්සනාඤාණෙසූ”ති කස්මා වුත්තං, නනු නාමරූපපරිච්ඡෙදපච්චයපරිග්ගහකඞ්ඛාවිතරණානි න විපස්සනාඤාණානි සම්මසනාකාරෙන අප්පවත්තනතො? සච්චමෙතං. විපස්සනාඤාණස්ස පන අධිට්ඨානභාවතො එවං වුත්තං. “නාමරූපමත්තමිදං, නත්ථි එත්ථ අත්තා වා අත්තනියං වා”ති එවං පවත්තඤාණං නාමරූපවවත්ථානං. සති විජ්ජමානෙ ඛන්ධපඤ්චකසඞ්ඛාතෙ කායෙ, සයං වා සතී තස්මිං කායෙ දිට්ඨීති සක්කායදිට්ඨි. “රූපං අත්තතො සමනුපස්සතී”ති (සං• නි• 3.81; 4.345) එවං පවත්තා මිච්ඡාදිට්ඨි. තස්සෙව රූපාරූපස්ස කම්මාවිජ්ජාදිපච්චයපරිග්ගණ්හනඤාණං පච්චයපරිග්ගහො. “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසායා”ති (දී• නි• 1.168) ආදිනයප්පවත්තා අහෙතුකදිට්ඨි. “ඉස්සරපුරිසපජාපතිපකතිඅණුකාලාදීහි ලොකො පවත්තති නිවත්තති චා”ති පවත්තා විසමහෙතුදිට්ඨි. තස්සෙවාති පච්චයපරිග්ගහස්සෙව. කඞ්ඛාවිතරණෙනාති යථා එතරහි නාමරූපස්ස කම්මාදිපච්චයතො උප්පත්ති, එවං අතීතානාගතෙසුපීති තීසුපි කාලෙසු විචිකිච්ඡාපනයනඤාණෙන. කථංකථීභාවස්සාති “අහොසිං නු ඛො අහමතීතමද්ධාන”න්ති (ම• නි• 1.18; සං• නි• 2.20) ආදිනයප්පවත්තාය සංසයප්පවත්තියා. කලාපසම්මසනෙනාති “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්න”න්තිආදිනා (ම• නි• 1.361; 2.113; 3.86, 89) ඛන්ධපඤ්චකං එකාදසසු ඔකාසෙසු පක්ඛිපිත්වා සම්මසනවසෙන පවත්තෙන නයවිපස්සනාඤාණෙන ¶. අහං මමාති ගාහස්සාති අත්තත්තනියගහණස්ස. මග්ගාමග්ගවවත්ථානෙනාති මග්ගාමග්ගඤාණවිසුද්ධියා. අමග්ගෙ මග්ගසඤ්ඤායාති ඔභාසාදිකෙ අමග්ගෙ “මග්ගො”ති උප්පන්නසඤ්ඤාය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll