213. සෝවහන් වෙලත් අඬනවා - වැලපෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විශාඛා සිටු දියණිය සෝවාන් මාර්ගඵල ලබල සිටියදීත් ඥාති දියණියක් නැති විම නිසා වැලපෙන්න හේතුව මොකක්ද?

A. ගැඹුරින් ම වුවත්, කාටත් තේරෙන විදිහට කියනවා නම්: සෝවහන් වුණා කියලා හඬන්න වැළපෙන්නට තියෙන හේතු කාරක වන, දුකට හේතුවන දේ සැපයි කියලා හඳුනාගන්න එකයි (හැඟීම / හඳුනා ගැනීම), හිතන එකයි (දැනීම) වත් ද්වේශ මූලික සිත් වත් (ඇලීම්-ගැටීම් වත්) සම්පූරණයෙන් ම නැතිවෙන්නේ නෑ.

මේ පිළිබඳව වැඩිදුර පැහැදිළි කරගැනීම සඳහා "සතර විපල්ලාස හා එහි දොළොස් ආකාරය" මෙන් ම, "කෙලෙස් ප්‍රහාණය" පිළිබඳව දැනුම ඉතා වටී. 

(ඔබට අවශ්‍ය යැයි සිතෙන කොටස් පමණක් උපුටා දක්වා ඇති අතර, පහත මූලාශ්‍රවලින් වැඩිදුර දැනගත හැක.)

# "දුඃඛය සුඛ යයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය, අශුභය ශුභයයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය යන මේ විපර්‍ය්‍යාස සතර සෝවාන් පුද්ගලයන්ට ද ඇත්තේ ය."

# "අනුසයයන් අතුරෙන් දිට්ඨානුසය හා විචිකිච්ඡානුසය සෝවාන් මාර්ගයෙන් ද කාමරාගානුසය පටිඝානුසය යන දෙක අනාගාමි මාර්ගයෙන් ද මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන තුන අර්හත් මාර්ගයෙන් ද ප්‍ර‍හාණය කරනු ලැබේ."

# "දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, විචිකිත්සා සහගත සිත ය යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, (අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන) ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා ද ප්‍ර‍හාණ ය කරනු ලැබේ.

අපායෝත්පත්තියට හේතු වන තරමට ඖදාරික නො වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ලෝභ - ද්වේෂ - මෝහයෝ ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සකෘදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇති වන්නේ ද කලාතුරකිනි. කලාතුරකින් ඇති වන කල්හි ද ඖදාරික වශයෙන් ඇති නොවේ.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- ඖදාරික වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා සකෘදාගාමි මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සූක්ෂ්ම වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සකෘදාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

අනාගාමි මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- කාමරාග සහිත වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙකය යන මේවා අනාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ."


[T. විශාකාව පිළිබඳ කථා පුවත (විසාඛාවත්‍ථු) - https://tipitaka.lk/atta-kn-dhp-16-5/sinh]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll