Q. මා හට කාලයක් තිස්සේ ඇති ප්‍රශ්නයක්; එක සිතක වරකට උපදින්නේ චෛතසික එකක්ද? ගණනාවක් ද? (බොහෝ ගණනක් නම්, චෛතසිකයක ආයු කාලය චිත්තක්ෂණයට අඩු විය යුතුයි නේද?) තෙරුවන් සරණයි!
A. චෛතසික අවම 7ක්, උපරිම 36ක් සමඟ තමා සිතක් උපදින්නේ. චෛතසිකවල "සම්ප්‍රයෝග ලක්ෂණ 4" (මුල්ම 2) අනුව ආයුෂ ගැන සිතා බලන්න. තෙරුවන් සරණයි!
Q. ඒ කියන්නේ චිත්තක්ෂණයක් තුළ චෛතසික 7-36 ක් උපදින බව... ඒ කියන්නේ සිතේ ආයු කාලයට වඩා 1 චෛතසිකයක ආයු කාලය අඩුයි.... උදා:- අවම 7ක් පහළ වූ විට ඒ හතේම ආයු කාලය 1 චිත්තක්ෂණයයි නේද? (බොහොම පිං නොදන්නා උතුම් ධර්මය කියා දෙනවට... දහම් ඇස ම පහළ වේවා !)
A. (ස්තූතියි!) චෛතසික, සිත උපදිනවාත් සමඟ ම ඉපිද, සිත නිරුද්ධ වනවාත් සමඟ ම නිරුද්ධ වන නිසා, චෛතසිකයක/චෛතසිකයන්ගේ ආයු කාලය ද සිතේ ආයු කාලයට ම සමාන වෙයි. කොපමණ චෛතසික ප්‍රමාණයක් එකට පහළ වුවත්, තම තමාට (එකිනෙකට) අනන්‍ය කාර්යභාරය සිදුකරයි. චිත්තක්ෂණයකට (කුඩා ක්ෂණ 3කට/කුඩා ක්ෂණ 3ක එකතුවකට) වඩා අඩු ආයුෂ සහිත කිසිවක් (කිසිදු ශක්තියක්) ලොව/විශ්වයේ නැත. තෙරුවන් සරණයි!!!
S/T. # "මෙකී සම්ප්‍රයොග ලක්ෂණ සතරින් යුක්තව, සිත හා සමගම, සිතෙහිම නියුක්තව, සිතටම ඇතුළත්ව පවත්නා හෙයින් මේ දෙපනස් ධර්මයන්ට චෛතසික යන නාමය ව්‍යවහාර වේ.
මේ චෛතසිකයෝ පනස් දෙදෙනා වෙන් වෙන් වූ ස්වභාව හා වෙන් වෙන් වූ කෘත්‍ය ඇත්තෝම වෙති. හැම සිතක් පාසාම මේ චෛතසික සියල්ලම යෙදෙන්නේ නොවේ. ඒ ඒ සිත්හි යෙදෙන චෛතසික සඞ්ඛ්‍යාව ද වෙනස් වේ. අඩුම ගණනින් චෛතසිකයන් සත් දෙනෙක් ද, වැඩිම ගණනින් චෛතසිකයෝ තිස්හය දෙනෙක් ද යෙදෙත්. යම් සිතක යම් චෛතසික සමූහයක් යෙදෙන්නේ නම්, ඒ චෛතසිකයන් ද සිත හා සමභම ඉපදිම් ආදී සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වේ."
අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 1 - 123 පිටුව.
# "මඳකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම ය. එකට ම නිරුද්ධ වීම ය, සිතින් ගන්නා අරමුණ ම ගැනීම ය, සිත උපදනා තැන ම ඉපදීමය යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ ය.
සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින් වත් වෙන් කළ නො හෙන පරිදි මිශ්‍රවීම ය. එකට ඉපදීම ආදි කරුණු සතරට “සම්ප්‍රයෝග ලක්ෂණ සතරය” යි කියනු ලැබේ.
චෛතසික දෙපනසක් ඇත්තේ ය. ඒ සියල්ල ම එක සිතක් හා එක වර ම උපදින්නේ නො වේ. එක් එක් සිතක් සමඟ උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍යය සිදුකිරීමට වුවමනා චෛතසික පමණෙකි. ආලෝකය හා අන්ධකාරය මෙන් එකිනෙකට විරුද්ධ චෛතසික ද ඇත්තේ ය. අන්‍යොන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලෙක එකට නූපදිති. එබැවින් චෛතසික දෙපනසට ම එක් සිතක් හා බැඳී එක වර නූපදිය හැකිය.
එක් සිතක් සමඟ එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. හත, දහය, එකොළොස, දොළොස යනාදි ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිත් හා උපදිති.
චෛතසිකයන්ගේ සහයෝගය නැති ව සිතකට නූපදිය හැකිය. සිතේ සහයෝගය නැතිව චෛතසිකයකට ද නූපදිය හැකි ය. එබැවින් සිතත්, ඒ සිතින් සිදුකරන කෘත්‍යය සිදු කිරීමට වුවමනා චෛතසික සමූහයත්, පෙර පසු නොවී එක වර ම ඉපදිය යුතු ය. සිත හා එක වරට ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කීයේ එහෙයිනි.
ලීයක අරටුව ඉතිරි වී ඵළය පළමුවෙන් දිරා නැති වී යන්නාක් මෙන්, එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නො වේ. එකක් නිරුද්ධ වෙතොත් එය හා සමඟ ම නිරුද්ධ නොවී අනික් ඒවාට නො පැවතිය හැකිය. එබැවින් සිත හා එක වරම නිරුද්ධ වන බවත් චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.
අරමුණ ගැනීම සිතට අයත් කෘත්‍යය ය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීම ය. අරමුණෙහි රසය විඳීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධවීම යන ආදිය චෛතසිකයන්ට අයත් කෘත්‍යයෝ ය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ, ඒ සිතින් ගන්නා ලද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධව වීම යනාදියය. එබැවින් සිතින් ගන්නා අරමුණ ම ගන්නා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.
සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. යම් කිසි ස්ථානයක සිත උපදී නම්, ඒ සිත හා උපදනා චෛතසිකයෝ ද ඒ ස්ථානයෙහි ම ඒ වස්තුව ම ඇසුරු කර ගෙන උපදී. එබැවින් සිත උපදින තැන ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී."