A. “මෝහය.
අරමුණෙහි සැබෑ තත්ත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මේ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනිය යි ද, අඳුරක් වැනිය යි ද කිය යුතු ය. මේ නිසා සත්ත්වයනට දුක ම මිහිරක් සැටියට, සැපයක් සැටියට පෙනේ. දුක් ඇති වීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක් සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය, නපුරක් සැටියට පෙනේ. සැප ලැබීමේ සැබෑ මඟ දුකක් සැටියට පෙනේ. එබැවින් දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය, දුක් නිවීම වූ සැබෑ සැපය නො දැනීම ය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නො දැනීම ය යන මේවාට මෝහය යයි කියනු ලැබේ. අවිද්‍යාව යයි කියනුයේ ද මේ මෝහයට ය.”
A. “මෝහය.
සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කර ගත නොහෙන සැටියට, යම් කිසි කරුණක සැබෑ ආකාරය හසු කර ගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ, කාරණය වරදවන්නා වූ ධර්මය මෝහය ය. එය සිතට ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නේ කාරණය වරද වන්නේ අන් තැනක සිට ගෙන නොව සිතේ ම සිට ගෙන ය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනි යයි ද, අඳුරක් වැනි යැයි ද, කීමට වටනේය. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්ත්වයනට සකල දුඃඛයන්ගේ ම පැවැත්මට ස්ථාන වූ පඤ්චස්කන්ධය නපුරක් සැටියට නොව සොඳ දෙයක් මිහිරක් සැටියට පෙනේ. ඒ දුක් ඇති වීමේ හේතුව වූ තෘෂ්ණාව සැපයේ හේතුවක් සේ පෙනේ. සත්‍ය වූ සුඛය නපුරක් සැටියට පෙනේ. දුකින් මිදීමේ ප්‍රතිපදාව නපුරක් සැටියට පෙනේ. එබැවින් මේ මෝහය නිසා සත්ත්වයෝ හොඳ මඟ නො යෙති. නො මඟ යෙති. මේ මෝහය නොයෙක් විට පවත්නේ ප්‍රඥාවගේ මුහුණුවරිනි. එබැවින් සත්ත්වයෝ මෝහය වැඩි වැඩි තරමට තුමූ පණ්ඩිතයයි සිතති. අකුශල ක්‍රියාවන්හි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි එය විශේෂයෙන් ම ප්‍රඥා රූපය ගන්නේය. මිථ්‍යා ඥානයයි කියනුයේ ඒ මෝහයට ය. මෝහය, ලෝභය, දෘෂ්ටිය, විතර්කය, විචාරය, චිත්තය යන මේ ධර්මයෝ සදෙන අකුශල පක්ෂයෙහි ඥානය මෙන් පවත්නාහ. ප්‍රකෘතියෙන් නුවණ ඇත්තා වූ උගත් ජනයා කෙරෙහි උපදනා වූ ඒ ධර්මයෝ ඔවුන් නොයෙක් උපාය යොදා පව් කිරීමෙහි සමතුන් කෙරෙති. පව් කිරීමෙහි දක්ෂයන් බවට පමුණුවති. ආදීනව බොහෝ බැවින් අකුශලය නො කළ යුත්තකි. මේ සත්ත්වයනට අනේකාදීනවයෙන් යුක්ත වූ ඒ අකුශලය පැකිළීමක් පසු බැසීමක් නැති ව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ එහි ආදීනවය අකුශල චිත්තයට නො ගත හැකි පරිද්දෙන් වසන මෝහය නිසාය. මෝහයෙන් තොරව අකුශල චිත්තයක් නූපදී. මෝහය හැම අකුශල චිත්තයක ම ලැබෙන්නේ ය.”
A. "තුන්වන සූත්‍රයෙහි මොහං යනු නොදැනීමයි. එය දුකෙහි නොදැනීම, දුක හටගැනීමෙහි නොදැනීම, දුක නැතිවීමෙහි නොදැනීම, දුක නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම යනාදී ක්‍රමයෙන් විභංගයෙහි නොයෙක් ප්‍රභේදයන් ද - එය කරණකොට මුළා වෙයි. තමා හෝ මුළා වෙයි. ඒ මුළාවීම් මාත්‍රයම හෝ මෝහයයි කියනු ලැබේ. එය සිතෙහි අන්ධභාවය ලක්‍ෂණ කොට ඇත. නොදැනීම හෝ ලක්‍ෂණ කොට ඇත. අනවබෝධය රසය (කෘත්‍ය) කොට ඇත. අරමුණෙහි ස්වභාවය වැසීම හෝ රසයයි. මුළාවූ පිළිවෙත වැටහෙන ආකාරයයි. අන්ධකාරය හෝ වැටහෙන ආකාරයයි. අනුවණින් මෙනෙහි කිරීම ආසන්න කාරණයයි. සියලු අකුසලයන්ට මූලයයි දතයුතුය. මෙහි ද පජහථ යන පදය යෙදේ.
මුළා වූ තැනැත්තා අර්ථය නොදනී. මුළා වූ තැනැත්තා ධර්මය නොදනී. මෝහය යම් මිනිසකු මැඬගෙන සිටිනවිට අන්ධභාවය ඇතිකරන අඳුරක් වේ.
5. ‘අනත්‍ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො’
6. ‘මෝහය අනර්ථයක් උපදවන්නේය. මෝහය සිත කෝප කරන්නේය.’
‘අවිජ්ජා භික්‍ඛවෙ පුබ්බංගමා අකුසලානං ධම්මානං එව සමාපත්තියා’
7. ‘මහණෙනි, අකුසල ධර්මයන්ගේ රැස්කිරීම පිණිස අවිද්‍යාව පෙරදැරි වේ.’
‘මොහ සම්බන්‍ධනො ලොකො භබ්බරූපොව දිස්සති’
8. ‘මෝහය හා බැඳුනා වූ ලෝවැසියා හේතු සම්පන්නයෙක් මෙන් දක්නා ලැබේ.’
‘මොහො නිදානං කම්මානං සමුදයාය’
9. ‘මෝහය කර්මයගේ හටගැනීමට හේතු වේ.’"
Q. මුලාව කියනදේ ග්‍රහනය කරන් ඉන්නෙ මෝහයද?
A. ප්‍රධාන වශයෙන් “මෝහය”; (මෝහය සාපේක්ෂව) අප්‍රධානව “තණ්හාව” / “මානය” / “දිට්ඨිය” (මිත්‍යා දෘෂ්ටිය”).