Q. මනසිකාරය සහ සිතිම එකක් ද? දෙකක්ද?
A. මනසිකාරය = නැවත නැවත සිතීම.
“මනසිකාරය” = සෑම සිතක ම ඇති ස්වභාවයක් (චෛතසිකයක්) - එයින් ද නැවත නැවත සිතීම (සිතවීම) කරවනු ලැබේ.
සිතීම = නොයෙක් අරමුණු ගැන සිත් පහළවීම (මනෝද්වාර වීථි ඇතිවීම).
සිතීම = “විතක්කය” නමැති සිතේ ඇති ස්වභාවය (චෛතසිකය) - එයින් උත්සාහයෙන් (සිතා-මතා ම) සිත් පහළ කරනු ද ලැබේ.
[T. "මනසිකාරය.
මනසිකාරය අභිධර්ම පාළියෙහි වෙන් වශයෙන් උදුරා ගෙන දක්වන ලද චෛතසිකයෙකි. එබැවින් එය පිළිබඳ නිර්දේශයක් ද අභිධර්මපාලියේ නැත. එය දක්වා තිබෙන්නේ අටුවාවෙහි ය. එහි ද එය ගැන වැඩි විස්තරයක් නැත. එය ඇති බව තේරුම් ගැනීමට දුෂ්කර වන තරමට අප්‍රකට ධර්මයකි. එය අටුවාවෙහි දැක්වෙන සැටියට සිතට හා සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයන්ට අරමුණු ගැනීම සිහි කර වන්නාක් මෙන් ඒවා අරමුණු ගැනීමෙහි යොදවන ධර්මයකැ යි කිය යුතු ය. උපනුපන් සිත අරමුණු හැර නිරුද්ධ වේ. නැවත නැවත අළුත් සිත් උපදවා අරමුණෙහි යෙදවීම අරමුණු ගැන්වීම මේ චෛතසිකයෙන් කරනු ලැබේ. භවාංග චිත්ත පරම්පරාවට වෙනස් වූ අභිනව චිත්ත පරම්පරාවන් ඇති කරවන්නා වූ අර්ථයෙන් ආවර්ජන චිත්තයන්ට (ආවර්ජන සිත්) ද මනසිකාර යන නම කියනු ලැබේ. “යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර” යන නම් කියනුයේ ආවර්ජන සිත්වලටය.
මනසිකාරය.
සිතට අරමුණෙන් ඉවත් වන්නට නො දී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මනසිකාර නම් වේ. ප්‍රතිසන්ධියෙහි පටන් ම ක්ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත් වන චිත්ත පරම්පරාව, මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපද ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයෙකි.
පඤ්චද්වාරාවජ්ජනය, මනොද්වාරාවජ්ජනය යන සිත් දෙක ආවර්ජන කෘත්‍ය සිදු කරන සිත් ය.
පඤ්චද්වාරාවජ්ජනය යනු පඤ්චද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කර සිතය. මනොද්වාරාවජ්ජනය යනු මනොද්වාරයට පැමිණෙන අරමුණ පළමුවෙන් ම මෙනෙහි කරන සිත ය."