33. විදර්ශනා කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පහල වන අරමුනු විදර්ශනා කරන්නෙ කෙසේද?

A. "... විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි ලක්ෂණ තුන ද දක්නා ඥානය දියුණු කිරීම ය. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍යාදි ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යි ද කියනු ලැබේ.


අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනෙකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හි ම නො පවත්නා බව ය. කලක් පැවැතී නැසෙන බව ය. දුඃඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවය ය. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය, හෙවත් කිසිවකුගේ කැමැත්ත අනුව නො පවත්නා බව ය.

පිළිකුල් භාවනාව පහසුවෙන් ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවෙකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස් මස් පසළොස් දිනක් පිළිකුල් භාවනාව සජ්ඣායනා කර එය ප්‍ර‍ගුණ කර ගෙන ඒ ශාරීරික කොට්ඨාසයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය.

හිසකේ සෑම කල්හි ම නො නැසී පවත්නා දෙයක් නොව කාලයක දී වෙනසට පැමිණෙන්නා වූ ද තවත් කලෙක දී සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණය යි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක් ය. පැසීම ගැලවී යෑම යන මේවා ද හිසකේ නිසා ඇතිවන දුක් ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිසකෙස්වල දුඃඛ ලක්ෂණය ය. කොට කර කැපූ හිසකේ දික් නො වන ලෙසට ද, කළු හිසකේ කිසිවකුට නො පැවැත්විය හැකි ය. ස්වභාව ධර්මයේ සැටියට මිස කිසිවකු ගේ අදහසේ සැටියට හිසකෙස්වල නො පවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුව ද ඒවායේ අනාත්ම ලක්ෂණය ය. එසේ සියලු කොටස්වල ම අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය සලකමින් මෙසේ භාවනා කරනු. ...

මෙසේ භාවනා කිරීමෙන් වන්නේ ද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදුවීම පමණකි. කිසිම තේරුමක් නැති ව යම් කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමි යි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. (විදර්ශනා භාවනාව මනා කොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම පොතක් වූ “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බලා භාවනා කරත්වා.)"


"විදර්ශනා භාවනාව.

විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්ෂණ තුන මෙනෙහි කිරීම ය. නුවණින් බැලීම ය. විදර්ශනා භාවනාව ගැන විස්තර දැන ගැනීමට කැමති නම් විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොත කියවන්න. කේසාදි කොටස් දෙතිස විදර්ශනා කරන්නේ මෙසේ ය:

විදර්ශනා භාවනා වාක්‍යය.

මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්තේ සැටියට නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයෝ විකාරයට පැමිණෙන බැවින් නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ කැමැත්ත පරිදි නොපවත්නා බැවින් අනාත්මයෝය.

මෙසේ කොටස් දෙතිස ගැන ම භාවනා කරනු."

https://pitaka.lk/books/pohoya-dinaya/32.html

"විදර්ශනා කර්‍මස්ථානය.

සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන් ලබා දී සසර දුකින් මුදවා සත්ත්වයා නිවනට පමුණුවන භාවනාව විදර්ශනා භාවනාව ය. විශුද්ධි සත ය, ලක්ෂණ තුන ය, අනුපස්සනා තුනය, විදර්ශනාඥාන දශය ය, විමෝක්ෂ තුන ය, විමෝක්ෂමුඛ තුන ය යන මේවා විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් දත යුතු ප්‍ර‍ධාන කරුණු ය. >>>"

https://pitaka.lk/books/abhidharma-margaya/10-12.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll