[Watch in 4K — Recommended Resolution.]


156. නවගුණ වැල ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නවගුණවැල ගැන විස්තර කියන්න පුළුවනි ද, දැනගන්න කැමතියි ඒ ගැන. තෙරුවන් සරණයි !!!

A. "නව ගුණවැල

නව ගුණවැල භාවනාව ප්‍ර‍මාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වල දී ම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයෙකි. බුද්ධානුස්මෘතිය වැඩීමට ඇට සියයක් ඇති නව ගුණ වැලක් ගත යුතු ය. නව ගුණ වැල පාවිච්චි කරන්නවුන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නො කොට වාර ගණන ගැන සැලකිය යුතු ය. මෙ පමණ වාර ගණනක් භාවනා කරමියි වාර ගණන නියම කරගෙන නව ගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැණ ගත යුතු ය. එක් හිඳ ගැනීමක දී සිය වරකට අඩු නො වන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඉතා යෙහෙකි. උදය කාලයේ පන්සිය වාරයක් හා සවස් කාලයේ පන්සිය වරක් ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකි ය.

භාවනාව වියදමක් නැති ව කාහටත් කරගත හැකි උසස් පින්කමෙකි. රැකී රක්ෂා කරන්නවුන්ට ඒවා කරමින් ම භාවනා කළ හැකි ය. රෑ නිදන්නට සූදානම් වන කල්හි නින්ද යන තුරු භාවනා කළ හැකි ය. ඉර උදාවන තෙක් නො නිදා කල් ඇති ව නැගිට එළිය වැටෙන තුරු භාවනා කළ හැකි ය. ඒ වේලාව භාවනා කිරීමට ඉතා ම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේ ද, බුදුවරු බුදු වන්නේ ද ඒ වේලාවේ ය. ගමනක් යන තැනැත්තාට යෙමින් ම භාවනා කළ හැකි ය. වෙළෙන්දාට බඩු ගැනීමට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට යන තෙක් භාවනා කළ හැකි ය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකි ය. දිනපතා භාවනාවට නියම කර ගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවල දී ද භාවනා කරන්නට පුරුදු කර ගත යුතු ය. අත් නො හැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොව දී ම දක්නට ලැබෙනවා ඇත.

නානාරම්මණයෙහි වික්ෂිප්ත ව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මණින් ම එක අරමුණක තැබිය හැකි තැනට නො පැමිණ විය හැකි ය. එයට කලක් ගත වේ. එයට වීර්‍ය්‍ය කරන කල්හි සිත කය දෙක ම වෙහෙසට පත් වේ. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේ ය. එයින් ශරීරය දුබල විය හැකි ය. හිසේ රෝග ඇස් රෝග කන් රෝග ළයේ රෝග කුස තුළ වාත රෝග තුනටියේ වාත රෝග ඇති විය හැකි ය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නො විය යුතු ය. පටන් ගැනීමේදී එක් වරකට පැය කාල බාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍ර‍මයෙන් පුරුදු කර ගත යුතු ය. පටන් ගැනීමේ දී ම දවස මුළුල්ලේ ම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතු ද විය හැකි ය. යම්කිසි ආබාධයක් භාවනාව නිසා ඇති වුවහොත් එය සුවවන තුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතු ය.

පරෙස්සම් විය යුතු කරුණක්

කියන ලද ක්‍ර‍මයෙන් බුද්ධානුස්මෘති භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතු ය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොයෙක් දේ පෙනෙන්නට වේ. සමහර විට දෙවිවරුන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන් ද රූපත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඔවුන් විසින් නොයෙක් දේ කියනු ඇසෙන්නට ද පුළුවන. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නො යා යුතු ය. ඒවා පෙනුණු කල්හි සිත ඒවාට යොමු කළහොත් ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකි ය. එබැවින් ඒවාට සිත යොමු නොකර භාවනාව ම කරනු. භයානක රූප පෙනුණත් භයානක හඬ ඇසුණත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නො වන නිසා නොබිය විය යුතු ය. ඒ පෙනෙන ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නට ද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරෙස්සම් විය යුතු ය. ඒවායේ සත්‍යාසත්‍ය සොයන්නට ගිය හොත් වඩා මුළා විය හැකි බැවින් පෙනුණ කෙණෙහි ම ඒවා බැහැර කරනු. බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නො කර නො බලා හැරීම ය."


Q. 108ක් තිබුණත් කමක් නැද්ද? මම ගාව තියෙන්නේ 108 ක් තියෙන එකක්...

A. මා දන්නා බොහෝ ඒවා ද 108 කි; 108 වරක් කිරීමෙන් / කීමෙන් ඕනෑම දෙයක් ආකර්ෂණය (ජප) වන බව ද කියනු ලැබේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll