27. විඤ්ඤාණ පිළිබඳ පූර්ණ විග්‍රහ කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චක්ඛු විඤ්ඤාණං කියු තැන විඤ්ඤාණයත්,, චිත්ත මනෝ විඤ්ඤාණ කියූ තැන විඤ්ඤාණයත්,, ස්ඛන්ධ පංචකය තුළ විඤ්ඤාණයත්,, පටිච්චසමුප්පාදය තුළ සංඛාර පච්වයා විඤ්ඤාණං කියූ තැන විඤ්ඤාණයත් යන මේ සතර තැන්හි විඤ්ඤාණයන් පිළිබඳ පූර්ණ විග්‍රහයක් ලබා ගත හැකිද?

A. “චක්ඛු විඤ්ඤාණං යනු ඇසෙහි විඤ්ඤාණය හෙවත් ඇස හේතුකොට හටගත් විඤ්ඤාණය නුයි චක්ඛු විඤ්ඤාණ නම් වේ. සොත- සාන-ජීව්හා-කාය විඤ්ඤාණයෝ ද මෙසේයි. අන්‍ය වූ මනො විඤ්ඤාණ නම් චිත්තයම විඤ්ඤාණ වූයේ නුයි මනෝ විඤ්ඤාණ නම් වේ. දෙපස් විඤ්ඤාණයන් තොරකොට ඇති තෙභූමක විපාක චිත්තයට මේ මනෝ විඤ්ඤාණ යනුම කී.”
“චක්ෂුස චක්ෂුර්ධාතු ද යත්: දිව්‍යචක්ෂුස ප්‍රඥාවක්ෂුස චක්ෂුස යැ, චක්ෂුර්ධාතු නො වෙයි. චක්ෂුර්ධාතුව චක්ෂුස වූයේ ම චක්ෂුර්ධාතු ද වේ. චක්ෂුර්ධාතුව චක්ෂුස ද යත් : එසේ යි.”
“මනස මනෝධාතු ද යත් : මනෝධාතුව තබා අවශේෂ වූ මනස මනස යැ, මනෝධාතු නො වෙයි. මනෝධාතුව මනස ද වූයේ ම මනෝධාතු ද වේ. මනෝධාතුව මනස ද යත්: එසේ යි.”
“මනෝවිඥානය මනෝවිඥානධාතු ද යත් : එසේ යි. මනෝවිඥානධාතුව මනෝවිඥාන ද යත් : එසේ යි.”

“චක්ඛු විඤ්ඤාණං - චක්ඛු ප්‍රසාදය නිශ්‍රිත කුසල අකුසල විපාක විඤ්ඤාණය. සියළු තැන මෙම නයයි.”

“චක්‍ෂුර් ආයතනාදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. චක්‍ඛු විඤ්ඤාණන්ති කුසලාකුසල විපාකයෙන් චක්‍ෂුර් විඥාන දෙකයි. සෙසු ප්‍රසාද විඥානයන්හි ද මේ ක්‍රමයයි. මේ දහය හැර මෙහි සෙස්ස මනෝවිඥාන නමි.”

“විඥානස්කන්ධය යනු එකුන් අනූ චිත්තය ය. අතීතාදි වශයෙන් අනේකප්‍ර‍කාර වන විඤ්ඤාණ රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥානස්කන්ධ යයි කියනු ලැබේ.

සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පඤ්චස්කන්ධයට අයත් ය. අතීතාදි වශයෙන් ප්‍රභේදයක් නැතිව එක ම ධර්මයක් ම පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍ර‍හයට ඇතුළත් නො වේ.
විඥානෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූව ය.”

“ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇති වන විඤ්ඤාණය ය. ලෝකෝත්තර විපාක මෙහි නො ගනු ලැබේ.”

“සිත් අසූනවයෙන් චක්ඛු විඤ්ඤාණ දෙක චක්ඛු විඤ්ඤාණධාතුව ය. සෝත විඤ්ඤාණ දෙක සෝත විඤ්ඤාණධාතුව ය. ඝාන විඤ්ඤාණ දෙක ඝාන විඤ්ඤාණධාතුව ය. ජිව්හා විඤ්ඤාණ දෙක ජිව්හා විඤ්ඤාණධාතුව ය. කාය විඤ්ඤාණ දෙක කාය විඤ්ඤාණධාතුව ය. පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය යන මේ සිත් තුන මනෝධාතුව ය. ඉතිරි සිත් සැත්තෑසය මනෝවිඤ්ඤාණ ධාතුව ය. චෛතසික දෙපනස ය. සූක්ෂ්මරූප සොළොස ය, නිර්වාණය යන මේවා ධර්ම ධාතුව ය.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll