215. බුද්ධපූජාව තැබිය යුතු සුදුසු ම වෙලාව කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මම නිවසේදී උදෑසන බුද්ධ පූජාව සෑම දිනකම තබනවා. නමුත් දරුවාගේ රැකබලාගැනීමේ කටයුතු එක්ක උදේ 9ට 9.30ට පමණ තමයි බුද්ධ පූජාව සිදු කරන්නේ. නමුත් පසුගිය දිනෙක අප නිවසට පැමිණි නැන්දා කෙනෙක් මෙය දැක පැවසුවා මා කරන්නේ වරදක් බව. උදෑසන බුද්ධ පූජාව උදේ 8ට පෙර තැබිය යුතු බවත් නැතිනම් පව් සිදු වන බවත් ඇය පැවසුවා. එසේ පැවසූ පසු මා සැමදාම බුද්ධ පූජාව සිදු කරන විට මා කරන්නේ වරදක් ද කියා මගේ සිතට එනවා. එය එසේ ද?

A. (බොහෝ සැප-සම්පත් හා සුගතිය ලබාදෙන බුද්ධ පූජාවේ උසස් ම කුසලය ලැබීමට නම් ජීවමාන බුදුහිමියන් ම අරමුණු කළ යුතුය, එබැවින්:)

අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්යයන් වහන්සේලා ආහාර වළඳන බැවින්, සාමාන්‍යයෙන් වේලාව දවල් 12ට කලින් බුද්ධ පූජාව තැබීම සුදුසු බව කිව යුතුය.

පෙර දින මධ්‍යාහ්න කාලයෙහි සිට බුද්ධාදි ආර්යයන් වහන්සේලා නිරාහාරව සිටින බැවින්, (උදේ 8ට පෙර ම නොව) අරුණෝදයේ ආරම්භයත් සමඟ ම (හැකිතාක් උදෑසන ම) බුද්ධ පූජාව තැබීම වඩාත් සුදුසු බව කිව යුතුය.

[බෞද්ධයෝ අතර දැනට කෙරෙණ පරිදි උදෑසන ම හා දවල් 12ට පෙර ('උදෑසන බුද්ධපූජාව' හා 'දහවල් බුද්ධපූජාව') වශයෙන් දෙවතාවක් කිරීම ඉතාම සුදුසු බව ඒ අනුව පෙනෙන අතර, දවල් 12ට පෙර එක් වරක් හෝ කිරීම ද වරදක් - පාපයක් - අකුශලයක් නොවේ.]

වැඩිදුර, මූලාශ්‍ර හා උපකාරක පහත පෙළගස්වා ඇත: 

# "පූජා බුද්ධිය හා අනුග්‍රහ බුද්ධිය ලෙස දක්වා ඇති කොටස් දෙකකි. ශීලා දී ගුණ ධර්මයන්ගෙන් යුතු  බුද්ධාදි, මහ සංඝරත්නය වැනි උතුමන් වෙත පූජා කරන දානය පූජා බුද්ධි වශයෙන් සැළකෙන අතර දුගී මගී යාචකාදීන්ට මෙන්ම නැති බැරි අයට අනුකම්පාවෙන් දෙන දානය අනුග්‍රහ බුද්ධි දානයට අයත් වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්යය මහ සංඝරත්නයට පූජා බුද්ධියෙන් දන් පූජා කොට, එම පුණ්‍යානුමෝදනාවෙන් කොටසක් පරලොව ගිය ඤාතීන් කෙරෙහි මෛත්‍රී සහගත අනුකම්පාවෙන් පින් අනුමෝදන් කිරීම අනුග්‍රහ බුද්ධියට ද ගත හැකි බව පෙනේ."

# "දානය:- පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.

දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ."

# "... පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාව එවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේ ගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජාකරන්නහු ගේ පිනට කිසි හානියක් නැති බව කිය යුතු ය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන්, පූජා කරන්නහු ගේ සිත සම නම් සමානානිසංසයක් ලැබෙන බව “තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං” යන විමානවත්ථු දේශනාව අනුව කිය යුතු ය. ....

අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය."

# "අසත්පුරුෂ දාන පස

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”

යනුවෙන් “අංගුත්තර නිකාය” පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

1. ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
2. දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
3. සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
4. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
5. මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍ර‍තිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍ර‍තිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍ර‍තිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍ර‍තිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.

දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය."

# "අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ආහාර වළඳන්නා හ."

# "ඉර මුදුනට පැමිණීම පටන් පසුදින අරුණෝදය තෙක් කාලය බුද්ධාදීන් විසින් අහර නො වළඳනා කාලය ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll