162. කෙලෙස් ඇතත්, සුගතියේ යන්නේ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කෙලෙස් සහිත ව මරණයට පත් වුනොත් අපායෙන් දුගතියෙන් මිදෙන නවදෙනෙක් සිටිනා බව සුත්‍ර දේශනාවක සඳහන්, ඒ "සෝපාදිසේස සූත්‍රයේ" විය යුතුයි (මතකයෙ  හැටියට). ඒ නවදෙනා. කවුරුන්ද යන වග සඳහන් කරන්න පුළුවන්නම් බොහොම හොඳයි. තෙරුවන් සරණයි..!!!

A. සඋපාදිසෙස සූත්‍රය.

සෝපාදිසේස සූත්‍රය.

1. අන්තරාපරිනිබ්බායී - අවිහාදීන් අතුරින් යම්කිසි ශුද්ධාවාසයෙකැ ඉපිද එහි ආයුඃප්‍ර‍මාණයෙන් මධ්‍යයට නොපැමිණ පිරිනිවෙනුයේ අන්තරාපරිනිබ්බායී යැ.
2. උපහච්චපරිනිබ්බායී - ආයු මධ්‍යය පසු කොට පිරිනිවෙනුයේ උපභච්චපරිනිබ්බායී යැ.
3. අසංඛාරපරිනිබ්බායී - නිරුත්සාහයෙන් මාර්‍ග උපදවා පිරිනිවෙනුයේ අසංඛාර පරිනිබ්බායී යැ.
4. සසංඛාරපරිනිබ්බායී - උත්සාහයෙන් මතු මාර්‍ග උපදවනුයේ සසංඛාරපරිනිබ්බායී යැ.
5. උද්‍ධංසොතවූයේ අකනිට්ඨාගාමී (උද්ධංසොතො හොති අකනිට්ඨගාමී) - උපන් ශුද්‍ධාවාස භූමියෙන් ක්‍ර‍මයෙන් මතු - මතු ලොකයට යමින් අකණිටාව තෙක් යන්නේ උද්‍ධංසොතඅකණිට්ඨගාමී යැ.
6. සකදාගාමී - දෙවන (ශකෘදාගාමි) මාර්‍ගප්‍ර‍ඥාව වඩා එක්වරක් ම මිනිස් ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ශකෘදාගාමි වේ.
(මේ වූ කලී පස්වැදෑරුම් ශකෘදාගාමීන්ගෙන් අන්තය යැ. ඒ මෙසේයි:- කෙනෙක් මෙහිද ශකෘදාගාමි ඵලය ලබා මෙහිම පිරිනිවෙති. කෙනෙක් මෙහි ශකෘදාගාමිවැ දෙව්ලොව ඉපිද එහිදී පිරිනිවෙති. කෙනෙක් දෙව්ලොව ශකෘදාගාමිවැ එහිදී ම පිරිනිවෙති. කෙනෙක් දෙව් ලොව ශකෘදාගාමි වැ මෙහි ඉපිද මෙහිදී පිරිනිවෙති. කෙනෙක් මෙහිදී ශකෘදාගාමිවැ දෙව් ලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට නැවැතැ මෙහි ඉපිද පිරිනිවෙති. මේ පස්වැන්නා මෙහි ගැනේ - ටීකා)

7. එකබීජ - තියුණු විදසුනෙන් ආගත වූ තියුණු ශ්‍ර‍ද්ධාදි ඉඳුරන් ඇත්තේ එකම ප්‍ර‍තිසන්‍ධියක් ලැබ සසර දුක් කෙළවර කරන්නේ ඒකබීජ නම් වේ.
8. කොලංකොල.
9. සත්තක්ඛත්තුපරම.
9-8. කලෙකැ දෙව් ලොව ද, කලෙකැ මිනිස් ලොවදැ යි මිශ්‍ර‍ක වශයෙන් සුගති භව සතෙකැ ඉපදීම සත්තක්ඛත්තුපරමතාව යැ. කොලංකොලභාවය ද මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි මිශ්‍ර‍වැ ඉපිද දුක් කෙළවර කිරීමයි. මෙහි කුල වශයෙන් ගැනෙණුයේ මහාසාරකුලමැ යි. හෙද කුල දෙක තුනකැයි කිව ද භව සය තෙක් ද ඉපදිය හැකි යි. මිනිස් ලොව හෝ දෙව් ලොව හෝ එකම අත්බවක් ලබා දුක් කෙළවර කිරීම එකබීජීයැ. (මේ වූකලී ත්‍රිවිධ මාර්‍ගවිදර්‍ශනාවන් ගේ වශයෙන් නියමය වේ. මතු තුන්මග විදර්‍ශනා බලවත් වී නම් එකබීජි වේ. මධ්‍යම වී නම් කෝලංකොල ද, මන්‍ද වී නම් සත්තක්ඛත්තුපරම ද වේ. මේ ටීකානුගත යි.)

විශේෂ:- අවිහයෙහි උපන් කෙණෙහි රහත් වැ පිරිනිවෙන්නෙකැ, ආයු මධ්‍යයට නො පැමිණ පිරිනිවෙන්නෙක, ආයු මධ්‍යයෙහි පිරිනිවෙන්නෙක යි අන්තරාපරිනිබ්බායීහු තිදෙනෙක් හා උපභච්චපරිනිබ්බායී එකෙක, උද්ධංසොත අකණිඨගාමි එකෙකැ යි පස්දෙනකි.

ඔහු පස් දෙන අසංඛාර පරිනිබායී පසෙක සසංඛාර පරිනිබ්බායී පසෙකැ යි දස දෙනෙක් වෙති. අත්පපාදි තුනෙහි ම එසේම දසදෙනා බැගින් වෙති. අකණිඨකයෙහි උද්‍ධංසොත අකණිඨගාමී හැර සතර දෙනෙකි.

හෙද සසංකාර - අසංඛාර භේදයෙන් අටදෙනෙකැ යි මෙසේ අනාගාමී ආර්‍ය්‍යයෝ අටසාලිස් (48) දෙනෙක් වෙති.

තවද අවිහාදි පිළිවෙලින් අකණිට්ඨකය තෙක් (පිළිවෙලින්) ගොස් එහිදී රහත්වැ පිරිනිවෙනුයේ උද්‍ධංසොත අකණිට්ඨගාමි නම් වේ.

අකණිට්ඨකයට නො පැමිණි සුදස්සිය තෙක් යට සිවු බඹලොවෙහි සැරිසරා පිරිනිවෙනුයේ උද්‍ධංසොත නමි.

අකණිඨයෙහිම ඉපිද පිරිනිවෙනුයේ න උද්‍ධංසොත අකණිට්ඨගාමි යැ, යට සතර සුද්ධාවාසයන්හි ඉපිද එහිම පිරිනිවෙනුයේ න උද්‍ධංසොත - න අකණිඨගාමි යැ යි මෙසේ උද්‍ධංසොත අකණිට්ඨගාමිහු සතර දෙනෙකි. මේ එකම චතුෂ්කයක් සේ ගැනිණි.

සිව් වැනි මාර්‍ග ප්‍ර‍ඥාව වඩා කිසි කෙනෙක් ප්‍ර‍ඥාවිමුක්ත වෙති.

කිසි කෙනෙක් උභතොභාගවිමුක්ත වෙති.

කිසි කෙනෙක් ෂඩභිඥ වෙති.

කිසි කෙනෙක් ප්‍ර‍තිසම්භිදා ප්‍රභෙදගත මහාක්‍ෂීණශ්‍ර‍ව වෙත්.

ආර්‍ය්‍යපුද්ගල භේද:- පෙරැ කී ත්‍රිවිධ සෝතාපන්නයෝ දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤාචි සතර ප්‍ර‍තිපදා වශයෙන් දොළසෙකි.

උපුටා ගැනීම් හා වැඩිදුර: https://pitaka.lk/books/vishuddhi-margaya/25-3.html

T. "පඤ්ඤාධිප්පායෙන භාසිතො යනු ඔහු විසින් අසන ලද ප්‍රශ්නයට සමාන දෙයින් කියන ලදැයි දක්වයි, මෙම නවවැදෑරුම් පුද්ගලයන්ගේ භවයන්හි ඡන්‍දරාගය දුරුකිරීම සඳහා එයම අර්‍ත්‍ථොත්පත්ති කොට “යම්සේ නම් මහණෙනි සුළු වූ ද අසූවිය දුගඳ වේද එපරිද්දෙන්ම මහණෙනි, මම අල්පමාත්‍ර වූ ද භවය යටත් පිරිසෙයින් අසුරුසණක් ගසන කාලයකුදු නොවණමි.” යන මෙම සූත්‍රාන්තය දෙසූසේක. හුදෙක් මේ පුද්ගලයන් නව දෙනාගේ පමණක් ගතිය ක්‍රමවත් වූයේ නොවේ. යම් කුලයන්ගේ තිසරණය, පන්සිල් එක්ලහබතක්, එක් පක්ෂයක බතක්, එක් වස්වසන්නන්ට දෙන බතක්, එක් පොකුණක්. එක් ආවාසයක්, යන මෙබඳු වූ අඛණ්ඩව කෙරෙන පින් ඇත්තේද ඔවුන්ගේ ගතිය ද ක්‍රමවත් වූයේය. ඒ කුලයෝ සෝවාන් වූවන්ට සමාන වෙති."

"පඤ්හාධිප්පායෙන භාසිතොති තයා පුච්ඡිතපඤ්හස්ස සභාවෙන ¶ කථිතොති දස්සෙති. ඉමෙසං පන නවන්නං පුග්ගලානං භවෙසු ඡන්දරාගවිනොදනත්ථං එතමෙව අත්ථුප්පත්තිං කත්වා – “සෙය්‍යථාපි, භික්ඛවෙ, අප්පමත්තකොපි ගූථො දුග්ගන්ධො හොති, එවමෙව ඛො ඛ්වාහං, භික්ඛවෙ, අප්පමත්තකම්පි භවං න ¶ වණ්ණෙමි අන්තමසො අච්ඡරාසඞ්ඝාතමත්තම්පී”ති ඉමං සුත්තං (අ· නි· 1.321) අභාසි. න කෙවලඤ්ච එතෙසංයෙව නවන්නං පුග්ගලානං ගති නිබද්ධා, යෙසං පන කුලානං තීණි සරණානි පඤ්ච සීලානි එකං සලාකභත්තං එකං පක්ඛියභත්තං එකං වස්සාවාසිකං එකා පොක්ඛරණී එකො ආවාසො, එවරූපානි නිබද්ධපුඤ්ඤානි අත්ථි. තෙසම්පි ගති නිබද්ධා, සොතාපන්නසදිසානෙව තානි කුලානි."

C. "කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්‍ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි."

"කතමො ¶ ච පුග්ගලො නියතො? පඤ්ච පුග්ගලා ආනන්තරිකා, යෙ ච මිච්ඡාදිට්ඨිකා නියතා, අට්ඨ ච අරියපුග්ගලා නියතා. අවසෙසා පුග්ගලා අනියතා."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll