210. කුසල්-අකුසල් තෝරාබේරා ගන්නේ කෙසේ ද? | “කුසලාකුසල විනිශ්චය” කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අපි කොහොම ද මොකක් හරි අපි කරන ක්‍රියාවක් කුසලයක් ද අකුසලයක් ද කියලා හරියට ම වෙන් කර ගන්නේ? 

මොකක් ද ඒකට ගන්නා නිර්නායක?

අපි දන්නා කුසල් අකුසල් නම්, අපිට දැනුමක් තියේ නෙ.

අපි නොදන්නා දෙයක් කොහොම ද එහෙම වෙන් කර ගන්නේ?

A. ඔව් - ඔබ කී පරිදි, පස්පව් කිරීම-නොකිරීම; දස කුසලය - දස අකුසලය; දස පුණ්‍යක්‍රියා; ත්‍රිවිධ සුචරිතය - ත්‍රිවිධ දුශ්චචරිතය; ත්‍රිවිධ පුණ්‍යක්‍රියා; ධර්ම ආදාස ක්‍රමය, අත්තාධිපතෙය්‍ය - ලෝකාධිපතෙය්‍ය - ධම්මාධිපතෙය්‍ය; විපාක (ප්‍රතිඵල) අනුව, අත්තූපනායික ධර්ම පරියාය (තමා වෙත පමුණුවා, තමා උපමා කොට, තමා හා සසඳා බැලීමේ ක්‍රමවේදය) ආදී ලෙස හා  කුසල් - අකුසල්; පුඤ්ඤ - පාප; ධම්මචරියා - අධමිමචරියා; සම චරියා - විසම චරියා; සම්මාජීව - මිචිඡාජීව; අරිය - අනරිය; සප්පුරිස (සත්පුරුෂ) - අසප්පුරිස (අසත්පුරුෂ); කල්‍යාණ (කල්‍යාන) - පාප; සමාජ විරෝධී - සමාජ විරෝධී නොවන; සදාචාර සම්පන්න - සදාචාර සම්පන්න නොවන; පිං (පින්) - පව්; හොඳ - නරක, චේතනාව ආදී ලෙස ද අපි සාමාන්‍යයෙන් දන්නා බොහෝ නොයෙක් ක්‍රම වේදයන් - නිර්නායකයන්, කුසල් - අකුසල් වෙන්කර හඳුනා ගැනීමට දක්වනු ලැබේ. ඒවායින් ද වඩා සාර්ථක කර්මය, කුසල් මූල හා අකුසල් මූල මත පිහිටා විපාක අනුව (අභිධර්මානුකූලව) කරනු ලබන විභේදනය යි (එය පහත රේරුකානේ හිමියන්ගේ "අභිධර්මයේ මූලික කරුණු" සහ "අභිධර්ම මාර්ගය" තුළින් අත්‍යවශ්‍ය කොටස් සුළුවෙන් දක්වා ඇත).

[කුසලාකුසල මූල සූත්‍රය : https://pitaka.lk/main?n=28169]

එහෙත්, නියමාකාරයෙන් ම කුසල් - අකුසල් වෙන්කර හඳුනා ගැනීමට නම්, ගැඹුරු දහම් දැනුමක් (ධර්ම ඥානයක්) හා තමාගේ සිත පිළිබඳව මනා/දැඩි අවධානයක් හා අවබෝධයක් අවශ්‍ය ම ය.

යමක් සිතීමේ දී, කීමේ දී, කිරීමේ දී සිතේ (කර්ම සිත්වල / ජවන සිත්වල) යෙදෙන සිතුවිලි (චෛතසික / සිතේ ස්වභාවයන් / සිතේ ගති) අනුව කෙරෙන විභජනය (බෙදීම) ගැඹුරුතම හා සාර්ථක ම මෙන් ම දුරවබෝධ (තේරුම් ගැනීමට දුෂ්කර) ම කුසලාකුසල (කුසල්-අකුසල්) විනිශ්චයයි.

# ඒ අනුව, "කුශල චිත්තය හා අකුශල චිත්තය.

කුශලය කුමක් ද? අකුශලය කුමක් ද? ඇතැම් ධර්මයක් කුශල වනුයේ කවර හේතුවකින් ද? ඇතැම් ධර්මයක් අකුශල වනුයේ කවර හේතුවකින් ද? යන මේ කරුණු සාමාන්‍ය ජනයාට අවිෂය වූ ගැඹුරු කරුණු ය. සාමාන්‍ය ජනයා අනුන් කියනු ඇසූ නිසා ඇතැම් කරුණු කුශලයන් වශයෙන් ද ඇතැම් කරුණු අකුශලයන් වශයෙන් ද පිළිගෙන සිටිනවා මිස ධර්මයන් ගේ කුශලාකුශලත්වය ගැන කිසිවක් නො දන්නෝ ය. කුශලාකුශලයන් පිළිබඳව නොයෙක් වාද ඇති වන්නේ ද ඒ නොදැනීම නිසාය. මේවා පිළිබඳ හොඳ දැනුමක් ඇති අය පැවිදි පක්ෂයේ ද සුලබ නො වෙති. කාරණානුකූලව බැලීමෙන් මිස වචනාර්ථානුසාරයෙන් ද මේ ධර්මය තේරුම් නො ගත හැකිය.

ජවන චිත්තයාගේ කුශලාකුශල භාවය සිදු වන්නේ එය හා මිශ්‍ර‍ වන චෛතසික ධර්මයන් ගෙනි. චෛතසිකයන් අතර ඒවා උපදනා සන්තානය දවන තවන පෙළන අශාන්ත ස්වභාවය ඇති චෛතසික කොටසක් වේ. උපදනා සන්තානය පිනවන වඩන සෞම්‍ය චෛතසික කොටසක් ද වේ. ලෝභ ද්වේෂ මෝහාදීහු සන්තානය දවන තවන චෛතසිකයෝ ය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා මෛත්‍රී කරුණාදීහු සන්තානය පිනවන සෞම්‍ය චෛතසිකයෝ ය. ..."


# අකුසල් සිත් ද කුසල් ස්වරූපයෙන් හා කුසල් සිත් ද අකුසල් ස්වරූපයෙන් ලෙසින් ඇතිවිය හැකි බැවින්, කුසලාකුසල  විනිශ්චය (කුසල්-අකුසල් තෝරාබේරා ගැනීම) අතිශයින් ම දුෂ්කරය, සිවුම්ය, සූක්ෂමය.


උදාහරණ: "අකුසල් සිත් .... ලෝභමූල සිත් අට.

මේ දේ හොඳ ය, ලස්සන ය, මිහිරි ය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභය ය. ආශාවය - ඕනෑකම ය - රාගය ය - ගිජු කම ය - කැතකම ය - ආදරය - ප්‍රේමය යන නම් වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. ....

ලෝභමූල සිත් ඇති වන අවස්ථා.

අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, සම්පප්‍ර‍ලාපය, අභිධ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්ම පථ සත කෙරෙන්නේ, ලෝභමූල සිත් වලිනි.

තව ද සුරාපානය - සූදුව - අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳිනු පිණිස නැටීම හා නැටුම් බැලීම, වීණා ආදිය වාදනය කිරීම හා ඇසීම, ගී කීම හා ඇසීම, ආස්වාදය පිණිස සුවඳ ඇඟ ගැල්වීම, ලස්සන ඇඳුම් පැළඳුම් හැඳීම, පැළඳීම, ආස්වාදය පිණිස මිහිරි බොජුන් වැළඳීම, මිහිරි පානයන් බීම, රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලීම, ක්‍රීඩා කිරීම, ක්‍රීඩා බැලීම, ධනය සැපයීම සඳහා නොයෙක් දේ කිරීම, ධනය ලබා ගැනීම, ලබා ගත් ධනය ආරක්ෂා කිරීම, ප්‍රිය වස්තූන් ලැබීම සඳහා ධනය දීම, ඇඳුම් පැළඳුම් ගෙවල් රිය ආදි ප්‍රිය වස්තූන් පිළියෙළ කිරීම, ඒවා පරිභෝග කිරීම යන මේවායේ දී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

තරුණ තරුණියන් ඔවුනොවුන් දැකීමේ දී ඔවුනොවුන් හා කථා කිරීමේදී ඔවුනොවුන් හා ගනුදෙනු කිරීමේදී අඹුසැමියන් ඔවුනොවුන් දැකීමේදී ප්‍රිය කථා කිරීමේදී භාර්‍ය්‍යාවන්ට දූ දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් සැපයීමේදී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. විනෝද ගමන් යෑමේදී ද බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. දූ දරුවන් පෝෂණය කිරීමේදී ඔවුන් සුරතල් කිරීමේ දී ඔවුනට ආවාහ විවාහ කරදීමේදී බොහෝ කොට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යන තුරු දවස මුළුල්ලේ ඇති වන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බව ම කිය යුතු ය.

[අකුසල් වන/නොවන ...]

ශ්‍ර‍ද්ධාව - මෛත්‍රිය - කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයීම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නො වේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදැරි කරගෙන ධන සැපයීම් ධනය පරෙස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම් හැඳීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නො වේ.

රසය ගැන අපේක්ෂාවෙන් හෝ ශරීරය ලක්ෂණ කර ගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙළ කරන්නා හට ද වළඳන්නාහට ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

සාගින්න සන්සිඳවා ගැනීම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂා කොට ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇති වන්නේ අකුසල් සිත් නොවේ.

ලස්සන වීමේ අපේක්ෂාවෙන් - අනුන්ගේ සිත් ගැනීමේ අපේක්ෂාවෙන් - උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඇඳුම් පැළඳුම් පිළියෙළ කිරීමේදී ද හැඳීමේ පැළඳීමේ දී ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ශීත නැති කර ගැනීමේ-උෂ්ණය නැතිකර ගැනීමේ - මැසි මදුරුවන් ගෙන් ආරක්ෂා වීමේ බලාපොරොත්තුවෙන් ඇඳුම් පිළියෙළ කරන්නා වූ ද, හඳින්නා වූ ද තැනැත්තාට අකුසල් සිත් ඇති නොවේ.

ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදීමේ අපේක්ෂාවෙන් ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් පිළියෙළ කිරීමේදී ද හැඳීමේදී ද අකුසල් සිත් ඇති නො වේ.

කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. සතුන්ට අනුග්‍ර‍හයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නේ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදී ද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදී ද ඇති වන්නේ ලෝභ මූල සිත්ය. ...

# "ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇති වන විරුද්ධ ස්වභාවය ය. අරමුණට නො කැමති ස්වභාවය ය. කෝපය, තරහව, වෛරය, භය, අප්පිරියාව, නො සතුට යන වචනවලින් කියැවෙන්නේ ද ද්වේෂය ය. අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට “ප්‍ර‍තිඝ” යයි ද කියනු ලැබේ."

# යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැන ගන්නට නො පිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහය යි කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් අකුසල් සිත් සියල්ලෙහි ම ඇත්තේ ය. එය මෝහ මූල චිත්තයෙහි බලවත් ව ඇත්තේ ය. මෝහ මූල චිත්තය බෙදෙන්නේ විචිකිච්ඡා, උද්ධච්ච යන චෛතසික දෙකෙනි.

බුද්ධාදි රත්නත්‍ර‍ය ගැන හා පින් පව්වල විපාක, මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතෙහි හටගන්නා නො සන්සුන් ගතිය කලබල ගතිය උද්ධච්ච නම් වේ. මෝහමූල චිත්තය සමහර අවස්ථාවෙක විචිකිච්ඡාවෙන් යුක්ත ව ද සමහර අවස්ථාවෙක බලවත් උද්ධච්චයෙන් යුක්ත ව ද උපදී. ....

මෝහමූල සිත් දුබල බැවින් ඒවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් බරපතල විපාක ඇති නො වේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇති විශේෂ නපුර නම් එය ඇති වන තැනැත්තා ගේ සිත පස්කම් සැපයට මිස කුශලයට නො නැමීම ය. විචිකිච්ඡාව ඇතිව කුශලයක් කළත් එය බලවත් කුශලයක් නො වේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස, සෙස්සන්ට අවිෂය වූ කරුණු විවේචනය කරන්නට යෑමෙනුත්, පරලොව ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත්, කියැවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම් ගෙන ශ්‍ර‍ද්ධාව දියුණු කර ගැනීමය.

උද්ධච්ච සහගත සිත වනාහි හදිසියෙන් පැමිණෙන කරුණුවලදිත් එක විට බොහෝ වැඩ කිරීමේදීත් ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇති වන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්ත්වයා අපායට පැමිණවීමේ ශක්තිය ද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් එකොළොසට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේ ය."


# තව ද, කුසල්-අකුසල් පිළිබඳ අවබෝධයක් නොමැති කම (නොදන්නා කම / මෝහය / අවිද්‍යාව / මෝඩකම) බුදුදහම තුළ නිදහසට කරුණක් නොවේ - එය වඩා බරපතල බව "මිලින්ද ප්‍රශ්නය" අනුව ද පෙන්වා දිය හැක.

“මහරජානෙනි, හේ තෙපි කුමක් නම් සිතන්නහු ද? ගිනි ගෙණ දිලියෙන්නා වූ හාත්පසින් ගිනි ගෙණ දිලියෙන්නා වූ ගිනි ම කඳක් සෙයින් සජොතිභූත වූ එහෙයින් ම රත් වූ යකඩගුළියක් එකෙක් නො දැන අල්වන්නේ වී නම්, එකෙක් දැන දැන අල්වන්නේ වී නම්, ඒ දෙදෙනාගෙන් කවරෙකු බලවත් කොට දවන්නේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, යමෙක්තෙම නො දැන අල්වා ගන්නේ වී නම්, බලවත් කොට ඔහු දවන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යමෙක් නො දැන අකුසලකර්‍මයෙක් කරන්නේ වී නම්, ඕහට අකුසල් බොහෝ ය” යි කීසේක.”


# උපකාරක: පහත ලිපි ද කියවන්න.


# ඉතා වැදගත්:  පිළිතුරු / ඕනෑම පිළිතුරක්, මුල සිට අගට ම නැවත-නැවතත් (බොහෝ වාර ගණනක්) කියවන්න - ඒ අනුව නැවත-නැවතත් (බොහෝ වාර ගණනක්) සිතන්න (ධර්ම මනසිකාරය කරන්න)!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll