Q. බුද්ධ පූජාව තැන්පත් කරන භාජන, පාත්‍ර, වීදුරු, සම්බුදු රාජයාණන් වහන්සේට ජීවමාණ සංඥාවෙන් පූජා වෙන පාවහන් පබළු, වර්ණවලින් යුත් ගල් ඇල්ලීම කැපද?
A. ඉතා වටිනා, නොයෙක් විසිතුරු, විවිධ කැටයම් හා (ලියවැල්, මල්කම් ආදී) අලංකාර සහිත, වෛවර්ණ, නොයෙක් පූජා, ඉතා උත්සවශ්‍රීයෙන් හෝ සිදු කොට කර්මානුරූපව කුසලානිශංස වශයෙන් දෙව්-මිනිස්-නිවාණ සම්පත් ලබා ගත් අවස්ථා ත්‍රිපිටක පොත් වහන්සේ තුළ සුලබව දක්නට ලැබේ. එබැවින් එය අකැප නොවේ.
මෙහි දී, පූජා වස්තූන්ගේ ධාර්මික භාවය, පාරිශුද්ධ භාවය, පවිත්‍රතාවය, වටිනාකම, නෙත්-සිත් ඇදගන්නා විචිත්‍රවත් භාවය, පිළිවෙල, මනාව සකසා දීම ආදිය කෙරෙහි ඉහළ අගයක් ඇති බව කිව හැකිය. ඇතැමෙක් සරල-චාම් බවින් සිත පහදවා-පිනවා ගන්නා අතර, ඇතැමෙක් නෙක-විසිතුරු බවින් සිත පහදවා-පිනවා ගන්නා බව ද පෙනේ.
තවද, තමාගේ ම සිතට හෝ නොරැවටී, වංචක ධර්මයන්ගෙන් තොරව, ඒ ඒ අවස්ථාවේදී ඇති කරගන්නා සුපරිශුද්ධ චේතනාව පෙරදැරිව ජනිත වන්නා වූ ශ්‍රද්ධා, ප්‍රඥාදී කුශල ධර්මයෝ ම ඉතා ඉහළ අගයක් ගන්නා බව කිව යුතු ම ය.
R. "අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය."
# "... සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තැනැත්තේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ඇත්දත් රන් ආදියෙන් නිදනු පිණිස ඇඳක් කරවා අනර්ඝ වූ විසිතුරු ඇතිරිලිවලින් අතුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිළිගෙන පරිහරණය කළ සේක. හේ එම පින්කමින් දෙව් මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැහැද පැවිදිව විදසුන් අරඹා නොබෝ කලෙකින්ම රහත් විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සයනදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට විය."
# "මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදුකරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාව ය, දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාව ය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනි නම් වූ දික්සඟ අටුවාවෙහි ද කියා ඇත්තේ ය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කර ගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුනට වත් කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදු රූ නහවති."
# "ඉක්බිති මල්ල රජු ඔවුන්ගේ සන්ථාගාරය සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හීතණ විළඳ යන මේවා බිම විසුරුවා රන්තරු රිදී තරු ආදියන් විසිතුරු උඩුවියන් බඳවා තැන තැන මල් මාල එල්ලවා දෙව් විමනක් සේ සරසවා සන්ථාගාරයෙහි පටන් මකුටබන්ධන නම් වූ ඔටුණු පළඳනා ශාලාව දක්වා ඇති මාර්ගයද දෙපස කලාලයෙන් ආවරණය කරවා උඩුවියන් බඳවා රන්තරු රිදී තරු රන්මල් රිදීමල් වලින් සරසවා තැනතැන මල් දම් රුවන් දම් එල්වා පඤ්චවර්ණ ධ්වජයන් නංවා තැනතැන කෙසෙල් ගස් හා පුන්කළස් තබවා පහන් දල්වා සර්වාලංකාරයෙන් සැරසූ ඇතකු පිට ධාතු සහිත දෙන තබා නෘත්‍ය ගීතාදියෙන් පූජා පවත්වමින් මහ පෙරහරින් සන්ථාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාරමය පර්යංකයෙහි රන් දෙන තබා සේසත් එසවූහ. ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස් ගණනින් එහි පැමිණි භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිදුවූයෙන් රිසි සේ ධාතු පූජා කරන්නට අවකාශ නො ලැබිණ. එබැවින් ඔවූහු රන් දෙනට කිසි සතුරෙකුට ළං විය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා ආරක්ෂා සංවිධානය කොට නෘත්‍ය ගීත වාදිතාදියෙන් ධාතු පූජෝත්සවය කළහ."
# "කෙලෙසුන් කෙරෙන් දුරු ව පාපයෙන් වෙන් ව ශුද්ධ ජීවිතයක් ගත කරනු කැමැත්ත ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ වඤ්චක ධර්ම නම් වූ කුශල වේශයෙන් පැමිණෙන මේ ක්ලේශයන්ට රැවටී, ශුද්ධ ව විසීමේ අපේක්ෂාව තිබියදී ම ඒ ක්ලේශයන්ට ඉඩ දීම් වශයෙන් සමහර විට කෙලෙස් වඩති. කෙලෙස් සහිත සිතිවිලි සිතති. ඒ ක්ලේශයන්ට වසඟ වීමෙන් “පින් කරමි” යන අදහසින් පව් කරති." ...
# "කුශලය කුමක් ද? අකුශලය කුමක් ද? ඇතැම් ධර්මයක් කුශල වනුයේ කවර හේතුවකින් ද? ඇතැම් ධර්මයක් අකුශල වනුයේ කවර හේතුවකින් ද? යන මේ කරුණු සාමාන්‍ය ජනයාට අවිෂය වූ ගැඹුරු කරුණු ය. සාමාන්‍ය ජනයා අනුන් කියනු ඇසූ නිසා ඇතැම් කරුණු කුශලයන් වශයෙන් ද ඇතැම් කරුණු අකුශලයන් වශයෙන් ද පිළිගෙන සිටිනවා මිස ධර්මයන් ගේ කුශලාකුශලත්වය ගැන කිසිවක් නො දන්නෝ ය. කුශලාකුශලයන් පිළිබඳව නොයෙක් වාද ඇති වන්නේ ද ඒ නොදැනීම නිසාය. මේවා පිළිබඳ හොඳ දැනුමක් ඇති අය පැවිදි පක්ෂයේ ද සුලබ නො වෙති. කාරණානුකූලව බැලීමෙන් මිස වචනාර්ථානුසාරයෙන් ද මේ ධර්මය තේරුම් නො ගත හැකිය." ...