Q. විශ්ව ආකර්ෂණ නීතිය කියන දෙය ඇත්තක්ද? බොරුවක්ද?
බෞද්ධ අපට එය සුදුසුද? නැද්ද?
අපි දන්නවා කෙනෙක්ට දෙයක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ පෙර කරපු සංස්කාර අනුව කියල. කෙනෙක් පිං කරොත් එයට අදාල විපාකත්, පව් කරොත් එයට අදාල විපාකත් ලැබෙනවා. හේතුඵල දහමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
ඒ වගේම අපි දන්නවා විශ්වය හැදිල තිබෙන්නේ දශක කලාප වලින් කියල. ඇති වෙවී නැති වෙවී යන අනිත්‍ය ලක්ෂණයෙනුත්, විපරිණාමය සහිත දුක්ඛ ලක්ෂණයෙනුත් හා කරන හා කරවන කිසිවෙකුත් නැති අනාත්ම ලක්ෂනයෙනුත් යුක්ත වූ විශ්වය තුලින් ප්‍රාර්ථනා කිරීම මගින් හා ස්තූති කිරීම මගින් යම් කිසිවක් බලාපොරොත්තු වීම, නැවත ආත්ම ස්වරූපයක් ආදේශ කිරීම නොවෙයිද? සර්වබලයක් විශ්වයට ආදේශ කිරීම නෙවෙයිද?
සුක්ෂමව හේතුඵල දහම යටපත් කිරීමක් එයින් සිදුවනවා නේද?
බෞද්ධයින් හැටියට අපට එය සුදුසු නෑ නේද?
A. විශ්වය සැදී තිබෙන්නේ ශක්තීන් ගෙනි. සිත් (චිත්ත), සිතුවිලි/සිතේ ගති (චෛතසික), මෙන් ම රූප 28 ද ශක්තින් ම වේ. සිත් කියන්නේ ප්‍රධාන ශක්තීන්, චෛතසික කියන්නෙ අප්‍රධාන (උප/අනු) ශක්තීන්; සතර මහා භූත කියන්නේ ප්‍රධාන ශක්තීන්, උපාදාය රූප කියන්නේ අප්‍රධාන (උප/අනු) ශක්තීන්. සතර මහා භූතයන්ගේ අන්‍යෝන්‍ය නිශ්‍රය වීමෙන් තමා ශුද්ධාෂ්ටකය කියන කුඩා ම භෞතික දේ නිර්මාණය වෙන්නේ.
සැබවින් ම විශ්වය යනු එක යායට ඇති ශක්ති ක්ෂේත්‍රයකි. අපි සජීවී අජීවී කියන සත්ත්ව වූත් සත්ත්ව නොවූ දේවලුත් එක් එක් ප්‍රමාණයට ඇති ලොකු කුඩා ශක්ති ක්ෂේත්‍රයන් ය; ශක්තීන්ගේ මිශ්‍ර වීමේ විවිධත්වය මත ඇතිවෙන ශක්ති ක්ෂේත්‍රයන් (ශක්ති ඒකරාශී වීම්) ය. ශක්තීන් ගේ අති වේගවත් ක්‍රියාවලිය නිසා මනසට මැවී පෙනන හැඩ සටහන් මිස, සැබවින් ම නැති මායාවන් ය.
සෑම (චිත්ත, චෛතසික, රූප) ශක්තියකට ම කම්පන සංඛ්‍යාතයක් ඇත; එබැවින් සෑම ශක්ති ක්ෂේත්‍රයකට ම ද කම්පන සංඛ්‍යාතයක් ඇත. හොඳ හෝ නරක සමාන කම්පන සහිත ශක්තීන්/ශක්ති ක්ෂේත්‍ර එකිනෙකට ඇද ගැනීම, ආකර්ශනය කර ගැනීම ස්වභාවික සංසිද්ධියකි. මෙම ධාතු/ශක්ති ස්වභාවය පිළිබඳව බුදු හිමියන් ධාතු සංයුක්තයෙහි හා මහානිදාන සූත්‍රයෙහි පැහැදිළිව ම පෙන්වා දී ඇත.
එමෙන් ම, ආමිෂ ප්‍රතිපත්ති වගේ ම “ස්තුති පූජාව” ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා. “ස්තූති කිරීම” හෝ වෙන ඕනෑම දෙයක්/කෙනෙක් අරමුණු කරලා උපදවා ගන්න කුසල් සිත්වල අනු ශක්තීන් 19ක් වත් ඇති වෙනවා. හොඳ ශක්තීන් ගේ විපාකානිශංස (ප්‍රතිඵල) ලැබෙන්නේ උපදවා ගන්නා කෙනාට ම යි ප්‍රධාන වශයෙන්. කුසල් සිදු කොට ප්‍රර්ථනා කිරීමෙන් තමාට අවශ්‍ය පරිදි කුසල විපාක ලබා ගත හැක. දිට්ඨධම්මවේදනීය කර්ම ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැත.
අනෙක් අතට, විශ්ව ශක්තිය, විශ්ව ආකර්ෂණ ශක්තිය වැනි වචන ත්‍රිපිටකයෙහි එසේ ම සඳහන් නොවුණ ද මුළු අභිධර්ම පිටකය ම ශක්තීන් ඇති වීම, පැවතීම, නැති වීම, අන්‍යෝන්‍ය පැවතීම, වියෝජනය, ආකර්ෂණය, විකර්ෂණය, නිශ්‍රය වීම්, සහ සම්බන්ධය ආදිය දක්වන අති සූක්ෂම ශක්ති විභජනයක්, විභාගකර දැක්වීමක්, බෙදා දැක්වීමක් ඇතුළත් විශ්ව ශක්තීන් පිළිබඳව දේශනාවකි. (අභිධර්ම පිටකය යනු මුළු බුදු දහමින් හරි අඩක් බව ද අමතක නොකළ යුතු ය.)
විශ්වීය ක්‍රියාකාරීත්වය පිළිගැනීමෙන් හොඳ බෞද්ධයකු වෙනවා මිස; හේතු-ඵල දහම, කර්ම-කර්ම ඵල ද පිළිගැනෙනවා මිස, බෞද්ධයාට හෝ බුදු දහමට අයහපතක් සිදු වෙනවා යැයි සිතිය නො හැක.