Q. තෙරුවන්සරණයි!
1.මුත‍්තචාගො
2.පයතපාණි
3.වොස‍්සග‍්ගරතො
4.යාචයොගො
5.දානසංවිභාගරතො
මේ වචන පහ පැහැදිලි කරදෙන්න.
[7. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ චාගසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගො පයතපාණි වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො, අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ චාගසම‍්පදා.
A. මුත්තචාගො = පතුරුවන ලද පරිත්‍යාගය ඇත්තේ
පයතපාණී = පැමිණි අයගේ දානය සඳහා සේදු අත් ඇත්තේ
වොස්සග්ගරතො = වොස්සග්ග යයි කියනු ලබන ත්‍යාග කිරීමෙහි ඇලුණේ
යාචයොගො = ඉල්ලීම සුදුසු වන්නාවූ
දාන සංවිභාගරතො = දානයෙහි දී අල්පමාත්‍ර වූ හෝ කිසිවක් ලැබුණේ නම් එය ද බෙදීමෙහි කැමති වන්නාවූ,
අප්පටි විභත්තං = මෙය අපට ය, මෙය භික්ෂූන්හටය යනුවෙන් මෙසේ නොබෙදෙන ලද සියල්ල දිය යුතු වී සිටියේය යන අර්ථයයි.
# මුත්තචාගො ලිහන ලද ත්‍යාග ඇත්තේ, පයතපාණී දෙය්‍ය ධර්ම දීම පිණිස සෑම කල්හි සේදූ අත් ඇත්තේ, වොස්සග්ගරතො ත්‍යාග දීමෙහි ඇළුනේ, යාචයොගො අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසු වූ, නැතහොත් යාචයෝගයෙන් ම යුක්ත වූ, දානසංවිභාගරතො දානයෙහිත් බෙදා දීමෙහිත් ඇළුනේ.
# මුත්තචාගො යනු හරන ලද පරිත්‍යාගයයි. පයතපාණි යනු පැමිණි පැමිණි අයට දෙනු පිණිස යොදන ලද අත් ඇති යනුයි. දාන සංවිභාගරතො යනු මෙයින් ඉතා අල්ප වූ කිසිවක් ලැබ එයින් ද බෙදීමෙහි ඇලුණු යනුයි. අප්පටි විභත්තං යනු මෙය අපට වන්නේය. මෙය ආර්යයන්ට වන්නේය යනුවෙන් නොබෙදන ලද යනුයි. සියල්ලම දිය යුතුමය යයි සිතා සිටි යන අර්ථයි.
# දෙවැන්නෙහි, විගතමලමච්ඡෙරෙන යනු දුරුවූ මසුරුමලිනි. මුත්තචාගො යනු අත්හරනාලද ත්‍යාගය ඇත්තේයි. පයතපාණී යනු සේදූ අත් ඇත්තේයි. සැදැහැනැත්තා වනාහි සියවරක් අත දොවාද කිළිටි අතැත්තේමවෙයි. සැදැහැවතා වනාහි දානයෙහි සිත ඇලවූ හෙයින් කිළිටි අතැත්තේද දෙවූ අතැත්තේමය. වොස්සග්ගරතො යනු පරිත්‍යාග සංඛ්‍යාත දානයෙහි ඇලුනේයි. යාචයොගො යනු ඉල්ලීමට සුදුසුවූයේයි. නැතහොත් යාචකයන් සමඟ එක්වීම මොහුගේනුයි යාචයොග නම්වේ. දානසංවිහාගරතො යනු දන් දෙමින්ම දානය මනාව බෙදාදීම කරන්නේද දානසංවිහාගරත නමි.
# මුත්තචාගො යනු අපේක්‍ෂා රහිත ත්‍යාගී බවයි. පයතපාණී යනු, පිරිසුදු අත් ඇතිව දියයුතු වස්තූන් මනාකොට සියතින් දෙනු පිණිස සැමවිටම දිගුකළ අත් ඇතිව’යි කී නියායි. වොස්සග්ගරතො යනු, වොස්සග්ග නම් දීමයි, පරිත්‍යාගයයි යන අර්ත්‍ථයි, එම වොස්සග්ගයෙහි නිරන්තරයෙන් යෙදීම් වශයෙන් නියැලුණහ’යි වොස්සග්ගරත නමි. යාචයොගො යනු, අන්‍යයෝ යම් යම් දෙයක් ඉල්වත්ද, ඒ ඒ දෙය දෙන හෙයින් යදිනු ලැබීමට සුදුසුය යන අර්ත්‍ථයි, ‘යාජයෝග’ යන පාඨයද වේ, යජනයයි කියනු ලබන දානයෙන් යුක්ත වූයේයි යනු එහි අර්ත්‍ථයි. දානසංවිභාගරතො යනු, දානයෙහිද බෙදාගෙන පරිභෝග කිරීමෙහිද නියැලුණේ “මම වනාහි දන් දෙමි, මවිසින් පරිභෝග කළයුතු දෙයින්ද කොටසක් දෙමි, මේ දෙකෙහිම නියැලුණෙමි”යි මෙසේ මෙනෙහි කෙරෙයි යන අර්ත්‍ථයි.