275. රේරුකානේ හිමියන්ටත් වැරදුන තැන!?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. I. සමනන්තර අනන්තර ප්‍රත්‍ය යනු කුමක්ද? II. රේරුකානේ චන්දවිමල හිමි මොළේ කෘත්‍ය කුනප කොටසක් කියලා විතරයි සඳහන් කර ඇත්තෙ. හැබැයි මොළේයි හදවත නොහොත් වස්තු රූපෙයි අතර සන්නිවේදනයක් වෙනවද? III. එහෙම වෙනවා නම් රේරුකානේ ස්වාමින් වහන්සෙට එ ගැන දැනුවත් වෙලා නැද්ද?

A. I. අනන්තර ප්‍ර‍ත්‍යය හා සමනන්තර ප්‍ර‍ත්‍යය ගැන දැනගන්න පිවිසෙන්න:




II. මොළයයි හදවතයි අතර අත්‍යන්ත හා අභේදනීය/අභේද්‍ය සන්නිවේදනයක් පවතී.

III. එක් එක් තැන්වලදී එක් එක් (වෙනස්) අර්ථ මතුකරලීම, බරකොට දේශනා කිරීම හා/හෝ අනවශ්‍ය අර්ථ හැරලීම, වැඩි බරක් නොදීම ආදිය රේරුකානේ හිමියන්ගේ පමණක් නොව, බුදුහිමියන්ගේ ද දේශනා ශෛලියකි. (දේශනා භේදය.)


S/T. 1. "අනන්තර ප්‍ර‍ත්‍යය හා සමනන්තර ප්‍ර‍ත්‍යය

සත්ත්වයකුගේ සන්තානයෙහි උපදනා චිත්ත පරම්පරාවෙහි පසු පසු සිත් ඇති වන්නේ පූර්ව පූර්ව වූ සිත් නිසාය. පූර්ව පූර්ව සිත් නූපන්න හොත් පසු පසු සිත් නූපදින්නේ ය. පරම්පරාව නො සිඳී පැවැත්ම සඳහා පූර්ව පූර්ව චිත්තය පසු පසු සිතට උපකාර වන්නේය. අනන්තර ප්‍ර‍ත්‍යයයි කියනුයේ ද සමනන්තර ප්‍ර‍ත්‍යයයි කියනුයේ ද පසු පසු සිත්වලට උපකාර වන පූර්ව පූර්ව චිත්තයට ය. එය පිළිබඳව ආචාර්‍ය්‍ය මත භේදයක් නැත්තේය. ඒ ප්‍ර‍ත්‍යය දෙක්හි ම පශ්චිම චිත්තයන්ට ප්‍ර‍ත්‍යය වන ආකාරය පිළිබඳ මත භේද ඇත්තේ ය. එබැවින් එය ගැන බුදුන් වහන්සේගේ අදහස නිශ්චය කිරීම දුෂ්කරය.

ආවර්ජන චක්ෂුර්විඥාන සම්ප්‍රත්‍යොෂ්ණ සන්තීරණාදි වශයෙන් සිත් උපදනා ක්‍ර‍මයක් ඇත්තේ ය. අවුල් නො වී එසේ ක්‍ර‍මානුකූලව සිත්වල ඉපදීම සිදුවන්නේ පූර්ව පූර්ව චිත්තයන් නිසා ය. තම තමාට අනතුරුව තැනට සුදුසු වූ සිත් ඉපද වීමට සමත් වූ පූර්ව පූර්ව චිත්තයෝ අනන්තර ප්‍ර‍ත්‍යය ය. යමක් අනන්තර ප්‍ර‍ත්‍යය නම් එය ම සමනන්තර ප්‍ර‍ත්‍යය ය. එහි වෙනස ඇත්තේ වචනවල පමණ ය. අර්ථයෙන් ඒ වචන දෙක්හි වෙනසක් නැතය යනු පට්ඨාන අටුවාවේ දැක්වෙන ක්‍ර‍මය ය.

අන්‍ය ධර්මයනට මැදට පැමිණ අතරක් ඇති නො කළ හැකි සේ උපකාර වන ධර්මය අනන්තර ප්‍ර‍ත්‍යයයි ද, තමා නිරුද්ධ වනු සමග ම අතර කාලයක් නො තබා දෙවන සිතත් ඇති වීමට උපකාරවන බව සමනන්තර ප්‍ර‍ත්‍යයතාවය යනු ද එක් ආචාර්‍ය්‍ය මතයෙකි. නිරෝධ සමාපත්තියට සමවන් තැනැත්තාගේ අන්තිම සිත නිරෝධයෙන් නැගී සිටින කල්හි පළමුවෙන් ඇතිවන සිතට කල්ගත වීද සමනන්තර වශයෙන් ප්‍ර‍ත්‍යය වන බව දක්වා ඒ වාදය අටුවාවේ ප්‍ර‍තික්ෂේප කොට තිබේ.

එක් සිතක් නිරුද්ධ වන කල්හි පරම්පරාව නො සිඳෙන සේ තවත් සිතක්, නිරුද්ධවන සිතට පසු උපදින්නට උපකාර වීම අනන්තර ප්‍ර‍ත්‍යතාවය ය. දෙවනුව උපදනා සිත, තැනට සුදුසු සිතක් වන සැටියට උපකාර වීම, සමනන්තර ප්‍ර‍ත්‍යතාවය යනු ද එක් ආචාර්‍ය්‍ය මතයකි. ඒ මතය නිරෝධ සමාපත්තියෙන් නැගිටින තැනැත්තාට ඇතිවන පළමුවන සිතට නිරෝධ සමාපත්තියට පූර්වභාගයේ අවසාන සිත අනන්තර සමනන්තර වශයෙන් ප්‍ර‍ත්‍යය වන බව දක්වා ප්‍ර‍තික්ෂේප නො කළ හැකිය. සිත් පරම්පරාවල කාල වශයෙන් අතරක් ඇති වන්නේ නිරෝධ සමාපත්තියට සම වැදීමය, අසංඥ භවයෙහි ඉපදීමය යන අවස්ථා දෙක්හි ය. අර්හන්ත ච්‍යුතිය හැර සෑම සිතක් ම අනන්තර සමනන්තර ප්‍ර‍ත්‍යයෝ ද වෙති. ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ද වෙති. අතීත චිත්තය වර්තමාන චිත්තයට ප්‍ර‍ත්‍යය වේ. වර්තමාන චිත්තය ප්‍ර‍ත්‍යයෝත්පන්න වේ. ප්‍ර‍ත්‍යයෝත්පන්න වූ වර්තමාන චිත්තය අනාගත චිත්තයට ප්‍ර‍ත්‍යය වේ.

අනන්තර ප්‍ර‍ත්‍යයාගේ ත්‍රිරාශිය

අරහන්ත ච්‍යුති වර්ජිත පූර්ව පූර්ව වූ එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය යන මොහු අනන්තර ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ ය.

අරහන්ත ච්‍යුතිය සහිත වූ එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය යන මොහු අනන්තර ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

චිත්තජ රූපය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥසත්ත්ව කර්මජ රූපය, ප්‍ර‍වෘත්ති කර්මජ රූපය යන මොහු අනන්තර ප්‍ර‍ත්‍යයාග් ප්‍ර‍ත්‍යනීක ධර්මයෝ ය. සමනන්තර ප්‍රත්‍යයාගෙ ත්‍රිරාශිය අනන්තර ප්‍ර‍ත්‍යයේ මෙනි."

2. "අනන්තර ප්‍ර‍ත්‍යය, සමනන්තර ප්‍ර‍ත්‍යය

අතුරු නැති සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. මනාකොට අතුරු නැති බැවින් උපකාරක ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍ය යි. මේ ප්‍ර‍ත්‍යය ද්වයයෙන් අත්‍ථානන්තරභාවය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

කාලානන්තරභාවය සමනන්තර ප්‍ර‍ත්‍යය යනාදීන් බොහෝ විස්තර කෙරෙති. එ අසාර යැ. මේ වූ කල චිත්ත නියමය ම හේතු භාවයෙන් කියන ලදී.

චක්ඛු විඤ්ඤාණ අනන්තර මනොධාතු[1] = චක්ඛු විඤ්ඤාණයට අනන්තර වූ මනෝධාතු යැ. මනෝධාතු අනන්තරා මනොවිඤ්ඤාණ ධාතු1 = මනොධාතුවට අනන්තර වැ මනොවිඤ්ඤාණ ධාතු යැ යි යනාදියෙහි යම් චිත්ත නියමයෙක් වේ. නම් එය ඒ ඒ පූර්‍ව පූර්‍ව අනන්තරයෝපාද චිත්ත නියමය අනුව වේ. අන් පරිද්දෙකින් නොවේ එහෙයින් තම - තමාහට අනතුරුව සුදුසු චිතේතත්පාද ඉපදවීමේ සමර්‍ථ වූ ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. යමක් අනන්තර ප්‍ර‍ත්‍යය වේ නම් එය සමනන්තර ප්‍ර‍ත්‍යයැ යි. මේ ප්‍ර‍ත්‍යයද්‍වයෙහි ව්‍යඤ්ජන මාත්‍ර‍ය වෙනසි. උපචය -සන්තති දුකයෙහි මෙන් ද, අධීවචන - නිරුත්ති දුක යෙහි මන් දැ යි කියා යි. (උපචය -සන්තති පදයන්ගේ ද, අධි වචන - නිරුත්ති පදයන්ගේ ද අර්‍ථ එකෙක් මැයි) අර්‍ථ වශයෙන් වෙනසෙක් නැති.

පෙර කී සේ පූර්‍ව-පශ්චිම චිත්තයන් ගේ අතුරෙක් නැත්මනු යි අනන්තර නම් වේ. සටහනක් නැති බැවින් මනාව අතුරක් නැත්තේ සමනන්තර නම් වේ. යට සඳහන් පරිදි අත්‍ථානන්තර භාවය අනන්තර ප්‍ර‍ත්‍යය යි කාලාන්තර භාවය සමනන්තර ප්‍ර‍ත්‍යයැයි දකී රේවතස්ථවිර මතය නිරස්ත කරනුවෝ.

“නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා සමනන්තර පච්චයො”[2] නිරෝධ සමාපත්තියෙන් නැගිටිනන්හුට ඒ නිරෝධ සමාපත්තියට පූර්‍වයෙහි වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී උපදනා අනාගාමි ඵල චිත්තයට හෝ අර්හත් ඵල චිත්තයට සමනන්තර ප්‍ර‍ත්‍යයෛන් ප්‍ර‍ත්‍යය වේ ය යි වදාළ සේක.

යම්කිසි අන්‍යධර්‍මයකට අතරට පැමිණීමට අවකාශ නො තබා තමාට අනතුරුවැ ම උපදනා පරිදි දෙවන චිත්තයට උපකාර වන ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍යය යැ.

පෙර කී නිරෝධ සමාපත්තියන් නැගිටින්නහු ගේ සත් දවසකට පෙ නිරුද්ධ වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී දී උපදනා ඵල චිත්තයට රූප සර්තතීන්ගෙන් අතරක් ඇති වීම නිසා ද, කාලයෙන් අතරක් ඇතිවීම නිසාද සමනන්තර ප්‍ර‍ත්‍යය නොවේ ය යනු රේවත ස්ථවිර මතය යි. එය පෙර කී පට්ඨාන පාඨය දක්වා බැහැර කෙරෙති.

(තව ද මල් පිපෙන රුකක් කඩ රෙද්දෙකින් වෙලු කල වෙලුම නිසා නො පිපෙතත් ඒ ඉවත් කළ කල මල් පිපෙන්නා සේ භාවනා බලයෙන් වැළකූ හෙයින් උපදිනු සමර්‍ථ වූ චිත්තය නූපදිතත් එය නැවැත්වූ කෙණෙහි උපදනා හෙයින් ධර්‍මයන් ගේ ප්‍ර‍වෘත්ති මාත්‍ර‍ය ම නිසා කාලය ම ගැනෙන හෙයින් නිරෝධයෙන් නැගෙන්නහු ගේ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය හා ඵල සමාපත්ති අතර අරූප ධර්‍මයන් ගේ පැවැත්මක් නැති හෙයින් කාලානන්තර භාවය නො වේ.)

රූප ධර්‍ම ප්‍ර‍වෘත්තිය අරූප ධර්‍මයනට භින්න සන්තාන හෙයින් අර්‍ථානන්තර භාවය ද නොවේ. ඒක සන්තතියෙහි පූර්‍ව පශ්චිමයන් මධ්‍යයෙහි පවත්නා තත් සන්තති පර්‍ය්‍යාපන්න වූ යේ ම අනන්තර වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන ඵල සමාපත්තීන් මධ්‍යයෙහි එබඳු අතරක් නැති හෙයින් ජවනානන්තර ජවනය මෙන් ද, භවඞ්ගානන්තර භවාඞ්ගය මෙන් ද, ඔවුන් ගේ අනන්තර භාවය සිද්ධ යැ. අසඤ්ඤසත්ත ප්‍ර‍තිසන්‍ධි- චූතීන් පිළිබඳ වැ ද මෙසේ මැ යි. (ටීකාහි මේ පිළිබඳ මනා විස්තරයෙකි.) මෙසේ කාලයෙන් හෝ රූපයෙන් අනන්තර සමනන්තර ප්‍ර‍ත්‍යය භාවයට බාධාවක් නැති බව් දත යුතු.)

හුදෙක් ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍ම තමාගෙන් වෙන් කරන අන්තර ධර්‍මයක් ඇති නොවන සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයන් තමා හා ඒකී භාවයට පැමිණියා සේ මනාකොට අතුරු නැති වැ ඉපදීමේ සමර්‍ථ බව සමනන්තර ප්‍ර‍ත්‍යය යි."

3. "අනන්තර ප්‍රත්‍යය

අනන්තර ප්‍රත්‍යය නම් අනන්තර භාවයෙන් උපකාර වීම ය. අනන්තර භාවය නම් අතරක් නැති බව ය. ඉක්බිති වැවීම ය. සක්විති රජ්ජුරුවන් ගේ පැවිදිවීම පුත් කුමරාගේ රාජ්‍යප්‍රාප්තියට උපකාර වන්නා සේ පළමු පළමු සිත ඉක්බිති ඉක්බිති සිතට උපකාර වන්නේ ය. චක්ඛුවිඤ්ඤාණ සිත සම්පටිච්ඡන සිතට ද, සම්පටිච්ඡන සිත සන්තීරණ සිතට ද, සන්තීරණ සිත වොත්‍ථපන සිත ජවනයට ද, පළමු පළමු ජවන ඉක්බිති ජවනයට ද ජවන තදාලම්බනයට ද, තදාලම්බන භවඞ්ගයට ද, භවඞ්ග පඤ්චද්වාරාවර්ජනයට ද, පඤ්චද්වාරා වර්ජන චක්ඛුවිඤ්ඤාණයට ද යනාදී ක්‍රමයෙන් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ ය. මෙසේ ආදි ආදි සිත ඉක්බිති ඉක්බිති සිත උපදීමට උපකාර වීම අනන්තර ප්‍රත්‍යය යි දත යුතු. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“අනන්තරපච්චයො ති, චක්ඛුවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකා නං ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. මනො ධාතු සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. සොතවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. මනොධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. ඝාණවිඤ්ඤාණ ධාතු -පෙ- මනොධාතු -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු -පෙ- කායවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු -පෙ- පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො පුරිමා පුරිමා අකුසල ධම්මා පච්ඡිමානං අකුසලා නං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. යෙසං යෙසං ධම්මානං අනන්තරා යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො”යි.

මෙහි චක්ඛුවිඤ්ඤාණධාතු නම් චක්ඛුවිඤ්ඤාණ සිත් දෙක. තත් සම්ප්‍රයුක්ත නම් එහි චෛතසික. මනොධාතු නම් සම්පටිච්ඡන යුගල. (පඤ්ච ද්වාරාවර්ජනය ද මනොධාතු යි.) සොත විඤ්ඤාණාදිය ද එසේ ය. පුරිම පුරිම කුසලධම්ම නම් කුසල ජවන්. අකුසලධම්ම නම් අකුසල ජවන්. අබ්‍යාකත නම් විපාක ක්‍රියා. තදාලම්බන භවඞ්ගාදිය විපාක. මනොද්වාරාවර්ජනාදිය ක්‍රියා. විස්තර ඌහනය කළ යුතු යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට මේ අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ වන්නේත් ජවනාවස්ථායෙහි යි.

සමනන්තර ප්‍රත්‍යය.

සමනන්තර ප්‍රත්‍යය නම් සමනන්තර භාවයෙන් උපකාර වීම ය. සමනන්තර භාව නම් මොනොවට අනන්තර වීම ය. සක්විති රජ්ජුරුවන්ගේ මරණය පුත් කුමරුවාගේ රාජ්‍ය ප්‍රාප්තියට උපකාර වන්නා සේ ආදි ආදි සිත ඉක්බිති ඉක්බිති සිතට මනා සේ උපකාරවන්නේ සමනන්තර ප්‍රත්‍යය යි. සං යන උපසර්ගයෙන් යුක්ත වීම විනා මේ ප්‍රත්‍යය දෙකෙහි වෙනසක් නැතැ යි පට්ඨාන අටුවායෙහි දක්වයි. අත්‍ථානන්තරය අනන්තර ප්‍රත්‍යය, කාලානන්තරය සමනන්තර ප්‍රත්‍යය යන ඇතැම් ආචාර්යවරයන්ගේ මතය ද බැහැර කරයි. පෙළෙහි ද මේ ප්‍රත්‍යය දෙක එකසේ ම වර්ණනා කරති. පට්ඨානයෙහි:

“සමනන්තර පච්චයො ති, චක්ඛුවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මා නං සමනන්තර පච්චයෙන පච්චයො. මනො ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයෙන පච්චයො. සොතවිඤ්ඤාණධාතු” යනාදි වශයෙන් සියල්ල අනන්තර ප්‍රත්‍යය සමාන යි.

පටිච්චසමුප්පාදයෙහි අනන්තර ප්‍රත්‍යය සේ ම ජවනාවස්ථායෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට මේ සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ."

4. "හෘදය රූපය

චක්ෂුර් විඥාන ධාතුවය, ශ්‍රෝත්‍ර‍ විඥාන ධාතුවය, ඝ්‍රාණ විඥාන ධාතුවය, ජිහ්වා විඥාන ධාතුවය, කාය විඥාන ධාතුවය, මනෝ ධාතුවය, මනෝ විඥාන ධාතුවය යි විඥාන ධාතු සතෙකි. එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්‍ර‍සාද රූප පසෙහි උපදී. ප්‍ර‍සාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්‍ර‍ය වස්තු වේ. මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්‍ර‍සාදයන්හි නූපදී. ඒ ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ. ප්‍ර‍සාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්‍ර‍සාදයෙකි. පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්‍ර‍ය වෙමින් හෘදය රූපය ද පහළ වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ. එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය. හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය. හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය. මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන බව එහි ලක්ෂණය ය.

මොළය ශරීරයේ සිත් උපදනා තැන සැටියට බොහෝ දෙනා පිළිගනිති. අභිධර්මයේ සැටියට නම් කේශාදි ස්පර්ශය නො දැනෙන තැන් හැර මුළු සිරුරේ ම සිත් උපදනා බව කිය යුතුය. බෙහෙවින් සිත් උපදනා තැන සැටියට ද, ක්‍රියා සාධක සිත් උපදනා තැන සැටියට ද, ප්‍ර‍ධාන සිත් උපදනා තැන සැටියට ද, මූල චිත්තය උපදනා තැන සැටියට ද අභිධර්මයේ දැක්වෙන්නේ හෘදය රූපය ය. ක්‍රෝධය හා බිය ඇති වූ කල්හි හෘදය තදින් සැලෙන්නට වන බව ද, ශෝකය ඇති වූ කල්හි එය දැවෙන බව ද සෑම දෙනාට ම ප්‍ර‍කට ය. එසේ වන්නේ ක්‍රෝධ භය ශෝකයෙන් හෘදයේ ඇති වන නිසා විය යුතු ය. ක්‍රෝධය හා භය ඇති වූ විට ශරීරයේ පැහැය කළු හෝ රතු වේ. ප්‍රීති ශ්‍ර‍ද්ධා ප්‍රේමාදිය ඇති වූ කල්හි ශරීරය පැහැපත් වේ. ශෝකය ඇති වූ කල්හි වියළේ. එසේ වීමට හේතුව සිත හා ලෙයෙහි ඇති සම්බන්ධය විය යුතු ය. එයින් සිත ලෙය ඇසුරු කොට පවත්නක් බව හැඟේ. සිත් උපදනා තැන මොළය යයි කියන්නවුන්ට ද නොයෙක් හේතු යුක්ති තිබේ. මනෝධාතු මනෝවිඥාන ධාතූන් ගේ නිඃශ්‍ර‍ය හෘදය රූපය යි ගැනීමෙන් එය කොහි තිබුණත් වැරදීමෙක් නොවේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll