Q. භාෂාව යනු කුමක්ද, භාෂා කථා කිරීමේ දී සිදු වන්නේ කුමක්ද අභිධර්මයට අනුව පහදා දෙන්න.
A. භාෂාව යනු > ප්‍රකාශ කළ යුතු අර්ථය/තේරුම/අදහස (අර්ථ/තේරුම්/අදහස්) ගෙන හැර දැක්වීමට යොදා ගන්නා මාධ්‍යය යි < ලෙස අර්ථ/පද නිරුක්තිය දක්වා තිබේ.
"... භාසන්ති අත්ථං එතායාති භාසා."
තවත් ලෙසකිනි ගන්නේ නම්, භාෂාව යනු එක්තරා (සංඥා ස්කන්ධයට අයත්) සංඥා පද්ධතියකි; එම සංඥා අනුව සිතේ ජනිත වන අදහස් හැඟවීමට, තේරුම් කර දීමට හා තේරුම් ගැනීමට හැකි ය.
අභිධර්මානුකූලව එය (භාෂාව යනු) වචී විඤ්ඤත්ති රූපයයි; "සඤ්ඤා භාෂාව"කින් හැරෙන්නට, ශබ්දය නොමැතිව භාෂාවක් උසුරුවිය (උච්චාරණය කළ) නොහැකි ය; නමුදු, ශබ්දෝච්චාරණයේ ද මූලෝත්පත්තිය වචී විඤ්ඤත්ති රූපය බැවින්, භාෂාව යනු වචී විඤ්ඤත්ති රූපය බව මෙහි දක්වන ලදී. තව ද, "සංඥා භාෂා" හැසිරවීමේ දී මූලය වනුයේ කාය විඤ්ඤත්ති රූපයයි.
භාෂා කථා කිරීමේ දී සිදු වන්නේ: සිතෙන් ම නැඟෙන-සිතෙන් ම උපන් වාතය (සුළං/වායු ධාරා) (චිත්තජ වායෝ ධාතුව) හා සිත්වැල් (චිත්ත වීථි) කරණකොට ගෙන, සිතේ ජනිත අදහස්, ශබ්ද උප්පත්ති ස්ථානවල සැපීමෙන්/ගැටීමෙන් උපදින (සෘතුජ) ශබ්ද(ය) අනුසාරයෙන් (මුවෙන්/මුඛයෙන්) පිට/ප්‍රකාශ වීමයි.
S. වචී විඤ්ඤත්ති රූපය පිළිබඳව හා භාෂා කථා කිරීමේ දී සිදු වන්නේ කුමක් දැයි අභිධර්මයට අනුව දැන ගැනීමට පහත මූලාශ්‍ර (කොටස්) ද පරිහරණය කරන්න.
"යම් රූපයකින් සත්ත්වයෝ තම අදහස මෙරමා හට දක්වත් ද තුමූ හෝ මෙරමාගේ අදහස දැනගනිත් ද එය විඤ්ඤත්ති රූප ය යි. .... වාග් විකාරයෙන් තම අදහස අන්‍යයන්ට හඟවමි යි සිතෙන කල ඇති වන චිත්ත වීථි හා එයින් අඞ්ග චලන ශබ්ද නැගෙන සැටි මෙහි දැක්විය යුතු ..."
"කථා කිරීමට උත්සාහ කිරීමේදී වුවමනා අකුරු වුවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙයවන බල විශේෂය වචී විඤ්ඤත්ති නම් වේ. චිත්තජ වායුව ඒ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හට ගනී. ඒ ශබ්දය කාරණයට වුවමනා පරිදි ඇති වන්නේ මේ වචී විඤ්ඤත්ති රූපය නිසා ය. මේවාට විඤ්ඤත්ති යන නම දී ඇත්තේ ඒවායින් පුද්ගලයා ගේ අදහස අඟවන නිසා ය."
"කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි."
"කතමං ¶ තං රූපං වචීවිඤ්ඤත්ති? යා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අබ්‍යාකතචිත්තස්ස වා වාචා ගිරා බ්‍යප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචීභෙදො ¶ – අයං වුච්චති වාචා. යා තාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං – ඉදං තං රූපං වචීවිඤ්ඤත්ති."
වචී විඤ්ඤත්ති රූපය ගැන පහත සබැඳියෙන් ද විමසන්න.
T. "(15) වචීවිඤ්ඤත්ති :- අර්‍ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග් භේදය පවත්වන චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව, කර්‍මජ පඨවි ධාතුවෙහි (අක්‍ෂර උත්පත්තිස්ථානයෙහි) ගැටීමට සහකාරී කාරණ වූ ආකාර විශේෂය වාග් විඥප්ති නම.
අදහස ප්‍රකාශ කිරීම එහි කෘත්‍යය යැ. වාග් ඝෝෂයට හේතු බව වැටහෙන ආකාර යැ. චිත්තජ පඨවි ධාතුව ආසන්න කාරණ යි.
මෙය වාග් ඝෝෂයෙන් අදහස හැඟවීමට හේතුවන නිසා ද, තමා ද ඒ වාග්ඝෝෂ සඞ්ඛ්‍යාත වචනයෙන් දතයුතු හෙයින් ද, වාග්විඥප්ති කියනු ලැබේ.
නිදර්‍ශන :- අරණ්‍යයෙහි ඔසවා හිඳින ලද ගෝසීසාදියක් දැක මෙහි ජලය ඇතැයි දුර දීම දතහැකි වන්නා සේ, කාය චලනය හා වාග් ඝෝෂය ද ගෙන කාය-වාග් විඥප්තීන් දැන ගනිති.
විශේෂ :- කාය විඥප්තියෙහි දී සැලෙන වර්‍ණය ගැනීමට අනතුරුව යි ද, වචී විඥප්තියෙහි දී ඇසෙන ශබ්ද ශ්‍රවණයට අනතරුවය යි ද, කියන ලදී. කාය විඥප්තිය ‘තමා හා කැටිවැ උපන් රූපකායයා ගේ තදවීම ය, ධැරීම ය, සැලීම ය යන මොවුනට හේතු වූ ආකාර විකාරය’යි කියන ලද හෙයින් සප්තම ජවනයෙහි හටගත් වායෝ ධාතුව පූර්‍ව ජවනයන් ගෙන් හටගත් වායෝ ධාතුහු ගේ උපස්තම්භය ලැබ චිත්තජ රූප චලනය කෙරේ. (මුල් ගැල්වල යුගයෙහි බැඳි ගොනුන් ගේ ඇදීම් වේගයෙහි උපකාරය ලැබ සප්තම යුගයෙහි බැඳි ගොනුන් ම අදනා සේ යයි අටුවාහි කීයේ එහෙයිනි.
වාග් විඥප්තිය, චිත්තජ පඨවිධාතු ඝට්ටනය හා සමගමැ සෘතුජ ශබ්දය උපදී. හෙද පර්‍ය්‍යාය වශයෙන් චිත්තජය යි කියති. එය වූ කලී ප්‍රථම ජවනයන් ගේ අනුබලය ලැබ සප්තම ජවනයෙහිම වේ. තදවීම්-ධැරීම් ආදිය නැති හෙයිනි. එහෙයින් සුළඟින් ගස් කොළන් සෙලවීමෙහි හා එබඳු ශබ්දයෙහි ද විඥප්ති විකාර රහිත හෙයින් මෙය මෙබන්දක් කෙරේයැ යි නො ගැනේ. (කරුණු මෙසේ හෙයින් හස්තාදී අවයව චලනයට හා ශබ්දයට වඩා අධික වූ අදහස් ඇඟවීමේ ශක්ති විශේෂයකුදු ඇති බව් නිශ්චිතයැ.)"