272. ගණිකා ඇසුරින්, ස්වයං වින්දනයෙන්, අසැබි චිත්‍රපට නැරඹීමෙන් මිදෙන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි... අසත්පුර්ෂ ආශ්‍රය නිසා මම වැරදි කාම සේවනය යෙදෙන්න පටන්ගත්තා එ කියන්නෙ ගණිකා සේවනයේ ස්වයං විනදනයෙත් වැඩියෙන් අඩුවෙන් යෙදෙන අවස්ථා තියෙනවා නිල් චිත්‍රපටත් බලනවා... ධර්මය ජිවතයට ලැබු දවසේ ඉඳන් මම දස ආතේ කල්පනා කලා මේකෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා කාලයක් මන් සක්මන් භාවනාව පටන්ගත්තා අටසිල් සමාදන් වෙලා දවස් කිපයක් බ්‍රහ්මචාරි සීලය ආරක්ෂා කලා.. හොඳට හිත හදාගෙන හිටියා..නොවැලක්විය හේතුවක් මත මම අසත්පුර්ෂයන් සිටින ආරණ්‍යකට ගියා එතනදි මං මානසික වැටුනා සක්මන් භාවනාව නතර  වුනා ආයේ අර වැරදි වැඩවල යෙදුනා...කාලය ඇ⁣වැමෙන් හිත පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්න පටන්ගත්තා.. මේ ලඟදි ඉඳන් ආයෙ බ්‍රහ්මචාරි සීලය ආරක්ෂා කරන්න උත්සහා කරා.. දවස් එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කොහොම හරි රාගික පෙළිම කාගෙන හිටියා මුල්ම දවස් කිපයේ රාගික පෙළිම බලවත් නැහැ දවස් හය හත වෙනකොට පෙළිම වැඩිවෙනවා එතකොට මගෙ හිත ආයේ කියනවා ස්වයං වින්දනයේ යෙදෙන්න කියලා බැරිම තැන පෙලීම ඉවසගන්න බැරුව ස්වයං වින්දනයේ යෙදුනා ගණිකා සේවනයෙත් යෙදුනා..කරුණාකරලා මට කියන්න මං කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියලා??

A. වැරදි පුරුදු, වැරදි ඇබ්බැහි නැවත්වීමට කල් ගත විය හැකි බැවින් දිගින් දිගට ම නොකඩවා/අඛණ්ඩව පහත යෝජනා/දැනුම අනුගමනය කළ යුතු බව තරයේ සලකන්න.

1. ස්වයං වින්දනයට හෝ ගණිකා ඇසුරට අපි කිසිදු අනුබලයක් නොදෙන නමුත්, දීර්ඝකාලීන ඇබ්බැහියක් නැවත්වීමට කල් ගත විය හැකි බැවින්, ඉන් ක්‍රමිකව මිදිය හැක. උදාහරණයක් ලෙස, සතියකට වතාවක්, මසකට සැරයක්, කාර්තුවකට වතාවක්, වසරකට සැරයක්, ... ලෙස ඉන් මිය හැක.

2. ඔබ අවිවාහක නම්, ඔබේ අදහස්වලට ගැලපෙන (එක්) සහකාරියක් තෝරාගෙන අයාලේ යන කාමය හා රාගික සිතුවිලි සීමා/පාලනය කළ හැක. විවාහක නම්, ඔබේ සහකාරියගෙන් පමණක් වුව ද විවිධාකාරයෙන් හා විවිධ චරිතාපදාන ඇසුරින් ආදියෙන් ඔබේ අයාලේ යන කාමය හා රාගික සිතුවිලි *සීමා/පාලනය කළ හැක. උදාහරණයක් ලෙසින්, ගණිකාවන්ගෙන් සොයන විවිධත්වය ඔබේ සහකාරියගෙන් ද (ඇයට කායික හෝ මානසික පීඩාවක් නොවන පරිදි) මතුකොට ලබා ගත හැක. නිල් චිත්‍රපටයකින් ලබන ආස්වාදය ඇයගෙන් (ඇයට කායික හෝ මානසික පීඩාවක් නොවන පරිදි) මතුකොට ලබා ගෙන රාගික සිතුවිලි *සීමා/පාලනය කළ හැක.

[*ගැඹුරින් බලන කල, එසේ සීමා වීම ද ...]

3. ස්වයං වින්දනයට හෝ ගණිකා ඇසුර පිළිබඳව සිතක් පහළ වන සෑම අවස්ථාවක දී ම, ඔබේ හෝ ඇගේ ලිංගික අවයව පණුවන් පිරුණු අසූචියෙන් ගහණ තැනක් ලෙස දකින්න. මේ සඳහා සැබවින් එවැනි පණුවන් පිරුණු අසූචියෙන් ගහණ තැනක රූපයක්/වීඩියෝවක් බලා එය එය මතක තබා ගෙන, අවස්ථානුකූලව ආදේශ කළ හැක.

ප්‍රබල රාග චරිතයාගේ තියුණු රාගික සිතුවිලි දත්මිටි කාගෙන යටපත් කර ගෙන සිටියත්, එය රබර් බෝලයක් වතුර යට තෙරපාගෙන සිටීමක් වැනිය—අත්හළ කල දිය මතුපිටට පැමිණේ; බොහෝ විට නැවතත්, රාගයේ ආශ්වාදය හෝ රාගික හැඟීම්වල ආශ්වාදය හෝ රාගික අඟපසඟ ආදිය හෝ මතක් වන විට, ඊට අදාළ මානසික සටහන් (චිත්ත රූප) මැවී පෙනෙන විට හෝ, ක්‍රියාකාරී භාවයට පැමිණීම වැළක්වීමට නොහැකි විය හැක.

සැබවින් ම අපේ ශරීරය හා ශරීරාංග (අඟපසඟ) සෑදී ඇත්තේ යුක්තාණු (ශුක්‍රාණු හා ඩිම්බ) නමැති අසූචියෙන් ද බලු-වමනයක් බඳු ආහාර සාරයෙන් බැවින් ද, සැබවින් ම අපේ ශරීරය හා ශරීරාංගවල පණුවන් ගහණ බැවින් ද අප කරන්නේ බොරුවක් නොවේ; සත්‍ය ම ආදේශනයකි.

උදාහරණයක් ලෙස, ඔබේ ශිශ්නය පණුවන් පිරුණු අසූචියෙන් ගහණ තැනක්, යෂ්ටියක් (පොල්ලක්, දණ්ඩක්) ලෙස දකින්න; සිතන්න. ඇගේ යෝනිය පණුවන් පිරුණු අසූචියෙන් ගහණ තැනක්, (මළකුණක) සර්ප-කටක්, බෙණයක් ලෙස දකින්න; සිතන්න.

[ඔබේ ශිශ්නය, වෘෂණ කෝෂ, ... ඇගේ යෝනිය, ගුදය, පියයුරු, තොල්, දෙනෙත්, නිතඹ, කළවා, ... ආදී රාගය ඇතිවන ඕනෑම තැනකට එසේ ආදේශ කිරීමට හුරු වෙන්න!]

4. නිල් (අසභ්‍ය) චිත්‍රපට යනු සැබවින් ම මානසික රෝගීන්ගෙන් (පිස්සන්ගෙන්/පිස්සියන්ගෙන්) ව්‍යාප්ත වූවකි. සැඟව/සැඟවී කළ යුතු ලිංගික ක්‍රියා හෝ තමාගේ අඩ-නිරුවත, නග්න දේහය (නිරුවත), නිරුවත් අඟපසඟ ආදිය කුමන මාධ්‍යයකින් හෝ (*තමාට/තමාගේ සහකරුට/සහකාරියට සීමා නොවී, මහජනයාට/ජනයාට) ප්‍රදර්ශනය කිරීම, අඩුවැඩි වශයෙන් ප්‍රදර්ශනකාමය, කාමෝන්මාදය වැනි මානසික රෝගී තත්ත්වයන්ගේ ප්‍රකාශනයන් ය. ඒවා නැරඹීම ද දර්ශනකාමය වැනි මානසික ව්‍යාධීන් ම ය.

[*ගැඹුරින් බලන කල, තමාට/තමාගේ සහකරුට/සහකාරියට සීමා වීම ද ...]

(ක්‍රිකට් තරඟයක් වැනි සේ ම) මානසික රෝගීන්ගේ කාම ක්‍රීඩා පිටියේ කෙළින (සෙල්ලම් කරන) ක්‍රීඩාවක් දෙස බල සිටින්නෝ ද (ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් මෙන් ම) මනෝරෝග ලෝලීන් බව නිතර සිහි කරන්න.

5. (ජීවී හෝ අජීවී) යම් ශරීරයකට "නිමිත්ත" යයි කියනු ලැබේ; එහි අනු කොටස්වලට "අනුනිමිත්ත" යැයි කියනු ලැබේ. ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ සම්පූර්ණ ශරීරය නිමිත්ත වන අතර ඇස, කන, .... ශිශ්නය, වෘෂණ කෝෂ, ..... යෝනිය, ගුදය, පියයුරු, තොල්, දෙනෙත්, නිතඹ, කළවා ආදිය අනුනිමිතිය.

පෙති තුනකින් සමන්විත විදුලිපංකාවක් ඉතා වේගයෙන් කැරකෙන විට, එක් රවුම් පෙත්තක් ලෙසින් පෙනෙන්නාක් මෙන්, නාම-රූපයන්ගේ ඉතා වේගවත්—අතිශීඝ්‍ර ක්‍රියාවලිය නිසා නිමිති අනුනිමිති මැවී පෙනෙතත්, සැබවින් ම ඒවා ඇති දේවල් නොවේ; ඝන සංඥාව නිසා පෙනෙන මායාවන් ය (ඝණ සංඤාව ගැන මෙතනින් දැනගන්න.)

කිසි දිනෙක විදුලිපංකාවක් දැක නැති, ඒ පිළිබඳව දැනුමක් නැති කෙනෙකු හට වේගයෙන් කැරකෙන විදුලි පංකාවක් එක් පෙත්තක් මිස පෙති තුනක් නොවන්නක් මෙන්, අපගේ සාමාන්‍ය මනසට නිමිති හා අනුනිමිති එක් එක් සටහන් ම ය. එවැනි සටහන්වලට "සංස්කාර නිමිති" යයි ද කියනු ලැබේ.

"සංස්කාර නිමිති" මතක් වන විට කෙලෙස් (රාග-ද්වේෂ-මෝහ) පාලනය කළ නොහැක. කෙළෙස් පාලනය කිරීමට නිමිති, අනු නිමිති—සංස්කාර නිමිති විනිවිද බැලිය යුතු ම ය. එසේ කිරීමට සාමාන්‍ය මනසට නොහැකි බැවින් නුවණ/ප්‍රඥාව යොදවා මෙහි ඇති උදාහරණ අනුසාරයෙන් ද සිතිය/බැලිය යුතුය.

සංස්කාර නිමිති විනිවිද බලන විට, නිමිති අනුනිමිති අතුරුදහන් වීමෙන් රාගාදියෙන් මිදිය හැක. සැමගේ ශරීරය හා ශරීරාංග මදුරු දැලක් (නෙට් එකක්) ලෙසින් දැකීමට හුරු වෙන්න; මෙය කිහිප වරක් කියවා, ප්‍රායෝගික වෙන්න.

# (මෙහි සඳහන් ඇතැම් කරුණු ඔබේ පළමු පිළිතුරෙහි ද අඩංගු විය හැක; කෙසේ වෙතත්, එය ද නැවත-නැවත කියවන්න.)

# [ටොන් එකක න්‍යායාත්මක දැනුමට වඩා අවුන්සයක ක්‍රියාත්මක භාවය වටී - “An ounce of action is worth a ton of theory.”]

# {ටොන් ගණනක දේශනාවලට වඩා අවුන්සයක ප්‍රයෝගික පුහුණුව වටිනා බව මහත්මා ගාන්ධි තුමා ද පවසා ඇත - 'An ounce of practice is worth more than tons of preaching.'}

T. මෙය ද කියවන්න: https://dhamma.lk.ingreesi.com/2020/06/728.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll