Q. 1. ඕනෑම දෙයකින් සෑහීමකට පත් වීමෙන් දැඩි ලෝභය ඇති නොවේද?
උදහරණයක් ලෙස කිසියම් දෙවිකෙනෙකු විසින් මුදල් පිරවූ බදුනකින් කෙනෙකුට සුවසේ ජීවත් වීමට අවශ්‍ය තරම් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස කියනවා;
2. මෙහිදී දැඩි ලෝභයට පත් නොවී මුදල් ලබා ගන්නේ කොහොමද?
3. දැඩි ලෝභය තීරණය වන්නේ මුදලේ ප්‍රමාණය මත ද ඇති ආශාවන් මතද?
A. 1. නොවේ.
"අප්පිච්ඡතා යනු නොයෙක් දෙයට ආශා නො කරන බව ය. සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බව ය, මේ දෙක එකට බැඳී පවත්නා ගුණ දෙකකි. යමකුට අප්පිච්ඡතා ගුණය ඇත්තේ නම් ඔහුට සන්තුට්ඨිතා ගුණය ද ඇත්තේ ය."
"ඇතැම් භික්ෂූන්ගේ චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යයන් පිළිබඳ ලද පමණින් සතුටු නොවන වඩ වඩා බලාපොරොත්තු වන ස්වභාවය වූ මහා තණ්හාව ද ගිහියන් ගේ කාම වස්තූන් පිළිබඳ ලද පමණින් සතුටු නො වන වඩ වඩා බලාපොරොත්තු වන ස්වභාවය වූ මහා තණ්හාව ද අසන්තුට්ඨිතා නම් වේ. මෙය බුද්ධාදීන් විසින් පිළිකුල් කරන ලද ඉතා පහත් ස්වභාවයෙකි. ප්‍රත්‍යයන් ගැන ලද පමණින් සතුටු නොවන පැවිද්දෝ කුල දූෂණාදියෙන් නො මනා පරිදි, ප්‍රත්‍යය සපයා මෙලොවත් දුශ්ශීලයන් වශයෙන් ජීවත් වී මරණින් මතු ද ශ්‍රමණ යක්ෂයන් ශ්‍රමණ ප්‍රේතයන් වී දුක් විඳින්නාහ. කාම වස්තූන් ගැන සෑහීමට පත් නො වන ගිහියෝ ද වස්තූන් සෙවීම් සඳහා සොරකම් ආදි පව්කම් නොව සමහර විට මෙලොව ද දුකට පත් වී මරණින් මතු අපායට ද යෙති.
කොතෙක් වස්තුව ලබා ඇත ද එයින් සෑහීමකට පත්ව නැති පුද්ගලයාට සැපයක් නැත්තේ ය. ඔහුට ඇත්තේ මදිය මදිය යන තැවිල්ල ය. එබැවින් හේ සැම කල්හි ම දුකින් ජීවත් වේ. සැපය නම් සතුට ය. ස්වල්ප වූ ද ලද දෙයින් සතුටු ව සිටින පුද්ගලයාට සැම කල්හි සැපය ඇත්තේ ය. ඔහු සියලු සම්පත් ඇතියකු වැනි ය. එ බැවින් භේසජ්ජමඤ්ජුසා නම් වෛද්‍ය ග්‍රන්ථයේ මනෝ රෝග චිකිත්සාවෙහි “අප්පෙපි තුට්ඨ මනසො සන්ති සබ්බාපි සම්පදා” යි කියන ලදි. ලද දෙයින් සතුටු නො වන්නහුට මහා තණ්හාව නිසා ඒ තණ්හා නමැති ගින්නෙන් ශරීරය දැවී නොයෙක් රෝග ද ඇති වන්නේ ය. ඒ රෝග සුව කිරීමට බෙහෙත් ද නැත. තණ්හා රෝග සුව කිරීමට ඇත්තා වූ එකම ක්‍රමය කවරාකාරයෙන් හෝ රෝගියා ගේ සිතින් ඒ තණ්හාව ඉවත් කිරීඹ ය. පෙර මහා බෝධිසත්ත්වයන් වහන්සේ රජුන් දෙදෙනකුගේ මනෝ රෝගයන් සුව කළ සැටි ජාතක පොතෙහි දක්වා ඇත්තේ ය. ඉන් එක් කථාවක් මෙසේ ය. ..."
2. ආශාව අඩු කොට ගෙන මුදල් ලබා ගැනීමට නම්, අවශ්‍යතාවයන් කෙරෙහි නුවණින් මෙනෙහි/කල්පනා කළ යුතුය*.
"ශ්‍රද්ධාව - මෛත්‍රිය - කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයීම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නො වේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදැරි කරගෙන ධන සැපයීම් ධනය පරෙස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම් හැඳීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නො වේ."
3. මෙය එකක් අනික මත යැපෙන/බැඳෙන (අන්‍යෝන්‍ය පරායත්ත/interdependent) අවස්ථාවක් ලෙස ගත හැක. මන්ද, මුදලේ ප්‍රමාණය මත ආශාව දැඩි විය හැකිවාක් මෙන් ම, ආශාවන්ගේ දැඩි බව මත මුදලේ ප්‍රමාණය වැඩි විය හැකි බැවිනි.
"එහි (අභිජ්ඣාවෙහි) අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව හා විපාක ද අදත්තාදාන කර්මයෙහි මෙන් දත යුතු ය."
"වටිනාකම මඳ වස්තුවක් සොරකම් කිරීම අල්ප සාවද්‍ය වේ. වටිනා කම වැඩි වස්තුවක් ගැනීමෙන් මහා සාවද්‍ය වේ. කුඩා දෙයක් ගැනීම අල්ප සාවද්‍ය වේ. මහත් දෙයක් ගැනීම මහා සාවද්‍ය වේ. වස්තුව සම වන කල්හි හිමියාගේ සැටියට අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. ගුණහීනයන්ගේ වස්තුව ගැනීම අල්පසාවද්‍ය වේ. ගුණවතුන්ගේ වස්තුව ගැනීම මහා සාවද්‍ය වේ. දුශ්ශීලයකුගේ දෙයක් ගැනුමට වඩා පන්සිල් රකිනා කෙනකුගේ දෙය ගැනීමේ පාපය මහත් වේ. ඊට වඩා උසස් ශීලයක් ඇත්තකුගේ දේ ගැනීම ඊට වඩා මහත් පාපයක් වේ. ගිහියකුගේ දෙයක් ගැනීමේ පාපයට වඩා සාමණේර නමකගේ දෙයක් ගැනීමේ පාපය මහත් වේ. උපසම්පන්න කෙනකුගේ දෙයක් ගැනීමේ පාපය එයට වඩා මහත් වේ. සංඝ සන්තක දෙයක් ගැනීම එයට වඩා මහත් වේ. මෙසේ එකිනෙකට පාපය මහත් වන සැටි දත යුතුය. වස්තුව ය, හිමියාගේ ගුණය ය යන දෙක ම සම වූ කල්හි ප්‍රයෝගයාගේ හා ක්ලේශයන්ගේ වශයෙන් කුඩා මහත් බව කියනු ලැබේ. ඒවා මෘදු වූ කල්හි පාපය ද මඳ වේ. ක්‍රෑර වූ කල්හි මහත් වේ."
"කෙනෙක් සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසඞ්ඛාරික චිත්තයෙන් යාචකයකුට ශතයක් දෙයි. ඔහු තවත් දිනයක දී ඒ චිත්තයෙන් ම ඒ යාචකයාට ම රුපියලක් දෙයි. ඒ දෙවාරයේ දී ම ඇති වන්නේ එක ම සිත ය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත් ය. එබැවින් රුපියල දෙන දා ඇති වන සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික සිත බලවත් බවත්, මහා විපාක ඇති කරවන බවත් කිය යුතු ය. මේ ක්‍රමයෙන් සැම තැන ම චේතනා අනුව කුශලයන් ගේ කුඩා මහත් බව සලකා ගත යුතු ය."
# දැඩි ලෝභය (අභිජ්ඣාව) යන පදය ද නොයෙක් අර්ථයෙන් යෙදෙන බව වටහා ගන්න.
"වර්තමාන භවයේ චුති චිත්තයට අනතුරුව ම අනාගත භවයක ප්‍රතිසන්ධි චිත්තය ඇති කිරීමෙන් භව පරම්පරාව සිඳෙන්නට නො දී සංසාරය දිගට පවත්වන ධර්මයෝ ගන්ථ නම් වෙති. ගන්ථ යන්නෙහි දහස එක් භවයක් හා අන් භවයක් එක් කොට බඳින, සම්බන්ධ කරන ධර්මය යනුයි. එක් භවයකට අයත් කය හා අන් භවයක කය සම්බන්ධ කරන්නෝ ය යන අර්ථයෙන් කායගන්ථ නම් වෙති.
දශ අකුශල කර්ම පථය දක්වන තැන්වල අභිජ්ඣා යන වචනයෙන් කියැවෙන්නේ හොඳය කියා ඇලුම් කිරීම් මාත්‍රයෙන් නො නැවතී අන් සතු වස්තූන් තමා කෙරෙහි ආරෝපණය කිරීම් වශයෙන් ඇති වන අධික ලෝභය ය. අභිජ්ඣා කායගන්ථ යන මෙහි අභිජ්ඣා යනුවෙන් කියැවෙන්නේ සෑම ආකාරයකින්ම ඇති වන ලෝභය ය. ආශාව තණ්හාව ආදරය ආලය රාගය ප්‍රේමය ස්නේහය කාමතණ්හාව භවතණ්හාව විභව තණ්හාව රූපාශාව ශබ්දාශාව ගන්ධාශාව රසාශාව ඵොට්ඨබ්බාශාව ජීවිතාශාව ධනාශාව පුත්‍රාශාව යනාදි නොයෙක් නම් වලින් කියැවෙන සර්වාකාර ලෝභය අභිජ්ඣාකායගන්ථය ය."
"මෙහි “අභිධ්‍යාව” යනු ස්වකීය වස්තුව සම්බන්ධයෙන් හටගන්නා වූ ලෝභයයි. “විසමලෝභය” යනු අනුන් අයත් වස්තූන් ගැන හටගන්නා වූ ලෝභයයි. තවත් ක්‍රමයකින් කියත හොත් ලෝක සම්මුතියේ සැටියට ලෝක නීතියේ සැටියට ලෝභ නොකළ යුතු වස්තූන් හා පුද්ගලයන් ගැන හටගන්නා වූ ලෝභය “විෂමලෝභ” නමි. අන්සතු වස්තූන් ගැන ලෝභ කිරීම ද, තමාට නුසුදුසු වස්තූන් ගැන ලෝභ කිරීම ද, පරභාර්‍ය්‍යා පරපුරුෂ සහෝදරාදි නුසුදුසු පුද්ගලයන් ගැන රාගය හෙවත් ලෝභය ඉපදවීම ද ලෝක නීතියට විරුද්ධ ය. ලෝභ කළ යුතු වස්තූන්ගේ වශයෙන් “අභිජ්ඣා විසම ලෝභ” යන නම් දෙකකින් වදාරා තිබෙතත් ධර්ම වශයෙන් ලෝභය එකක් ම ය. දෙක ම එක ම චිත්තෝපක්ලේශයක් වශයෙන් වදාරන ලදුයේ ද ධර්ම වශයෙන් එකක් ම වූ හෙයිනි.
ස්වකීය ස්කන්ධ පඤ්චකය කෙරෙහි හා බාහිර අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයාගේ ලක්ෂණයයි. තණ්හාවය ආශාවය ආදරයය ආලයය රාගයය කැතකමය ගිජුකමය සතුටය යන වචනවලින් කියැවෙන්නේ ද මේ ලෝභයයි. සතුටුවීම යන වචනයෙන් ලෝභය කියවෙන්නේ සමහර කරුණු වලදී පමණෙකි. මෙය සිත ඇසුරු කර ගෙන උපන් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයකි."
1. අභිජ්ඣා යනු දැඩි ලෝභය යි. මෙහි වනාහි කාම රාග රූප රාග අරූප රාග සංඛ්‍යාත සියලු තෘෂ්ණාව ගනු ලැබේ. ලෝභය කාය ගන්ථයෙකි.
"අභිජ්ඣා යනු අනුන් ගේ සම්පත් තමාට වේවා යි පවත්නා ලෝභය ය. මනඃකර්මයෙකි. අභිජ්ඣාව ඇති වන්නේ චේතනාවත් සමගම ය. එහෙත් අභිද්‍යා අකුශල කර්මයේ දී චේතනාව අප්‍රධාන වේ. එබැවින් එහි කර්මය වශයෙන් ගැනෙන්නේ ලෝභ චෛතසිකය ම ය."
"විනෙය්‍ය ලොකෙ අභිජඣා දොමනස්සං - එහි ලෝකය කුමක්ද? ඒ කයම ලෝකයයි. උපාදාන ස්කන්ධ පහ ලෝකයයි. මෙය ලෝකය යයි කියනු ලැබේ. එහි අභිධ්‍යාව කුමක්ද? යම් රාගයක්, රාග සහිත වීමක්, ඇලීමක්, අනුරෝධයක් (අනුකූලත්වය) බැඳීමක්, බැඳීම් රාගයක් වේද මෙය අභිධ්‍යාව යයි කියනු ලැබේ. එහි දොමනස්සං - කුමක්ද? යම් චෛතසිකයක් අමිහිරි ද දුක්ද සිත හා ගැටීමෙන් උපන් අමිහිරි දුක් වේදනාව, මෙය දොම්නස යයි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද දොම්නස ද මේ ලෝකයෙහි විනීත වේ. ප්‍රතිවිනීත වේ. සාන්ත වේ. සමනය වේ. ඉවත් වේ, අස්තයට ගියේ, විනාශ වූයේ ඇතුළට වැදුනේ වියළුණේ අවසන් කරන ලද්දේ එයින් විනාශය වේ යයි කියනු ලැබේ."
"විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති තත්‍ථ කතමො ලොකො? ස‍්වෙව කායො ලොකො. පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධා ලොකො, අයං වුච‍්චති ලොකො. තත්‍ථ කතමා අභිජ‍්ඣා? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දී නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අභිජ‍්ඣා. තත්‍ථ කතමං දොමනස‍්සං? යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සං. ඉති අයඤ‍්ච අභිජ‍්ඣා, ඉදඤ‍්ච දොමනස‍්සං ඉමම‍්හි ලොකෙ විනීතා හොන‍්ති පටිවිනීතා සන‍්තා සමිතා වූපසමිතා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා බ්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා, තෙන වුච‍්චති විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්ස”න‍්ති (විභ· 357-362)."