266. ලොතරැයියක් ඇදෙන්නේ පිනට ද පවට ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q1. ලොතරැයියක දිනුම ලැබීම පිනක්ද (පිනක විපාකයක්ද) පවක්ද (පවක විපාකයක්ද)?

Q2. ලොතරැයි වගේ දේවල් මිලදී ගන්නා විට ඇති වන ලෝභ සහගත සිත් මගින් පව් සිදුවනවාද? කෙනෙකු ජීවිතය පහසු අයුරින් ගත කිරීම සදහා එවැනි දේ මිලදී ගන්නවා; තවත් අයෙක් කොතරම් මුදල් තිබුණත් සෑහීමකට පත් නොවී ලොතරැයි වගේ දේවල් මිලදී ගන්නවා. ඒ වගේ දේවල් මිලදී ගන්නා විට දැඩි ලෝභයක් ඇති නොවන සේ මිලදී ගන්නේ කෙසේද?

A1. [පිළිතුර සරලව තේරුම් ගැනීමට 1 - මෙය ද, 2 - මෙය ද, 3 - මෙය ද කියවන්න.] 

සසර කරන ලද ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක ප්‍රතිඵලයක් වශයෙන්, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා සිටින කෙනෙකුට හෝ (සසර කරන ලද ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක ප්‍රතිඵලයක් වශයෙන්,) ත්‍රිහේතුක ප්‍රවෘති විපාක වශයෙන් බොහෝ සැප සම්පත් ලැබීම; වැඩි/කිසිදු මහන්සියක් නොමැතිව ධන-ධාන්‍ය, ධනලාභ ආදිය ලැබීම සිදු වේ.

එබැවින් ස්වීප් ටිකට් ලොතරැයි වැනි හදිසි ධනලාභ ලැබීම ද (දානාදී/මහා දානාදී) ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක ප්‍රතිසන්ධි හෝ ප්‍රවෘති විපාකයක ප්‍රතිඵලයක් ලෙස අර්ථ දැක්විය හැක.

එබැවින් අපි බොහෝ විට, බොහෝ තැන්වල දී, කර්ම-කර්මඵල විශ්වාස කොට, සතුටු සිතින්, ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්ම ම සිදු කිරීමට බරකොට අනුබල දී ඇත්තෙමු/දෙමු.

# කෙසේ වෙතත්, දහම තුළ ධන සම්පත් ආදිය කෙරෙහි හෙළන ධර්මානුකූල ගැඹුරු දෘෂ්ටිකෝණයට පහත කතාව ඇති හොඳ ම උදාහරණයකි භිස ජාතකය:

"...“පින්වත්නි, යමෙක් නැති නොවූ තමාගේ ආහාර කොටස නැති වූයේ ය යි කියා නම් හෙතෙමේ රූපාදී කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහි ගෙයි ම මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.

මෙසේ තවුසන් විසින් සාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, ස්වාමීනි, ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරෙන් වෙහෙසී කාමයන් සොයති. කාමයෝ බොහෝ දෙනට ඉතා ප්‍රිය වෙති. ඒ කාමයන්ට කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙත් දැ යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක. ....

“ශක්‍ර‍ය කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහර දෙනු ලබති. බඳිනු ලබති. කාමයන් නිසා කායික මානසික දුක්ඛය ද, අත්තානුවාදාදී භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස් කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුම යි. ..."


A2. # පව් සිදු වෙනවා. එමෙන් ම, මෙය ද, මෙය ද, මෙය ද කියවන්න. 
[දක්ෂිණා විශුද්ධි සතර ගැන ද දැනුවත් වෙන්න.]

# දැඩි ලෝභයක් ඇති නොවන පරිදි මිලදී ගැනීමට නම්, අරමුණ (චේතනාව) වෙනස් කළ යුතුය.

මා මෙය/මේවා මිලදී ගන්නේ: කිසිවෙකුට කරදරයක් නොවී සුවසේ ජීවත් වීමට ය; ලෝකයට/ලෝකයාට පෙනෙන්නට උසස්-පුහු ජීවිතයක් ගත කිරීමට නොව; පව් කිරීමට නොව, පිං කිරීමට ය; තමාට ම පොදි ගසා ගැනීමට ම නොව, දුප්පතුන්ට - නැතිබැරි අයට ද බෙදා දීමට ය; සසර ඇලීමට නොව, සසරින් මිදීමට ය... යනාදී තමා තමාට ම අවංක සිත් ඇති කර ගත හැකිය.

තව ද, අවංක සිත් ඇති කර ගෙන, අරමුණ ඉටු වූ තරමට සාපේක්ෂව, අවංකව ප්‍රයෝගික (ක්‍රියාවේ ද යෙද) විය යුතු ම ය.

# අමතර වශයෙන් ඔබට කිව යුත්තේ: පහසුවෙන් හා ඉක්මනින් ම ලැබීමට නම්, පළමුව හැකි පමණින් දිය යුතු බවත්; ඔබට හෝ කාට හෝ ලැබී ඇති දේවල්වලට ස්තුතිවන්ත විය යුතු බවත්; (ඔබට හෝ කාට හෝ) ලැබී ඇති දේවල්වලට (ඊර්ෂ්‍යා සහගත නොවී,) මෛත්‍රී සහ (විශේෂයෙන් ම) මුදිතා සහගත විය යුතු බවත්; ලොතරැයියක් දිනා ගැනීමට ද ඔබට "ආකර්ෂණ නීතිය" (Law of Attraction) ද භාවිතා කළ හැකි බවත් ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll