Q. පඨවි භුතය සෑදි ඇත්තෙ වියළි සිතල යන ධාතු ගුණ එකතු විමෙන්ද?
A. නැහැ. තව ද:
ඕනෑම රූපයක් උපදවන හේතු ඇත - රූප ජනක හේතු පිළිබඳව මෙතැනින් දැනගන්න: https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/10-1.html "කර්මයය, චිත්තය ය, සෘතුවය, ආහාරය යි රූප උපදවන්නා වූ හේතු සතරෙකි. ..."
"කර්මාදි ප්‍රත්‍යයන් ගෙන් උපදනා රූප.
අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ප්‍රසාද රූප පස ය, ජීවිත රූපය ය, භාව රූප දෙක ය, හෘදය රූපය ය යන මේ රූපයෝ අටළොස් දෙන කර්මයෙන් උපදවන රූපයෝ ය.
අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ශබ්ද රූපය ය, විකාර රූප තුන ය, විඥප්ති රූප දෙක ය යන මේ රූපයෝ පසළොස් දෙන චිත්තයෙන් උපදවන රූපයෝ ය.
අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, ශබ්ද රූපය ය, විකාර රූප තුන ය යන මේ රූප තෙළෙස සෘතුවෙන් උපදවන රූපයෝ ය.
අවිනිර්භෝග රූප අට ය, පරිච්ඡේද රූපයය, විකාර රූප තුන ය යන මේ දොළොස් දෙන ආහාරයෙන් උපදවනු ලබන රූපයෝ ය. ..."
පඨවි භූතය (ධාතුව) ද ඉහත හේතූන්ගෙන් හටගන්නක් වුව ද, එය මෞලික (මූලික) ස්වභාවයකි. එහි ධාතු ගුණය (ස්වභාවය) හෙවත් හඳුනා ගැනීමට ඇති ස්වභාවය කර්කෂක (රළු) ලක්ෂණයයි.
වියළි, සීතල ස්වභාවය තේජෝ ධාතුවට අයත් ගුණයන් ය. වියළි ස්වභාවය පඨවි ධාතුවට ම අයත් ගුණයක් ද වේ. (එනම්, වියළි ස්වභාවය පඨවි ධාතුවට ම හෝ තේජෝ ධාතුවට හෝ අයත් ගුණයක් වේ.)
කිසිදු ධාතු ගුණයක් එක් වීමෙන් තවත් ධාතුවක් සෑදෙනේ නැත. ඒ ඒ ධාතුවට අයත් අනන්‍ය ගුණ ඇත. එනම්: "කර්කශ ස්වභාවය පෘථිවි ධාතුව ය. පිඬු කරන්නා වූ ස්වභාවය ආපෝ ධාතුවය. ඇලෙන්නා වූ ස්වභාවය ද වැගිරෙන්නා වූ ස්වභාවය ද පැතිරෙන්නා වූ ස්වභාවය ද ආපෝ ධාතුව ම ය. උෂ්ණ ස්වභාවය හා ශීතලස්වභාවය තේජෝ ධාතුව ය. පිම්බෙන පුම්බන රුකුල් දෙන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය."
ධාතූන්ගේ එක් වීමේ වෙනෙස මත ඒ ඒ ද්‍රව්‍ය නිර්මාණය වනවා මිසක, කිසිදු ධාතුවක් භෞතික (ද්‍රව්‍යමය) දෙයක් නොවේ — සෑම ධාතුවක් ම ශක්තියකි (ක්‍රියාවකි / බලයකි / බලවේගයකි).
එසේ ම කිසිදු ධාතුවක මූලික ස්වභාවය මනසින් මිස වෙනත් ක්‍රමයකින් දැනගත නොහැක. පඨවි, තේජෝ, වායෝ ධාතු තුන ස්පර්ශ වන්නේ (ගතට දැනෙන්නේ හෝ අතට හසුවන්නේ) ද භූත රූප කලාප බොහෝ ගණනක් එක් වීමෙන් පසුව ය.
S. වැඩිදුරටත් දැනගන්න:
"පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුව යයි භූතරූප සතරෙකි. ඒවා ගැන සාමාන්‍ය ලෝකයා සලකන ආකාරය අනෙකකි. අභිධර්මයේ දැක්වෙන ක්‍රමය අනෙකකි. සූත්‍රපිටකයේ ධාතුවිභංග සූත්‍රාදියෙහි ඒවා සාමාන්‍ය ලෝකයා විසින් සලකන ඖදාරික ක්‍රමයෙන් දේශනය කර තිබේ. සෞත්‍රාන්තික ක්‍රමයේ සැටියට ඒවා ද්‍රව්‍යයෝ ය. අභිධර්ම ක්‍රමයේ සැටියට ඒවා ද්‍රව්‍යයන් නොව විදුලි ආකර්ශණ බල ආදිය වැනි ක්‍රියා ස්වභාවයෝ ය. සාමාන්‍ය ලෝකයා සලකන ක්‍රමයවූ සෞත්‍රාන්තික ක්‍රමයේ සැටියට තද බව ලක්ෂණ කොට ඇති පස් ගල් ඇට මස් ආදි ද්‍රව්‍යයෝ පඨවි ධාතූහුය. වැගිරෙන ස්වභාවය ඇලෙන ස්වභාවය ඇති වතුර තෙල් ලේ සෙම ආදිය ආපෝධාතූහුය. ගින්න තේජෝ ධාතුවය. සුළඟ වායෝ ධාතුවය. අභිධර්මයේ දී ඒ ධාතු වෙන් වෙන් වශයෙන් පවත්නා දේ සැටියට නූගන්වන් ලැබේ. එහි උගන්වන්නේ පස් දිය ගිනි සුළං යන සියල්ලෙහි ම ධාතු සතර ම ඇති සැටියට ය. හිරු එළි සඳඑළි පහන්එළි ආදි සියුම් දේවල පවා ධාතු සතර ම ඇති සැටියට අභිධර්මයේ උගන්වනු ලැබේ. බුදුන් වහන්සේ එක් කරුණක් සඳහා දෙ තැනක දෙයාකාරයකට නො වදාරතියි සිතා අභිධර්මය හා සූත්‍ර ධර්ම එක් කරන්නට ගොස් කරුණු අවුල් නො කර ගත යුතුය."
"සෞත්‍රාන්ත්‍රික ක්‍රමයේ සැටියට එක් එක් ධාතුවක් සුණු - අලු - සිමෙන්ති - පිටි - සහල් ආදි වස්තූන්ගේ කුඩා කොටස් තරමට සැලකිය යුතුයි. ඒවා ද එක එකක් වෙන් කොට ගත හොත් ඇසට නොපෙනෙන පමණට කුඩාය. එක් එක් කුඩා ධාතු කොටසකට මෙහි කලාප යන නාමය ම ව්‍යවහාර කරන්නෙමු. “කලාප’’ යන්නෙහි තේරුම සමූහයක්ය මිටියක්ය යනුයි. කුඩා ධාතු කොටසකට ඒ නම ව්‍යවහාර කරනුයේ අභිධර්ම ක්‍රමයේ සැටියට එය එකක් නොව කුඩා සමූහයක් වන බැවිනි."
"මහා භූත යනු ද මේ ධාතූන්ට නමෙකි. මහා භූතයෝ ද්‍රව්‍යයන් නොව ශක්තීහු ය. වේගයෝ ය. ඒවාට තනි තනිව නො පැවතිය හැකිය. නො ඉපදිය හැකිය. යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතැන ඉතිරි තුන ද ඇත්තේ ය. ඔවුහු එකිනෙක ගිලගෙන සිටින්නාක් මෙන් එකට බැඳී උපදිති. ඒවායින් එකකට ඉතිරි තුන නිඃශ්‍රය වේ. ඒ තුනට ද ඉතිරි එක නිඃශ්‍රය වේ. දෙකකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. ඒ දෙකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. මෙසේ මහා භූතයෝ ඔවුනොවුන්ට නිඃශ්‍රය වෙමින් උපදිති. පවතිති. ඒ බැවින් පට්ඨාන පකරණයෙහි -
“එකං මහාභූතං තින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො, තයො මහා භූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො, ද්වෙ මහා භූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො” යි වදාළ සේක.
භූත රූපයන් ද්‍රව්‍ය නො වතුදු ඒ සතර ඔවුනොවුන් ගිල ගෙන වැළඳ ගෙන එකිනෙක හා බැඳී පහළ වූ කල්හි රූප කලාප නම් වූ කුඩා ද්‍රව්‍යය පහළ වේ. එය ඉතා ම කුඩා ද්‍රව්‍යයෙකි. ලෝකයා විසින් ඉතා ම කුඩා දෙය සැටියට සලකන පරමාණුව සෑදෙන්නේ රූප කලාප බොහෝ ගණනක් එක්වීමෙනි. පස් දිය ගිනි සුළං රන් රිදී මුතු මැණික් ඇට ලේ මස් ආදි කවර ද්‍රව්‍යයක වුව ද ඇත්තේ භූත රූප සතර ම ය. ඒවා සෑදී තිබෙන්නේ භූතරූප සතර එක්වීමෙන් ය. භූතරූපයන් ගෙන් ම නිර්මිත වී තිබෙන ඒ ද්‍රව්‍ය නොයෙක් ආකාර වී තිබෙන්නේ සංයෝග වීමේ වෙනස් කමිනි. ධාතු සතර සෑම ද්‍රව්‍යයක ම ඇත්තේ එක ම ප්‍රමාණයකින් නො වේ. ඇතැම් වස්තුවක පඨවි ධාතුව අධික ය. ඇතමෙක ආපෝ ධාතුව අධික ය. ඇතමෙක තේජෝ ධාතුව අධික ය. ඇතමෙක වායෝ ධාතුව අධික ය. ඇතමෙක එක් ධාතුවක් උත්සන්න වී ඉතිරි තුන හීන වී තිබේ. ඇතමෙක ධාතු දෙකක් උත්සන්න වී දෙකක් හීන වී තිබේ. ඇතමෙක ධාතු තුනක් උත්සන්න වී එකක් හීන වී තිබේ. මෙසේ ඒ ඒ ධාතූන්ගේ උත්සන්න මන්දතාවගේ වශයෙන් ද්‍රව්‍යය අනේකාකාර වී තිබේ. ..."
"පඨවි ධාතුව
කර්කශ ස්වභාවය පෘථිවි ධාතුව ය. කැපෙන දෙයක් ලෙස ද, හැණෙන දෙයක් ලෙස ද, තද දෙයක් ලෙස ද, මොළොක් දෙයක් ලෙස ද, රළු දෙයක් ලෙස ද, මට්ටම් දෙයක් ලෙස ද දැනෙන්නේ කර්කශ ස්වභාවය වූ පෘථිවි ධාතුව ම ය. පිහියේ මුව ඇති කර්කශ බව වූ පෘථිවි ධාතුව කැපෙන දෙයක් ලෙස ද පිහියා උලෙහි ඇති පෘථිවි ධාතුව ඇණෙන දෙයක් ලෙස ද වැටහේ. ඒ කැපෙන දෙය ඇණෙන දෙය සැටියට වැටහෙන දෙය පිහියේ සැම තැන ම ඇත්තේ ය. පිහියේ අංසයන්හි තද වූවක් ලෙස හා මට්ටමක් ලෙස දැනෙන්නේ ද පිහියා මුවෙහි කැපෙන දෙය සැටියට හා පිහියා උලෙහි ඇණෙන දෙය සැටියට දැනෙන්නේ ද කර්කශ ස්වභාවය ම ය. පෘථිවි ධාතුව කර්කශ ලෙස තද ලෙස දැනෙන්නේ රූප කලාප ඝනව පිහිටි කල්හි ය. රූප කලාප ඝන නො වූ ද ආකාශ වායු අධික වූ ද තැන්වලදී ඒ කර්කශ බව මෘදු බවක් සේ දැනෙන්නේ ය. කළු ගලේ දී පෘථිවි ධාතුව තද වූ රළු වූ දෙයක් ලෙස ද, ළදරු සිරුරේ දී මොළොක් වූ සිනිඳු වූ දෙයක් ලෙස ද දැනෙන්නේ ය. එබැවින් තද බව මොළොක් බව යන දෙක ම පෘථිවි ධාතුවය යි කියනු ලැබේ. රූප කලාප ඝනව ඇති ලේහයේ හා ගලෙහි එය බරක් ලෙස දැනෙන්නේ ය. ආකාශ බහුල වූ පුළුන් පිඩෙහි දී එය ලැහැල්ලු බවක් සේ දැනෙන්නේ ය. එබැවින් බර හා ලැහැල්ලු බව ද පෘථිවි ධාතුව ම බව දත යුතුය.
ධාතූන්ගේ ලක්ෂණ දැක්වීමෙහි දී “කක්ඛලත්ත ලක්ඛණා පඨවි ධාතු” යයි පෘථිවි ධාතුව කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේය යි කියනු ලැබේ. එසේ කියා තිබෙන බැවින් කර්කශත්වය පෘථිවි ධාතුව ගේ ලක්ෂණය ය. පෘථිවි ධාතුව ඒ ලක්ෂණය ඇති ද්‍රව්‍යයෙකැ යි ද කර්කශත්වය හා පෘථිවි ධාතුව දෙකකැ යි ද නො ගත යුතුය. කර්කශත්වය ම පෘථිවි ධාතුව ය. එහි ලක්ෂණය අන් අයුරකින් නො කිය හැකි බැවින් කර්කශ ලක්ෂණය ඇත්තේ පෘථිවි ධාතුව යයි කියනු ලැබේ. මෙය අවුල් විය හැකි කරුණකි. අවුල් නො කර ගත යුතු ය. අන්‍ය ධාතූන්ගේ ලක්ෂණ කියා තිබෙන්නේ ද ඒ ක්‍රමයෙන් ම බැවින් ඒ තැන්වල දී ද කියන ලද්දට අනුව සිතා කාරණය තේරුම් කර ගත යුතුය."
"පෘථිව්‍යාදි ධාතු සතර එක් වූ කල්හි ඉතා කුඩා දෙයක් සෑදේ. එයට රූපකලාප යයි කියනු ලැබේ. එය ඇසට පෙනෙන්නේ නොවේ. ඒ රූප කලාපය ලෝකයා විසින් ඉතා කුඩා දෙය සැටියට සලකන පරමාණුවට ද වඩා ඉතා කුඩාය. එක් පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත. ඉතා කුඩා බැවින් ඇසට නො පෙනෙන ඒ රූප කලාප සමූහයක් එක් වූ කල්හි මහත් වූ එක් දෙයක් සේ ඇසට පෙනෙන්නේය. පස් ය, දිය ය, ගල් ය, යකඩ ය, තඹ ය, රන් ය, රිදී ය, ගස් ය, ලී ය, කොළ ය, පොතු ය, ගෙඩි ය, ලේ ය, මස් ය, ඇට ය, නහරය, නිය ය යනාදි නම් කියනුයේ රූප කලාප සමූහයන්ගේ ඒ පෙනෙන ආකාරවලටය. මහත් මහත් දේ සැටියට පෙනෙන, සැලකෙන පස් දිය ගල් ආදියෙහි ඇත්ත වශයෙන් ඇත්තේ රූප කලාප පමණෙකි. පස් ගල් ආදිය නම් රූප කලාප සමූහය නිසා පෙනෙන ආකාරයෙක් පමණකි. ඒ පෙනෙන ආකාර පරමාර්ථ සත්‍ය වශයෙන් ඇති දේ නොවන බැවින් ඒවාට “සමූහ ප්‍රඥප්ති” යයි කියනු ලැබේ."
"මහාභූත ධාතූහු ඇසට නො පෙනෙති. ඔවුනොවුන් ගිලගෙන වැලඳගෙන මහාභූත සතර ඇතිවන කල්හි ඇසට හසු වන්නා වූ එක්තරා ස්වභාවයක් ඇති වේ. එනම් වර්ණ ධාතුව ය. (පැහැය ය) ඒ වර්ණ ධාතුව මහා ධාතු සතර නිසා ඇති වන්නකි. එය වෙන් වශයෙන් යම් කිසි එක් ධාතුවකට අයත් වන්නක් නො වේ. මෙතන්හි රූපය යි කියනුයේ ඒ වර්ණ ධාතුවට ය. ඇසට විෂය වන ස්වභාවය එහි ලක්ෂණය ය. ධාතු සතර ඇති වුවහොත් සෑම කල්හි ම, සෑම තැන ම වර්ණ ධාතුව හෙවත් රූපය ඇති වේ. එහෙත් ඇතැම් ධාතු පිණ්ඩයක ඇති වර්ණය ඉතා මඳ බැවින් ඇසට නො පෙනේ. සුළඟෙහි ඇත්තේ එබඳු වර්ණයෙකි. අප සුළඟෙහි ගැලී සිටින බැවින් එහි වර්ණය පෙනෙන සේ අපේ ඇස පිහිටියේ නම් සුළඟේ වර්ණයෙන් අපට ලෝකය වැසී යන්නේ ය. එබැවින් සුළඟ නො පෙනෙන සැටියට ඇස සැදී තිබේ.
සුදු කළු නිල් රතු කහ යන එකිනෙකට වෙනස් වර්ණයන්, ඇතිවන්නේ, සංයෝග වන්නා වූ භූත රූපයන් ගේ වෙනස් කමිනි. ලොව ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් එක් රූප කලාපයක ඇත්තේ එක් වර්ණයෙකි. රූප කලාපයන්හි ඇත්තා වූ වර්ණයෝ සත්‍ය වශයෙන් ඇත්තා වූ ප්‍රකෘති වර්ණයෝ ය. ලෝකයා විසින් ඇති සැටියට සලකන වර්ණ සියල්ල ම සත්‍ය වශයෙන් ඇති වර්ණ නො වේ. රතු පැහැය ඇති කුඩක් හා නිල් පැහැය ඇති කුඩක් සමාන ව ගෙන මිශ්‍ර කළ හොත් රතු කුඩු අතරට නිල් කුඩු ද නිල් කුඩු අතරට රතු කුඩු ද පැමිණ දෙවර්ගය ඔවුනොවුන් විසින් ගිලගෙන ඔවුනොවුන් වැළඳගෙන වෙන් වෙන් ව තිබේ. එසේ මිශ්‍ර ව තිබෙන කුඩුවල ඇති නිල් රතු පැහැය දෙක වෙන් වෙන් වශයෙන් ගැනීමට ද ඇස හා චක්ෂුර්විඥානය සමත් නො වේ. නිල් රතු දෙවර්ගය මිශ්‍ර වීමෙන් සෑදෙන වර්ණය දම් පාට ය. එය සත්‍ය වශයෙන් ඇති වර්ණයක් නොව, මිශ්‍රණය නිසා ඇති සේ පෙනෙන වර්ණයෙකි. මිශ්‍ර කර තිබෙන නිල් රතු පැහැති කුඩු ගොඩ චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටුණු කල්හි එහි ඇති වර්ණ දෙක වෙන් වශයෙන් ගැනීමට නො සමත් වූ චක්ෂුර්විඥාය, සමූහය එක් කොට ප්‍රකෘති වර්ණ දෙකින් ම වෙනස් දම් පාටක් සැටියට ගනී. දම් පාටක් හැටියට දකී. ලොව ඇති සියලු වස්තූහු නා නා වර්ණවත් රූප කපාටයන් ගේ පිණ්ඩයෝ ය. එබැවින් ඒවායේ සත්‍ය වර්ණයක් සිතට හසු නො වන බැවින් අප විසින් ඇති සැටියට සලකන වර්ණයන්ගෙන් බොහෝවක් ම ඒ ඒ වස්තුවල නැති, සිතින් ගන්නා ආකාරයෝ ය. රූප කලාපය ඉතා කුඩා බැවින් වෙන් වී තිබෙන රූප කලාපයක වර්ණය නො දැකිය හැකි ය. වස්තුවල පෙනෙන්නට තිබෙන වර්ණය ඒ වස්තු රූප කලාප වලට හෝ ඉතා ම කුඩා කොටස් වලට හෝ ගෙන බැලුවහොත් කලින් දුටු වර්ණය නො දැකිය හැකිය. අභිධර්මයේ පරමාර්ථ ධර්මයන් සැටියට උගන්වන මේ වර්ණය ඇතැම් විද්‍යාඥයන් නැති දෙයක් සැටියට සම්පූර්ණ අසත්‍යයක් සැටියට ගෙන තිබෙන්නේ කුඩා කොටස්වලට වෙන් කළ කල්හි නොපෙනී යන බැවිනැ යි සිතිය හැකිය."